සුධාරක ඒ වෙද්දී හිටියේ ණය බරෙන් මිරිකෙමින්.ඔහු නමට බැංකු ගණනාවක ණය පැවතුණා.බොහෝ ණය ලබාගෙන තිබුනේ දිල්හානි විසින්.හිතාගන්න බැරි හේතුවලට ලබාගත්තු ඒ ණය සමහර ඒවා රහසින් ගෙවා දමන්න ඇය තීරණය කර තිබුණත් සුධාරක මතත් විශාල ණය ප්‍රමාණයක් පැවරුණා.
ඉතින් මට මුණ ගැහෙනකොට සුදාරක හොඳටම ණය වුණු ණයකාරයෙක්!
නමුත් ඔහු ඒවා මා ගෙවා දැමිය යුතු බව හිතුවේ නෑ.චමල් වගේ මගේ හැම සතයක්ම සූරාකන්න සැරසුණේ නැහැ.ඒ වෙද්දී මම හොඳ උපයන්නියක්.මට ඕනෑතරම් මුදල් වියදම් කිරීමේ හැකියාව තිබුණා.කෝටිපතිනියක නොවුණාට මට මගේ රැකියාවෙන් සැලකියයුතු වැටුපක් ලැබුණා.එනිසාම මට සුධාරක සතයක් අතේ නැතිව ගෙවන ජීවිතය රැගෙන ආවේ වේදනාවක්.මම ඔහුව බැංකුවකට රැගෙන ගොස් රුපියල් විසිපන්දාහක මුදලකින් ගිණුමක් ඇරඹුවේ ඒ නිසා.ඔහුට බැංකු පොත සහ ATM කාඩ්පත ලබා දෙනවිට මට කියන්නට දෙයක් තිබුණා.
“ඔයාට මතකද ඔයා ඉස්සර පුංචි කෙල්ලෙකුට රුපියල් පන්සීය ගාණේ මාසෙකට එව්වා.ගෙදර මිනිස්සු කුණු කූඩෙට දාන බව දැන දැන එයාට තෑගි එව්වා.මොකක්වත්ම නැති ඉස්කෝලෙ යන පුංචි කෙල්ලෙකුට ඔයා ආදරේ කරේ එහෙමයි.ඔයාට පෙරලා ලැබෙන්නේ ඒ දේවල්.ඔයා මේ ආදරේ ලැබිය යුත්තෙක්”
ගැහැනියකගේ ජීවිතය වර්ණවත් වන්නට ඇයට පොහොසත් සැමියෙකු ලැබිය යුතු නැහැ.නමුත් අත නෑර ජීවන ගමන යන්නට ඇයට හොඳ ආදරයක් අවශ්‍යයි. අපි බොහොම සංවේදී කොට්ඨාසයක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.ගැහැනියකට ආදරයෙන් ලබා දෙන දේවල් ඈ ජීවිතය පුරා මතක තබා ගන්නවා.
“මේ මහ මෝඩ ගෑනියෙක්.මිනිස්සු දෙන්නෙක්ටම සල්ලි පූජා කරලා දැන් මේ මිනිහටත් වියදම් කරනවා.”
ඔබට එසේ සිතෙන්නට ඉඩ තිබෙනවා.ඔබ එසේ කියන්නටත් ඉඩ තිබෙනවා.නමුත් මම සුධාරකට රැවටුණේ නැහැ.ආදර මල් පියලි මගේ ජීවන මග පුරා ඉහිරවමින් මට ප්‍රේමයේ ඇති මිහිරියාව ඉගැන්වූයේ ඔහුයි. කුඩා පාසල් ශිෂ්‍යාවක රාගයට පොළඹවා නොගෙන ආදරය පමණක් ඇයට දුන් ඒ ආදරණීය මිනිසා වෙනුවෙන් මට කළ නොහැක්කක් තිබුණේ නැහැ.
සියල්ල මෙලෙස සිදු වෙද්දී මට මගේ පුංචි දුව සුධාරකට සමීප කරන්නට උවමනා වුණා.ඇය ළදැරියක්.සුධාරක කියන්නේ අප්පච්චි යැයි මම හඳුන්වා දුන්නත් දූට ඔහු ආගන්තුකයෙක්.මම රැකියාව නිමවී නිවසට යද්දී දූ වඩා ප්‍රිය කරන සෙල්ලම් බඩුවක්,රස කැවිල්ලක් රැගෙන යන්නට පුරුදු වුණා.
“අද ඔයාගේ අප්පච්චි මුණ ගැහුණානෙ.අප්පච්චි තමයි සුදූට මේවා එව්වේ..”
තෑගි එවන අප්පච්චි මුණ ගැසෙද්දී දුව ටිකෙන් ටික ඔහුට හුරුවන්නට පටන් ගත්තා.සුධාරකත් දියණියත් මුණ ගැහෙන සති අන්තයේද මම ඇගේ ප්‍රියතම දේවල් දූට හොරෙන් මිලට ගෙන සුධාරක අත තැබුවා.
“අප්පච්චි සහ සුදු දූ”
ඒ අපූර්ව බැඳීම ඇරඹුණේ එහෙමයි.මගේ දූ තාත්තාගේ ආදරය හරිහැටි නොවිඳි දැරියක්.ඇගේ උපන්දිනයට පවා බෝතල් වටකරගෙන මිතුරන් සමඟ සාද පවත්වන තාත්තා කෙනෙකු ඇයට සිටියේ.එනිසාම පිය සෙනෙහස මගේ දූ හරියටම විඳ ගත්තේ මගේ සුධාරකගෙන් බව මට විශ්වාසයි.බැඳීම් ලෙය මතම ඇති වන්නේ නෑ.ළය මත ඇතිවෙන සිතුවිලිවලින් ද බැඳීම් ශක්තිමත් වෙනවා.මගේ ආදර කතාව මැදට විත් අප්පච්චි අයිති කරගත් මගේ දුව සහ සුධාරක ගැන ඉතා සංවේදී කතාවන් මට ඉදිරියේදි ඔබට කියන්නට තිබෙනවා.සංසාරගත බැඳීමක අපූර්වත්වය මම වින්දේ ඒ පියා සහ දියණියගෙන්.ඔහු ජාතක කළ දරු තිදෙනාටත් වඩා ඔහුට අප්‍රමාණව බැඳුණේ මගේ දියණිය.
සසර බැමි ලේ බැම්මටත් වඩා හරිම හයියයි!!