හිරුදි නිවසට ආවේ තෙහෙට්ටුවෙනි.දේවතිලක මැදුරේ බලය හිමි ලසඳා දේවතිලක මැතිණිය හුන්නේ රූපවාහිනිය නරඹමිනි.ජනතා අරගලයේ නවතම දසුන් නොනවත්වාම හදිසි පුවත් සේ විකාශය වේ.ලසඳා හිඳින්නී ඒවා නරඹමින් ලේ කෝප කරගන්නා අතර ය.
“දෙතුන් දෙනෙක් ගෙනිහින් අමතක වෙන්නැති පාඩමක් ඉගැන්නුවනම් ඔය විකාරකාරයන්ව හොයාගන්නවත් නැති වෙනවා.”
ඈ උස් හඬින් බැන වදින විට හිරුදි එතැන මොහොතක් නැවතුණා ය.රළ පෙළ සේ ගලන ජන ගඟ ඇයට සිහි වූයේ චේතනගේ අම්මා ඔවුන්ට පහත් ලෙස බැන වදින හන්දා ය.මර්දනය මිස විසඳුමක් නොදන්නා මේ ගැහැනියගේ හිත රිදවන්නට හිරුදිට ඕනෑ විය.
“දැන් නම් ඒ නැටුම් නටන්න අමාරුයි ආන්ටි.මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඇත්ත තේරුම් අරන් ඉන්නෙ.”
ළසඳා ලේලිය දෙස බැලුවේ නොපහන් දෑසකිනි.අර තරමට ප්‍රබල කේන්දරයක් නොවූවානම් භාග්‍යා සමරවික්‍රම ලේලිය නොකර ගන්නට තරම් සිතුණු තැන් අනන්තවත් තිබේ.ඇය හිඳින්නේ මිය ගිය පෙම්වතා කෙරෙහි ප්‍රේමයකින් බවද ළසඳා නොදන්නවාද නොවේ.චේතන ලෝකය කරගත්තානම් ඔහුගේ කෙළවරක් නැති ප්‍රේම කතා ගැන මේ යුවතියට ගැටළු මතුවන්නට තිබිණ.නමුත් හිරුදි ඒවා කිසිසේත්ම නොතකයි.ඇයට චේතන ගැන කිසිම හැඟීමක් නොවන බව ද ළසඳා දන්නී ය.මෙසේ අමුතු කතා කියන්නට හේතුව ද එයම ය.
“මේ පවුලෙ මනුස්සයෙක් ඔහොම කතානම් කියන් නෑ භාග්‍යා.දැන් අපේ පුතා හදන්නෙ ඔය ළමයි එක්ක හිතවත් වෙන්න.මොකක් හරි වෙනසක් වෙනකොට අපේ පුතාට ඒ වෙනස කරන්න පුලුවන් කියල ඔය තරුණ ළමයි විශ්වාස කරොත් ඒත් මදැයි”
හිරුදි ඒවා නාසමින් උඩුමහලට ගියා ය.ඇයට සීතල වතුර මල යටට වෙද්දී කුස පිරිමදින්නට සිතිණ.
“ඔයා ඇයි ආවේ පුතේ?”.
ඖෂධ හිඟය හෝ ආහාර හිඟය මේ දරුවාට බල නොපාන බව ඇය හොඳින් දන්නී ය.ඇතැම්විට මේ පිළිසිඳ ගැන්ම ඇසූ සැනින් තමා රටින් පිටමං කරන්නට දේවතිලක පවුල ක්‍රියා කරන්නට පවා ඉඩ තිබේ.එහෙත් හිරුදිට දැනෙන ශෝකය චේතන වැනි මිනිසෙකුට දාව දරු උපතක් කරන්නට සිදු වීම ය.
“ඔයා මිසිස් දේවතිලකට බබා ගැන කිව්වද?”
නා අහවර කර පැමිණි හිරුදි මුලින්ම දුටුවේ නිපුනිගේ කෙටි පණිවිඩය ය.ඇය සුසුමක් හෙළා ඇඳ මත හිඳ ගත්තා ය.මෙය ළසඳාට කියන්නට ඕනෑ බව සිතද්දී පවා හිරුදිගේ හිස කකියන අතර ඇයට මේ මොහොතේ දැනෙන්නේ මහත් වේදනාවකි.
“මේ බබා ඔයාගෙ වුණානම් මම මෙතන කෑගහගහ මොනතරම් විකාරයක් නටයිද?”
ඇය දෑස් පියාගෙන නිසල්ට මිමිණුවා ය.නිසල් සමඟ ප්‍රීතිමත් ජීවිතයක් ගැන මැවූ හැම සිහිනයක්ම ඇයට සිහි වෙන්නේ මෙවන් මොහොතක ය.
“අර සිතිජත් ඔයා වගේ.කඩියෙක් වගේ දඟලන කොල්ලෙක්.මෙලෝ පිළිවෙලක් නැති කොල්ලෙක් වුණාට ඔයාට වගේම කෙල්ලො වහ වැටිලා කියල මට හිතුණා..”
ඇය ඒ වදන් මිමිණුවේ දෙතොල් මත ලා හසරැල්ලක් වැටෙද්දී ය.යන එන ගමන් ගැන සෙවීම ළසඳාගේ පුරුද්දක් නොවන නිසාම ඉක්මනින් දවසක අරගල බිමට යන්නට හිරුදිට සිත් වේ.ඒ ඔහු දකින්නට ය.
“මට හරිම බඩගිනියි පැංචො.අම්මා කෑම කන්න පහළට යනවා.ඔයාට පුලුවන් නේද ඔයා ඇවිල්ලා නෑ වගේ ඉන්න.”
හිරුදි තවම සති කිහිපයක් සම්පූර්ණ වී ඇති කළලයෙන් ඇසුවේ ආදරයෙනි.නමුත් තාත්තා මෙන් හිතුවක්කාරයෙකු වන්නට පතා ආ දරුවෙකු හන්දාදෝ ඒ ආදරණීය ආයාචනාව නූපන් බිළිඳා වහා බැහැර කර තිබිණ.බත් හැන්දක් බෙදා ගත් වහා පසෙක ඇති සේදුම් බේසම අල්ලාගෙන වමනය කරන ලේලිය දෙස ළසඳා බලා හුන්නේ පුදුමයෙනි;සතුටිනි.
“ඩොක්ට ගමගේ මුණ ගැහෙන්න යං”
නැන්දණියගේ හඬ අණක ස්වරූපයෙන් සවනෙහි වැදෙන අන්දම හිරුදි දරා සිටියා ය.නූපන් බිලිඳා තම පැමිණීම නිරාවරණය කර අවසන් ය.මේ සාමාන්‍ය බඩේ රුජාවක් බව කියන්නට අපහසු නොවේ.නමුත් පෙනෙන සත්‍යයක් කාලාන්තරයක් තිස්සේ වසන් කරන්නට නොහැකි බව හිරුදි දන්නී ය.
ඇය සත්‍යයට මුහුණ දෙන්නට හිත එකඟ කර ගත්තා ය.