සුධාරකගේ නිවසේ උදවිය මම නිසා ඔහුට නැවතත් සමීප වෙන්න පටන් ගත්තා.මම මගේ මුදලින් ඔවුන්ට සාද පැවැත්වූවා.අවශ්‍ය අවස්ථාවලදී උදව් කළා.ඒ හැම දෙයක්ම කළේ පවුල කියන සංකල්පය බොහොම සුන්දර එකක් බවට මම විශ්වාස කළ නිසා.
“සුධාරකගේ ගෙදර අය මට පේන විදියට මහ කපටියි.”
මා කියවන ඔබෙන් කෙනෙක් එහෙම අදහසක් පළ කරලා තියන අන්දම මම දැක්කා.ඔබ නිවැරදිද කියලා මං ඉදිරි දවසක කියන්නම්.මොන දේ කොහොම වුණත් මනුෂ්‍යයන්ව විශ්වාස කිරීම අපි කරන්න ඕනෑ ගාණට මිම්මට බව මගේ කතාවෙන් ඔබට ඉගෙන ගන්න පුලුවන්.
දිල්හානි සම්බන්ධයෙන් මට තියෙන්නේ බොහොම මිශ්‍ර හැඟීමක්.ඇය සුධාරකගේ ගෙදර අය එක්ක අමනාප වෙන්න හේතු තියෙන්නට ඇති.ඒත් ඔවුන් මට පැවසූ ඇගේ වැරදි ගැන ඔබට කියන්නට මගේ අදහසක් නෑ.මම නොදන්නා නොදුටු කාරණා ගැන ඔබට කියන්නට මට බැහැ.
සුධාරක ඔහුට කන්න නැතත් කාගෙන්වත් සතයක් හෝ ඉල්ලන්නට අකමැති අභිමානවත් මිනිසෙක්.එසේ ජීවත් වූ ඔහුගේ ආත්මාභිමානය සහමුලින්ම පහතට හෙළන්නට දිල්හානිට හැකි වුණා.ඒ සෑම තැනටම ණය කාරියක් වෙමින්.සුධාරකගේ පහළ නිලවල නිලධාරීන්,අසල්වාසීන්,ගමේ පන්සලේ හාමුදුරුවෝ,හන්දියේ කඩේ මුදලාලි වගේ විශාල පිරිසක් දිල්හානිට ණයට මුදල් දී තිබෙනවා.ඇය ඒ මුදල්වලට මොනවා කරාද කියන එකත් ඇත්තටම හිතා ගන්න අමාරුයි.
ඒකට හේතුවක් තියෙනවා.
ඇය සමාජයේ පිළිගත් රැකියාවක් කළ ගැහැනියක්.සුධාරකත් එහෙමයි.ඉතින් එනිසා ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලැබුණා.ඇගේ මව්පියන් පවා විශ්‍රාම වැටුප් ලැබෙන උසස් රැකියා කළ උදවියයි.ඒත් ඇය සෑම තැනකටම ණය වෙන්නට හේතුව ඇගේ අධි පරිභෝජන ජීවන රටාව බවයි මම නම් හිතන්නේ.
සෑම දෙයක්ම තිබියදී පවා ආර්ථික අහේනියක් එන්නට හේතු වූයේ එය බවයි මගේ නම් හැඟීම.
හැබැයි එහෙම වෙන්න දිල්හානි විතරක් වැරදි නෑ.සුධාරකත් වැරදි කාරයෙක්!!
ඔහු තමන්ගේ රස්සාවට සීයට දෙසීයක්ම නෙවෙයි සීයට දාහක්ම කැපවූ කෙනෙක්.එනිසා ඔහු පවුල් ජීවිතයේ සම්පූර්ණයෙන්ම බර දිල්හානිට පැවරූ කෙනෙක්.දිල්හානිට හැම වගකීමක්ම පැවරූ නිසා ඇය මුදල් පරිපාලනය ඇයට ඕනෑ හැටියට අරන් යන්න ඇති.ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වාලු! ඇය නිස්කාරණේ මුදල් නාස්ති කරන්න ඇති.පවුල් ජීවිතය එක්ව යා යුතු ගමනක්.එක් අයෙකුට තනිවම සියල්ල කරන්නට පැවරීම අනෙකා කරන වරදක් කියලයි මම නම් හිතන්නේ.ඒ නිසා මේ සිදුවූ සියල්ලටම දිල්හානි පමණක් වැරදි කාරයෙක් නෙමෙයි.සුධාරක රැකියාවටම කැපවී ඇයට සියල්ලම පැවරීමෙන් ඔහුත් වරදක් කර තිබෙනවා.
ජීවිතයේ සියලුම දේවල් අපට තනිවම කරන්න හැකියාවක් නෑ.අපි පවුල් ජීවිතයකට එළැඹෙන්නේ ම තව කෙනෙකුගේ සහය ඇතිව එක්ව ගමනක් යාමටයි.ඔබ ජීවිතය සියලුම වගකීම් කරට ගන්නා ගැහැනියක් නම් සැමියාගෙන් උදව් ඉල්ලන්නටත් ඔහුගේ කාර්යයන් ඔහුට මතක් කරන්නටත් සිහියේ තබාගන්න.පවුලක සිදු කළ යුතු සමහර කාරණා අපට තනි මතයකට තනිවම කරන්නට හැකියාවක් නෑ.අන්න එහෙම මොහොතක දී තනිව වැරදිකාරියක වනවාට වඩා මුල සිටම පවුල කියන්නේ සාමූහික හැඟීමක් බව සැමියාට සිහි කිරීම වැදගත්.මගේ කතාව ඔබට කියන්නේ වැරදීම් නිසා ජීවිතේ සමහර තැන් මඟ හැරුණු ගැහැනුන් ඇසුරෙන් ඔබේ ජීවිතය නඟා සිටුවා ගන්නටයි.එසේ නැතිව මගේ ජීවිතයෙන් ආදර්ශයන් ගන්නට නෙවෙයි.
මම,දිල්හානි වගේම සුධාරකගේ අම්මා සහ මගේ අම්මාට වුණත් වැරදී ගිය තැන් ඔබට මේ කතාවෙන් පෙනෙනවා ඇති.ඔබේ ජීවිතය තුළ ඔබ ඒ වැරදීම් නොකර හිඳිනවා නම් මගේ කතාව ඔබට කීම ගැන මට විශාල සතුටක් දැනෙනවා.ජීවිතය ඉදිරියට ගලා යමින් තිබුණා.තවත් බොහෝ දේවල් සිදු වන්නට ගත්තේ අපි සිතූ අන්දමට නෙවෙයි.ඇත්තටම ඒ කතා සියල්ලමත් ඔබට කිව යුතුමයි.
දිගටම මාව අහගෙන ඉන්න! මම ඒ හැමදේම ඔබට කියන්නම්!