(අ)හිමි සිහින -92

“මේ..අපි ට්‍රිප් එකක් යමුද? තරංගලා ලංකාවට ඇවිල්ලා..කොහෙහරි යං කියනවා.”

එක දවසක් චමල් මට එහෙම කිව්වෙ කාලෙකින් ලංකාවට ආපු ඔහුගේ මිතුරෙක් ගැන සඳහන් කරමින්.චමල්ට යාලුවෝ හිසේ කෙස් ගානට ඉන්නවා.විදේශයන්හි ජීවත්වෙන මිතුරෝ ලංකාවට ආවහම ඔහුව මුණ ගැහෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නිසා ඒක මට අමුත්තක් නෙමෙයි.ඔවුන් සඳහා පවත්වන සාද වලදී ඉවුම් පිහුම් කරන්න,මිත්‍රයන් එක්ක යන්න සාදවලට සහභාගි වෙන්න මට සිද්ධ වෙනවා.ඉතින් මේ එහෙම අවස්ථාවක්.

“කොහෙද යන්නෙ?”

චාරිකාවක් යනකොට අන්න ඒ ප්‍රශ්නය ඕනෑම පවුලකට ඇති වෙනවා.ඒ ගැන සාකච්ඡා වට කිහිපයක් යනකොට මට අලුත් අදහසක් ආවා.ඇත්තටම මම ඒ ගත්තෙ ගත යුතුයුතු තීරණයක් ද කියලත් මට හිතුනෙ වචන පිට කරාට පස්සේ.

“අපි නුවරඑළිය පැත්තේ යමු..”

එහෙම කියපු මම ඊළඟ කාරණාව බොහෝම ප්‍රවේශමෙන් කියන්න පටන් ගත්තා.

“ඔයා සුදාරකව දන්නව නේද? එයා ඉන්නෙත් එහෙ.අපි ට්‍රිප් එකක් එන බව කිව්වා නම් එයා අපිට උදව් කරයි.”

සුදාරක නැවත හමුවී ඔහුට නැවත ආදරය කරන බව හැරෙන්නට මගේ ජීවිතේ චමල් සමඟ රහස් තිබුණේ නැහැ.සුදාරකට ආදරේ කරපු හැටි, සමග විවාහ වී දික්කසාද වෙන්නට සිදු වීම ආදී හැම දෙයක්ම මම චමල්ට කියලයි තිබුණේ.ඒ නිසා සුදාරක කියන්නේ කවුද කියලා චමල් දන්නවා.

“ඔයා එයාට කතා කරන්න. අපි එහෙ යමු.”

චමල් එහෙම තීන්දුවක් ලබා දුන්නා.නිතරම පිරිමින් සමග ගැටෙන රැකියාවක් කළාට මං සම්බන්ධයෙන් කවමදාවත් වැරදි ආරංචි ලැබුණේ නැහැ.මම ගෞරවාන්විත ව ජීවත්වන ගැහැණියක් බව චමල් දැනගෙන හිටියා.ඒ නිසාම මම මගේ පළවෙනි පෙම්වතා එක්ක ආයෙම ආදරයෙන් බැඳිලා ඇති කියලා ඔහු කීයටවත් ම හිතුවේ නැහැ.ඒ නිසා චාරිකාව සැලසුම් කරන්න චමල් සම්පූර්ණයෙන්ම මට පැවරුවා.

අපි ලබන සතියේ දවසක සුදාරක ජීවත්වන ප්‍රදේශයට එන බව කියමින් මම ඔහුට ඇමතුමක් දුන්නා.අපිට ඉඳුම්හිටුම් සපයන්න ඔහු බාර ගත්තෙ හරිම කැමැත්තෙන්.මිතුරන් පිරිසක් සමඟ අපේ චාරිකාව ගියා.චමල් ඒ චාරිකාව ගිහින් මිතුරන් එක්ක සම්පූර්ණ දවසම ගත කරන්න වගබලාගත්තා.මත්පැන් බෝතලයක් සහ මිතුරන් කියන සාධක දුවටත් මටත් ඉහළින් ඔහුට හැමදාමත් පෙනෙන නිසා ඒක මහ අරුමයක් වෙන්නේ නැහැ.ඒ ඔහුගේ හැටි.මුල් කාලයේ ඒ ගැන ශෝකයෙන් හිටියට දැන් මට ඒක ඒ හැටි වේදනාවක් නෙමෙයි.
ඔව්! ප්‍රසිද්ධියේ හිමිකම් කියන්න නොලැබුනත් සුදාරක මගේ වීම නිසා මට ඒ වේදනාව නොදැනෙනවා වෙන්න පුළුවන්.අනිත් කාරණාව තමයි සුදාරක නිතරම ඒ ගමන පුරා මමත් එක්ක හිටියා.ඒ නිසාම මිතුරන් වටකරගෙන හොඳටම බීමතින් ඉන්න චමල්ට මගේ හිත රිද්දන්න හැකියාවක් ලැබුණේ නැහැ.

බලන්නටත් විඳින්නටත් අපමණ දේ ඇති කඳුකර නිවාඩුව සුන්දරව ගෙවී ගියා.මගේ ජීවිතය මට ලබාදුන් සුන්දරම පැය කිහිපයක් මට ලැබුණේ ඒ ගමනේදී ලෝකාන්තයට යන අතරමගයි.ලෝකාන්තයට යන මාර්ගය පහසු එකක් නෙවෙයි.ඒ ගමන ඔබ බහුතරයක් ගිහින් ඇති බව මම හිතනවා. ඒ නිසාම ඔබ දන්නවා ඇති ඒ පාර පහසුවෙන් ඇවිද යා හැකි පාරක් නොවන බව.ලෝකාන්තයට යන මාර්ගයේ එක පියවරක්වත් අම්මා හෝ තාත්තා වඩාගෙන රැගෙන යා යුතු නැති බව මගේ පුංචි දූ තීරණය කර තිබුණා.

ඉතින් ඇය දිගටම දිගටම දිගටම පයින් යන්න පටන් ගත්තා!

අවුරුදු තුනක විතර පුංචි කෙල්ලෙකුට ඒ ගමන පහසු නෑ.ඒත් ඇයට අල්ලාගන්නට ශක්තිමත් අතක් තිබුණා.ඒ සුධාරකගේ අත! ඔහු ඇගේ අත අල්ලාගෙන ඒ පුංචිත්තියට ගැලපෙන වේගයකින් ආවේ මට එක් දෙයක් පැහැදිලි කරමින්.මගේ පුංචි දෝණිට මේ හමුව ඇත්තේ ඇගේ පෙර ආත්මයක තාත්තා කෙනෙක්.මේ ආත්මයේ ඔවුන්ට කිසිම ලේ බැඳීමක් නැතත් ඔවුන් ඉතා ඉක්මනින් හදවතින් බැඳී සිටියා.මගේ දූගේ තාත්තා මිතුරන් එක්ක කෑකෝ ගසමින් අපිට කිලෝමීටර කිහිපයක් ඉදිරියෙන් ගියේ දුව සහ මා ගැන වගක් නැතිව.ඒත් දුවත් මමත් සන්තෝසයෙන් ගී ගයමින් සුධාරක එක්ක ඒ මහා දුර්ග මාර්ගය තරණය කළා.

“අපිට ජීවිතය දිගේ මෙහෙම දුර්ග මාර්ගයක ඇවිදින දවස් ඉස්සරහටත් ඒවි!! සුධාරක,පුලුවන් නම් දුවත් මාත් එක්ක ඉන්න.අපිට ඒ ගමනට හයියක් වෙන්න.”

මම හිතින් එහෙම මිමිණුවා.

සුධාරක එක්ක බොහොම මිත්‍රත්වයකින් ඇවිදගෙන යන අතර මගේ පුංචි කෙල්ලට ප්‍රශ්නයක් මතු වුණා.

“අම්මී මේ කාද?” මේ කවුරු විය හැකිදැයි ඇය ඇගේ භාෂාවෙන් ඇසුවේ එහෙම.මම කුමක් කියන්නදැයි මා ගල් ගැසී ගියා.”මේ සුධාරක මාමා.අම්මාගෙ යාලුවෙක්”එහෙම කියන්නට මගේ හිත මට ඉඩ දුන්නේ නෑ.

“මේ අප්පච්චි.”

මම මගේ පුංචි දෝණිට අලුත් නෑකමක් හඳුන්වා දුන්නා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles