අකල් වැහි -3

“උදේට මොකුත් කාලා නැතුව එක පාර ශෝට් ඊට්ස් කන්න ගිහින් මොකක් හරි වුණා මහිතේ”

හිරුදි එසේ කියද්දී පවා නිපුනි ඇය දෙස බැලුවේ සැකමුසුව ය.මේ එවැන්නක් නොවන බව නිපුනිට දැනෙද්දී හදවත වේගයෙන් ගැහෙන හඬ නිපුනිටම දැනේ.සිතිජ පසෙක ඇති වෛද්‍ය කඳවුර වෙත අත දිගු කළේ ය.

“මෙඩිකල් කෑම්ප් එකට ගිහින් මොනවහරි බේතක් ගන්න.”

පළපුරුදු වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් එතැන කඩියන් මෙන් වැඩෙහි යෙදෙන බව හිරුදි බලා හුන්නා ය.ඇයට ඕනෑ වූයේ පාසල් අධ්‍යාපනයෙන් පසු විදෙස්ගත වන්නට ය.වෛද්‍ය අධ්‍යාපනය හදාරන්නට ය.නමුත් ඒ කිසිවකත් වඩා චේතන හා විවාහය අනිවාර්ය වූ අන්දම ඇය සිහි කළා ය.

“අපි යන්නං.මෙයාට මහන්සි වගේ.”

වතුර බෝතලයක් රැගෙන විත් හිරුදිට උපකාර කරන තවත් තරුණියක් දෙස බලමින් නිපුනි ස්තූති පූර්වක වූවා ය.

සිතිජගෙන් වෙන් වන්නට පවා හිරුදිට ලෝබකමක් දැනිණ.කුස කලතවා වමනය කරන්නට සිතෙන මොහොතේ පවා නොදන්නා තරුණයෙකු වෙනුවෙන් ප්‍රේමයක් ජනිත වෙමින් පවතින බවක් ඇයට හැඟෙමින් තිබිණ.ඉතා දීප්තියෙන් බබළන හිරු රැස් මඟ හරිමින් මෝටර් රථය වෙත ඇවිද එද්දී පවා ඇය සිතිජ සිහි කළා ය.එතැන තරුණ තරුණියන් දස දහසකට ආසන්නව හිඳින බව අනුමාන කරන්නට හැකි ය.නමුත් ඒ සියල්ල අතරේ සිතිජ කැපී පෙනෙයි.

“හිරූ..ඇත්තටම මොකද ඔය?”

නිපුනිගෙන් කඩඉම් ප්‍රශ්නය නැඟුණේ මෝටර් රථය පණ ගැන්වූ මොහොතේම ය.හිරුදි කිසිවක්ම නොකියා ඉවත බලා ගත්තා ය.චේතනට හොරා ලබා ගත් උපත් පාලන පෙති ඔහුට හසුවන තුරුම මෙවැනි මොහොතක් ගැන බියක් හිරුදිට නොතිබිණ.

“තමුසෙ මොකටද මේවා බොන්නෙ.”

චේතනගෙන් අතුල් පහරක් සමඟම පැනයක් නැඟිණ.හිරුදි කිසිවක්ම නොකියා ඉවත බලා ගත්තා ය.සතෙකු වැනි මිනිසෙකු සමඟ තර්කය පලක් නොවන බව ඇය දන්නී ය.

“භාග්‍යා,තමුසෙගෙ කේන්දරේ තියෙන්නෙ පුත්‍ර ලාබ විතරයි.තමුසෙ ළමයෙක් හදන්න ඕන ඉක්මනට.”

රටේ ඉහළම පිරිමි පාසලට ගොස් ඉනික්බිතිව විදෙස් අධ්‍යාපනය හැදෑරූ බව කියන තරුණ මිනිසෙකු අදහන කාරණා ගැන ඒ අසීරු මොහොතෙහි පවා හිරුදිට සිනාවක් නැඟිණ.ඔහු හිරුදි භාග්‍යා සමරවික්‍රම විවාහ කරගන්නට හේතුව ඇගේ ප්‍රබල ජන්ම නැකත ය.

“ඔයා රටේ නායකයගෙ ආර්යාව වෙන්න තරම් පින් තියන කේන්දරයක් තියන කෙල්ලක්.”

අම්මා එවගක් පැවසුවේ අමුතු උද්දාමයකිනි.
චේතන දේවතිලක මේ වෙද්දී ඔහුගේ පියා ද අභිභවන චරිතයක් වී හමාර ය.ඔහුට අවශ්‍ය ඉතා ඉක්මනින් බොහෝ දුර යන්නට ය.පුතෙකු ඉපදීම ඒ වාසනාව දෙගුණ තෙගුණ කරන්නක් බව ද ඒ කේන්දරයේ කොහේ හෝ ඇතිවාට සැක නැත.

“හිරූ..ඔයාට මං කියන දේ ඇහෙනවද?”

නිපුනි එසේ කියද්දී හිරුදි කලබල අගනුවර වෙත ඔහේ නෙත අලවා ගත්තා ය.අනතුරුව ඇල්මැරුණු ස්වරයකින් මිතුරිය ඇමතුවා ය.

“බබෙක් වෙන්න ඇති තමයි..”

එහෙත් ඇගේ මුහුණෙහි කිසිම සතුටක් නොවේ.මේ උපදින්නේ රාහුලයෙකි.ඔහු රජ කුමරෙකු වන්නට පිනැත්තෙක් වුවත් සිදුහත් කෙනෙකුගේ පුතෙකු නොවේ.මෙවැනි මොහොතක ඉපදෙන ඒ ලේකැටියා පවා රටේ මිනිසුන්ගේ ශාපයකට ලක් වන බව හිරුදි දනියි.ඇය ලියූ සටන් පාඨය පවා නැවත නැවත ගුණාකාර වෙමින් අරගල බිමෙහි පැතිර ගිය ආකාරය ඇය සිහි කළා ය.

“ඕක හංගන්න ඔයාට බෑ හිරූ.අනික මෝඩ වැඩ එහෙම කරන්නෙ නෑ.”

හිරුදි එවදන් අසා හිනැහුණා ය.මේ දරුවාගේ තාත්තාට මිනිසුන් මැරීම මදුරුවන් මැරීමටත් වඩා සුළු දෙයක් බව ඇත්තකි.නමුත් තමන්ට දරුවෙකු විනාශ කර දැමීම පහසු නොවන බව ඇය දන්නී ය.

“මට මෙයාවත් අරන් කොහේ හරි රටකට ගිහින් හැංගෙන්න තියනවනම්..”

එසේ කියද්දී ඇයට සිතිජ සිහි විණ.කුඩා ළපෙති දරුවෙකුගේ පාදයකට සිහින් තට්ටුවක් දමමින් ඔහු පැවසූ වදනක් ඇයට සිහිව ඒ.

“අපි මේ රට හදන්නෙ ඔයාලට.”

ඒ දරුවන් වෙනුවෙන් ගොඩ නැඟෙන රටක පුභූ පැටවෙකුගේ අහංකාරය නොවැළඳ සාමාන්‍ය දරුවෙකු සේ ජීවත් වන්නට තම නූපන් බිළිඳාට හැකි වන දිනක් ගැන හිරුදි සිහින මවන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles