ජාලියට කල්පනා කරන්නට බොහෝ දේ තිබිණ.ඔහු සිටියේ සිතුවිලි වලින් ආතුරව ය.සැබෑවටම ඔහු ඕනෑම දෙයක් වැඩිපුර හිතන්නට අකමැති මිනිසෙකි.නමුත් මේ මොහොත එසේ ගෙවන්නට ඔහු අපොහොසත් ය.
“දූගෙ සතුටයි වැදගත් ජාලිය.අපි කවුරුත් තව අවුරුදු දහයක් විස්සක් ජීවත් වෙන මිනිස්සු.”
මේකලා එසේ පැවසුවේ ඇස කඳුළු පුරවාගෙන ය.කළ යුතු දේ සිතමින් ජාලිය ඔබමොබ සක්මන් කරන්නට පටන් ගත්තේ ය.ඔහුට ඔහුගේ තීරණය ඔහුගේ ආකාරයට ගන්නට ඉඩ හැර මේකලා පුස්තකාල කාමරයට වැදුණා ය.
“මං ඔයාලගෙ අම්මට කතා කරලා ඇවිල්ලා අපේ තාත්තටත් කතා කළා.”
ආරණ්‍යාට ඇමතුමක් දුන් මේඝ එසේ පැවසුවේ සැනසුම් හඬකිනි.ඔහු අම්මා දකින්නට පැමිණීම ආරණ්‍යාට සතුටකි.ඈ මේඝට කතා කරන්නට ඉඩ දී නිහඬව අසා හුන්නා ය.
“තාත්තාගෙ අකමැත්තක් නෑ.පොඩ්ඩක් රණ්ඩු වෙන්න පුරුදු වෙන්න කිව්වා ඔයා අම්මා වගේ නම්..”
මේඝගේ සිනාව සැහැල්ලු එකකි.නමුත් ආරණ්‍යාට කියන්නට තිබුණේ සැහැල්ලු කතාවක් නොවේ.
“අම්මා චූටි මාමාගෙ මරණෙට හුඟාක් කැළඹිලා හිටිය කාලයක් මේඝ ඒ..එයා හුඟක් ඩිප්‍රෙස් වෙලා ඉන්න ඇති.මගේ අම්මා ඒ තත්වෙ පාලනය කරගන්න නොදැන ඉන්නකොට ඔයාගේ තාත්තා අලුත් පරිසරයකට හුරු වෙවී ඉන්න ඇති.ඔයාට හිතෙන්නෙ නැද්ද ඒ දෙන්නා රණ්ඩු වෙලා වෙන් වෙන්න හේතු වුණේ ඒ කාරණාව කියලා.”
අම්මා විශාදය නිසා පීඩා විඳි අන්දම ආරණ්‍යා හොඳින් දන්නී ය.අම්මාට ඒ තත්වය සමනය කර ගන්නට ඇයත් මල්ලිත් පාලමක් වීම ම ආරණ්‍යාට සතුටකි.අම්මා සුව කළේ කාලය ය.ඒ කාලය සමඟ එක් වී එයට හවුල් වීම සතුටක් වූ නිසාම ආරණ්‍යා මේඝ සමඟ ආදරයක පැටලෙන්නට ද බිය වූවා ය.
“හිත් නොරිද්දාගෙන උස් මහත් වුණු අය හැටියට අපිට පුලුවන් වෙයි අම්මලා කරපු වැරදි නොකර ඉන්න.මම ඔයාගෙ හිත රිද්දන බව ඔයාට තේරුණොත් හරි ඔයා මගේ හිත රිද්දන බව මට තේරුණොත් හරි අපිට බැරි වෙයිද රණ්ඩු නොවී වෙන් වෙන්න..”
ප්‍රේමයක් ඇරඹුණු හැටියේම වෙන් වන ආකාරය කතා කිරීම ගැන මේඝට අමනාපයක් නොඉපදිණ.ආදරය සේම වෙන් වීම ද අයිතියකි.හිත අතිශය රිදවා ගැනීමකින් තොරව සමු ගැන්මකට ඉඩ ලැබේනම් එය අනිත් පාර්ශවයට කරන උදව්වක් බව මේඝ ද දනියි.බොහෝ යුවළවල් පටලා ගන්නා තැන එතැන ය.
“අපි අම්මලාට අතීතෙ සිද්ධ වුණු වැරදි නොකර ඉන්න පුලුවන් තරම් උත්සාහ කරමු..”
ආදරයක් විවාහයකින්ම කෙළවර කරගන්නට උත්සාහ දැරීම ද එක්තරා අන්දමක උමතුවක බව ආරණ්‍යාට සිතේ.දික්කසාදය වසංගතයක් වී පැතිරෙන්නේ කෙසේ හෝ හිමි කර ගන්නට යාමේ උමතුව නිසා ද වන බව ඇය නොදන්නවාම නොවේ
“මේකලා ඔය මහේන්ව බැන්දත් ඒක ඩිවෝස් එකකින් තමා කෙළවර වෙන්නෙ.උන් දෙන්නට උන් දෙන්නා දරන්න අමාරුයි.ඇත්තටම ජාලිය අයියා වගේ මනුස්සයෙක් කියන්නෙ මේකලාට මහා ආශිර්වාදයක්.”
බිනරි නැන්දා එසේ පැවසූ අන්දම ආරණ්‍යා සිහි කළේ ය.
“තමන්ගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන කෙනෙක් එක්ක තමයි ජීවිතේ එකට ඇවිදගෙන යන්න ඕන..”
අම්මා ජයග්‍රහණයට පාත්‍ර වන සෑම අවස්ථාවකදීම අත්පොළොසන් නගන අප්පච්චි ඇය සම්මානයට නිර්දේශ වීමෙන් නැවතෙද්දී දුක් වන ආකාරය ආරණ්‍යා සිහි කළා ය.
“අම්මාට වඩා ඒ සම්මානෙ අයිති වෙන්න ඕන ඒ පොතට.හම්මෝ ඒක මාරම මාරයි.අම්මා දැනගන්න ඕන ඊටවඩා හොඳට ලියන්න..”
එවැනි කතාන්දර පවසා අප්පච්චිගේ දරුණු රැවුම් භුක්ති විඳගත් දවස් මේඝට ඇහුම්කන් දෙන අතරම ආරණ්‍යා සිහි කළා ය.
“මං අපේ අප්පච්චිට කියන්නෙ කෝමාරිකා පැළයක් වගේ මනුස්සයෙක් කියලා.ඔයාට එහෙමම වෙන්න බැරි වෙයි.ඒත් අපි ආදරෙන් ඉමු..”
ආරණ්‍යා කතාව නැවතූයේ අප්පච්චි දොරකඩ හිඳ ඇයට හඬ ගැසූ නිසා ය.මේඝට වහා සමුදුන් ඇය කාමරයේ දොර විවර කළේ අප්පච්චි වෙනුවෙනි.
ඇගේ පළමුවැනි තැන තවමත් අයත් ඒ නිහඬ මිනිසාට ය.සියල්ල දරා ගන්නා පුද්ගලයා ට ය.