මහා මන්දිරයක ගෙවන ජීවිතය වුවද ප්‍රේමයත් කරුණාවත් නැතිනම් ඵල රහිත වග හොඳින් දන්නී හිරුදි ය.අක්කා ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයකි.ඈ දැන් රැකියාවෙන් ඉවත් වී පුතුගේ කටයුතු කරමින් ජීවිතය ගෙවයි.නවසීලන්තයේ ආකාස පියස්සක එළවළු වවමින් සිංහල කෑම බීම හදමින් ඈ ගෙවන ජීවිතය හිරුදිට ඇති කරන්නේ ලෝබකමකි.අක්කා වෙත පලා ගොස් ජීවත් වන්නට තරම් ආවේගයකින් හිරුදි දැවී යයි.
“ඕපනින් සෙරමනි එකකට ඉන්විටේෂන් එකක් තියනවා භාග්‍යා.ඒකට යන්න ලෑස්ති වෙනවද?”
රට ගිනි ගනිමින් තිබියදී රූපලාවණ්‍යගාරයක් විවෘත කරන්නට සැරසෙන නැන්දණිය පවසන දේ නෑසුනාක් මෙන් හිරුදි නින්දේ පසු වූවා ය.ළසඳා දේවතිලක හිරුදිගේ අත් ගොබයට අත තබා ඈ අවදි කරන්නට තැත් දැරුවා ය.
“නැගිටින්න.ඔයත් මේවා පුරුදු වෙන්න ඕන..”
හිරුදි මවා ගත් රෝගී මුහුණකින් ළසඳා දෙස බැලුවා ය.ඇගේ කුසයේ වැඩෙන දරුවා කරදකාරී නොවේ.උදෑසන අපහසුතාවයක්වත් අම්මාට නොදී හිඳින්නට තරම් දැන් දැන් ඒ නූපන් ජීවියා සැලකිලිමත් ය.නමුත් රඟපාන්නට අවශ්‍ය මොහොතක එය නොකර හිඳින්නට හිරුදි අකමැති ය.
“අනේ ආන්ටි..මට නැගිටලා ඉන්න කිසිම පණක් නෑ.උදේ වරුවම වොමිට් වුණා..”
මෙසේ පැවසීම වහවහා වෛද්‍යවරයා වෙත යන්නට ද කාරණාවක් බව හිරුදි නොදන්නවා නොවේ.නමුත් ඇය එසේ පැවසුවේ හැකිතාක් ලෙඩ මුහුණක් මවාගෙන ය.ළසඳා හිරුදිගේ පිට අතගා මොහොතක් ඈ දෙස බලා සිටියා ය.හිරුදි තවම විසි එක් වයසැති කෙල්ලකි.ඇගේ වයසේ බොහෝ තරුණියන් මවක් වීම තබා තවම හරිහැටි ප්‍රේමවන්තයෙකු වත් සොයා ගෙන නැති බව ළසඳා ද නොදන්නවා නොවේ.නමුත් වැය කරන්නට කාලයක් නොවේ.චේතනට ජීවිතය ජය ගන්නට වඩාත් උදව් දෙන කේන්දරය සහිත ගැහැනු ළමයා ඉක්මනින් විවාහ කර දෙන්නට ළසඳා පියවර ගත්තා ය.එසේ නොමැති වූවානම් හිරුදි ලබා ගන්නට වෙනත් තරුණ දේශපාලකයෙකු ක්‍රියා කරන බව ළසඳා නොදන්නවා නොවේ.
“අම්මලගෙ ගෙදරට ඇරලන්නද ඔයාව? මං එන්න ලේට් වෙනවා.”
හිරුදි හිස වනා එකඟ වූවා ය.ඇය ගැබිණියක බව දැනගත් දා පටන් අම්මා සහ නැන්දම්මා තමන් ඇස් මායිමේම රඳවා ගැනීම හිරුදිට ඇතැම්විට සිනා උපදවන්නට සමත් ය.මේ මුණුබුරෙකු දැකීමේ නොතිත් ආශාව වූවානම් ඇය ඒ ආදරය විඳගන්නේ ආදරයෙනි.
නමුත් මේ ආදරයක් නොවේ.අනාවැකිකාරියකගේ වචනය අසා උපන් කෑදරයකි.
“ඔයාට හොඳට පරිස්සම් නොකරොත් චේතන බනින්නෙ මට..”
හිරුදි නිවසට හැරලවන්නට පෙර ළසඳා පැවසුවා ය.හිරුදිට සිනාවක් ඉපදිණ. චේතන එතරමට ආදරය කරන්නේ නම් එය ලෝකයේ ඇති ලොකුම විහිළුව වග ඇයට සිතේ.ඔහු කිසිම දවසක තමන් දෙස ආදරයෙන් බැලූ බවක් හිරුදිට මතක නැත.උතුරා යන රාගය ආදරයට සමාන කරන්නට ඈ නොකැමති ය. චේතන රාගය මිස ආදරය හඳුනන මිනිසෙකු නොවේ.
“ඇඳ බදාගෙන ඉන්නෙ නැතුව ළසඳා එක්ක ඔය වැඩවලට යන්න චූටි දුව.ඔයා දැනගන්න ඕන චේතනට ඡන්ද හදලා දෙන්න.”
අම්මා කියද්දී හිරුදිට ඇති වූයේ පිළිකුලකි.ඇය කොහොමටත් මිනිසුන් දෙස ආදරයෙන් බලන කෙල්ලකි.නිවසේ අත්‍උදව්කාරියක පවා ලෙඩින් නම් ඒ ගැන සොයා බලන්නට හිරුදි කිසිම දවසක නොපැකිළුණා ය.මහමඟ සිඟමනෙහි යෙදෙන අසරණ මවකට සන්තකයම දෙන්නට තරම් කාරුණික වුවා ය.නමුත් ළසදාගේ ව්‍යාජ සමාජ සේවයේ යෙදෙමින් චේතනටත් වික්ටර්ටත් ඡන්ද රැස් කිරීම ඇය දැඩි ලෙස පිළිකුල් කරන්නී ය.
“චේතන අද ස්පෙෂල් මීටින් එකක කීවා නේද? ඔයා ඒ වගේ දේවල් ගැන අහන්නෙවත් නැත්තෙ මොකද?”
අම්මා දුන් පළතුරු යුෂ වීදුරුව පිළිගත් හිරුදි ඇගේ ප්‍රශ්නය නොපිළිගන්නට වග බලා ගත්තා ය.චේතනගේ සමහර වැදගත් රැස්වීම් ඇත්තේ තරු පන්තියේ හෝටල්වල සුරූපිනියන් සමඟ බව කියන්නට සිතුණ ද මේවා අම්මා සමඟ කතා කිරීමේ ඵලක් නොවේ.අම්මා හිඳින්නේ චේතනලාගේ බලයෙන් අන්ධව ගොස් ය.
“අක්කා කතා කරනවද චූටි දුව?”
අම්මා අසන්නේ පුදුමාකාර ප්‍රශ්න බව හිරුදිට සිතේ.ඇය අක්කාව සෑහෙන තරමකට අමතක කර දමා අවසන් ය.අම්මාගේ තේරීම වූ ධනවත් ව්‍යාපාරිකයා ප්‍රතික්ෂේප කළ අක්කාට දිය හැකි දඬුවම ඇය නොසලකා හැරීම බව අම්මා සිතයි.නමුත් තමන්ගේම කියා සුන්දර ලෝකයක් ඇති අක්කාට ඒ නොසැලකීම් ගැන වගක් නැති බව දන්නේ හිරුදි ය.එනිසාම ඇය ඒ ප්‍රශ්නයටත් පිළිතුරු නොදී දෑස් පියා ගත්තා ය.කතා කරන්නට නොඑන ඇයට ඉඩ දී අම්මා යන්නට ගිය පසු හිරුදි සැබෑවටම නින්දට වැටුණා ය.ඒ සුවබර නින්දකි.බොහෝ දවසකට පසු ඇගේ යහනට වී ගෙවූ සුවබර පැය කිහිපයකි.එහෙත් සැනසීමට වැඩි ආයුෂ නොතිබිණ.හිරුදි අවදි වූයේ නිපුනිගේ ඇමතුමකට ය.
“හිරූ..ඔයා දැක්කද?”
නිපුනි අසන්නේ කලබලයෙනි.ඇයට කතා කරගන්නට ද අපහසු බව දුටු හිරුදි කලබල වූවා ය.
“ඔයා දැක්කද අර සිතිජට එහෙම…”
නිපුනිගේ හඬ ඕනෑවටත් වඩා කලබල ය.මොකක්දෝ හේතුවක් හන්දා නිසල්ව සිහි වෙද්දී හිරුදි කම්පනයට පත් වූවා ය.ඇය වහා යහන මත හිඳ ගත්තේ එනිසා ය