අකල් වැහි -15

සිතිජ කූඩාරමෙන් පිටතට වී තාරකා පිරි අහස දෙස බලමින් මොහොතක් කල් මැරුවේ ය.අනාගත සැලසුම් කෙබඳු වේදැයි මිතුරු පිරිස සමඟ කතාබහ කර මඳක් නිදන්නට ගෙන පැයක් වත් නොගෙවිණ.අංජලී ඔහු අවදි කළා ය.නිහඬ කරන්නට අමතක වූ ජංගම දුරකථනය හඬ තලන්නට වූයේ එහා ඉම අංජලී වග කියමිනි.

ඔහු දුරකථනය අතට ගත්තේම නොකැමැත්තෙන් ය.ඈ දැන් නික්ම ගොස් අවසන් ය.ඒ නික්මනෙහි නොරැඳී ඇමතුම් ලබා දීම ගැන ඔහුට ඇත්තේ වේදනාවකි.

“ඇයි අංජු?”

සිතිජ ඇසුවේ හඬ බිඳෙන්නට නොදෙමිනි.අංජලී සුසුමක් හෙළා මොහොතක් නිසොල්මන්ව සිටියා ය.

“වැස්සද?”

මේ මහා ජන ගඟ අතොරක් නැති වර්ෂාව පවා දරා ගන්නා වග කියා සිතිජ නිහඬ වූයේ ය.එහෙත් අද වර්ෂාවක් නැත.මැයි මාසය එළඹෙන කල වර්ෂාව බලාපොරොත්තු විය යුතු බව ද ජනතාව දනියි.සිතිජ ඒ වගක් අංජලිට කියන්නට නොගියේ ය.තර්ක කරන්නට අපහසු තමන් නිවැරදි බව සිතන කෙල්ලක සමඟ තර්කය හිස රුජාව ඇති කරන්නකි.

“මම වැඩ අංජු.ඇයි කතා කළේ?”

අංජලි සිහින් සිනාවක් නැඟී ය.සිතිජ මහා රාත්‍රියේ සටන් පාඨ කියමින් කෑගසන යුවතියක දෙස බලා සිටියේ ය.ඒ යුවතියන් සහ අංජලී අහසට පොළොව වාගේ ය.ඔහුට හිරුදි සිහි වූයේ හදිසියේ ය.පෙනුමෙන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන සලකුණු තිබුණ ද ඇයට ඕනෑ මෙතැනම රැඳෙන්නට ය.ඒ යුවතියන් ගැන අංජලීට කියන්නට තරම් හිතක් සිතිජට ඇති විණ.නමුත් තේරුමක් නොවේ.ඇය කෝප ගැන්වීම කමකට නැති වැඩකි.

“ඔයා ඔයාගේ හස්බන්ඩ් එක්ක රණ්ඩු වුණාම මට කෝල් කරන එක නවත්තන්න අංජු.ඒක ඇත්තටම නරකයිනෙ.”

සිතිජගේ හඬ අසා අංජලි උමතුවෙන් මෙන් හිනැහෙන්නට පටන් ගත්තා ය.ඇය කෝපය නිවා ගන්නට මෙසේ උස් හඬින් හිනැහෙන බව සිතිජ දනියි.ඔහු කිසිවක්ම නොපවසා අසා හුන්නේ එනිසා ය.

“මහ ලොකු රැඩිකල් මනුස්සයා.ආණ්ඩු පෙරලලා යහපත් පාලන ක්‍රමයක් ඇති කරන්න ගෝල්ෆේස් එකේ කූඩාරම් ගහන් ඉන්නෙ නම්.ඒකට මොකද මගේ හස්බන්ඩ්ට බයයි.”

ඒ බියක් නොවේ.හැමතැනකම සාධාරණත්වය අපේක්ෂා කරන්නේ නම් මෙතන ද සිදුවන්නේ අංජලීගේ සැමියාට අසාධාරණයක් බව සිතිජ පැවසී ය.කියන්නට තවත් කාරණාවක් තිබේ.එය අංජලීට රිදවුමක් ඇති කරන්නට සමත් දෙයකි. නමුත් නොකියා හිඳින්නට නොහැකි වූ නිසාම එය පවසන්නට සිතිජ තීරණය කළේ ය.

“අනික ඔයාව බලෙන් එයාට මැරි කෙරෙව්වෙ නෑනෙ අංජලී.එහෙම ඉරණම් අයිති වෙන ගෑනු ළමයිත් ඇති.ඔයාට එහෙම දෙයක් වුණේ නෑ.ඔයා බැන්දේ කැමැත්තෙන්.එයාව තෝරා ගත්තේ කැමැත්තෙන්.මාව අත් අරින්නම් කියලා මගේ මූණටම කියලා මෙහෙම සැරින් සැරේ මට කතා කරන්න එපා.ඒක මහ විකාරයක්.”

සිතිජ කියවාගෙන ගියේ ආවේගයෙනි.ඒ ආවේගය ඇතැම්විට අංජලිට තවතවත් ඔහු ප්‍රකෝප කරන්නට හේතු වන බව ඔහු නොදන්නවා නොවේ.නමුත් ඔහුට එසේ නොකියා හිඳින්නට අසීරු විය.අංජලි ප්‍රේමයේ නාමයෙන් ඉවසා බලා සිටියේ නැත.ධනවත් ව්‍යාපාරික පවුලේ පුතු සමඟ විවාහ වන්නටත් අනතුරුව විදෙස්ගත වන්නටත් තීරණය කළා ය.එහෙත් සැමියා අතින් හිත රිදෙන ඕනෑම මොහොතක සිතිජ ඇමතීම ඇගේ පුරුද්දකි.එය යහපත පිණිස නොවන වග සිතිජ දනියි.

“තමන්ගේ ජීවිතේට අවංක වෙන්න අංජලී.මේ මොහොත අවංකව ගෙවන්න.මේ රටේ මිනිස්සු එහෙම නෑ.ගොඩක් අය වාසියි හිතෙන හිතෙන පැත්තට දුවනවා.අන්න ඒක තමයි අපි මේ අරගල කරන්නත් හේතුව.තමන් හරි දේ තෝරාගන්නවානම් අරකත් හොඳයි මේකත් හොඳයි හිතෙන් නෑ.ඔයාට වෙලා තියෙන්නෙත් ඒක.වාසියට ආදරේ කරන්න යන්න එපා..”

සිතිජ කියවාගෙන යද්දී අංජලී ඇමතුම විසන්ධි කර දැමුවා ය.නමුත් ඇයට ඕවාගේ ගාණක් නැත.නැවත හෙට දවසේත් අමතන්නට ඉඩ තිබේ.සිතිජට හිස් හැඟීමක් දැනෙන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles