දුරදිග නොසිතා කරන වැරදි වලට කෙදිනක හෝ දඬුවම ලැබෙනවා – The Body (2019)

2019 වසරේ දෙසැම්බර් මස දහතුන් වන දින නිකුත් කෙරෙන The Body (2019) නැමැති මෙම අපූරු චිත්‍රපටය ,ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය සහ ත්‍රාසජනක බව නොඅඩුවම  පවත්වා ගන්නට සමත් වන චිත්‍රපටයක්.

ප්‍රේක්ෂකයා තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කර නික්ම ගිය රිශී කපූර් මෙහි ප්‍රධාන චරිත වලින් එකක් ඉතා අපූරු ලෙස රඟ දක්වනවා .ඉම්‍රාන් හෂ්මි , සෝභිත දුලිපාල සහ වේධිකා මෙහි අනෙක් ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
චිත්‍රපටය ආරම්භ වන්නෙ රටේ පිළිගත් සහ ධනවත් කෝටිපති ව්‍යාපාරිකාවක් වන මායා වර්මාගේ මරණයෙන්.හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වන ඇයගේ සිරුර රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ඒමෙන් පසුව සිදුවන අද්භූත සිදුවීම් දාමයක් සමග ප්‍රේක්ෂකයාව චිත්‍රපටය වෙත මුල සිට ම ඇද බැඳ තබා ගන්නවා

මායා ගේ මළ සිරුර ශරීරාගාරයෙන් අතුරුදහන් වීමත් සමගම ඇය රෝහලේ ඇවිද යන ආකාරය  ආරක්ෂක නිලධාරියා විසින් දකිනවා.කෙසේ හෝ මෙම සිදුවීම් විමර්ශනය කරන පොලිස් නිලධාරියා වන ජයිරාජ් රාවල් විසින් මායා ගේ සැමියා වන අජේ පූරිව රෝහල වෙත කැඳවනවා. අජේ කෙරෙහි සම්පූර්ණ සැකය පලකරන පොලිස් නිලධාරියා මායාගේ දේහය සොයා යාමේ පරීක්ෂණ කටයුතු කෙරෙන අතර තුර අජේව රෝහලේම නතර කර තබා ගැනීමට කටයුතු කරනවා . මෙයින් දැඩි ලෙස කෝපයට පත්වෙන අජේ පොලිස් නිලධාරියා සමග දිගින් දිගටම තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව තර්ක කරනවා .

කෙසේ හෝ අජේ මෘත ශරීරාගාරය අසල රැඳී සිටින විට ඔහුට කිසියම් අද්භූත සිදුවීම් කිහිපයකටම මුහුණ දීමට සිදුවෙනවා.ඒ අතරතුර මායා ට අයත් භාණ්ඩ කිහිපයක් බහා තිබෙන බෑගයේ තිබී පැය අටක් ඇතුළත හෘදයාබාධයක් ඇති කිරීමට හැකි විෂ වර්ගයක් තිබෙන කුප්පියක් අජේට හමුවනවා.එය දකින ඔහු පුදුමයෙන් පුදුමයට පත්වනවා. එය අජේ සතුව තිබෙන බව දකින පොලිස් නිලධාරියා එය කුමක්දැයි හරියාකාරව දැන ගැනීම සඳහා පරීක්ෂණ වෙත යොමු කරනවා.

පොලිස් නිලධාරියා විසින් මේ අතරතුර දිගින් දිගටම අජේ වෙත සැක පළ කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරනවා.එහිදී අජේ කියා සිටින්නේ මායා විසින් නිරන්තරයෙන්ම ඇගේ මුදල් බලයේ ආධිපත්‍යය පතුරවමින් සිටි නිසා තම අනියම් පෙම්වතිය වන රිතූ සමග හවුල් වී ඇයව මරා දැමීම සඳහා ඔහු සැලසුම් කළ බවයි. එය ස්වාභාවික මරණයක් ලෙස ඒත්තු ගැන්වීම සඳහා හෘදයාබාධයක් ඇති කිරීමට හැකි විෂ වර්ගයක් භාවිතා කළ බව අජේ පවසනවා.

මේ අතරතුර සිදුවන සිදුවීම් සමග මායා මියගොස් නැති බවත් , ඇය තවමත් ජීවත් වන බවත් ඇය තමාගෙන් සහ රිතූ ගෙන් පලිගැනීමට සැලසුම් කරන බවත් අජේ නිගමනය කරනවා. නමුත් චිත්‍රපටය අවසානයේ දී ප්‍රේක්ෂකයාව පුදුමයට පත් කරමින් සිදු වන්නේ නොසිතූ සිදුවීම් පෙළක්  
ඇත්ත වශයෙන්ම මායා ජීවතුන් අතරද? 

එසේත් නැතිනම් මියගිය මායා අජේගෙන් සහ රිතූ ගෙන් පළි ගැනීම සඳහා පැමිණෙනවාද?

නොසිතූ අවසානයක් කරා ඔබව රැගෙන යන මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක් වන්නේ ඒ නිසා.

ජීතූ ජෝශප් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයෙහි සම්පූර්ණ කාලය විනාඩි එකසිය එකක් වනවා.2012 වර්ෂයේ නිකුත් කෙරුණු ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන The Body චිත්‍රපටයෙන් නිල ප්‍රතිනිර්මාණය ලෙස මෙම චිත්‍රපටය දක්වා තිබෙනවා.
සැබැවින්ම ඔබ දුරදිග නොසිතා සිදුකරන යම් වැරදි වලට කෙදිනක හෝ ඔබට දඬුවම් ලැබිය හැකි බව මෙය නරඹා අවසානයේ දී ඔබට වටහා ගන්නට හැකි වේවි

Related Articles

Don't Miss


Latest Articles