ගිනි දැල් ඇවිලී නිවී යන්නට දින කිහිපයක් ගෙවී ගියේ ය.චේතනට වූයේ සුළු තුවාල කිහිපයකි.දේවතිලක පවුලට හිමි පැරණිම නිවස ගිනිබත් වීම ඔවුන්ට විශාල හානියක් අත් කර දුන්නේ ද නැත. වෙනත් නිවසකට සංක්‍රමණය වන්නට ඔවුහු වග බලා ගත්හ.හිරුදි ඒ සියළුම සිදුවීම් විඳ ගත්තේ අයිස්මය හැඟීමකිනි.හිම කන්දක්ව මිදෙමින් ජීවත් වීම ගැහැනියකට පහසු නොවේ.එහෙත් ඈ ගල් වෙමින් හුන්නා ය.කුස ඔත් කුඩා ජීවිතය නොවන්නට මේ පිළිකුල් ලෝකය අතැර යන්නට තරම් ආවේගයක් ඈ වෙළා ගෙන තිබිණ.
සිතිජ සුව වෙමින් හුන්නේ ය.සටන් සගයන්ගේ ද සමීපතමයන්ගේ ද පමණක් නොව හැම කෙනෙකුගේම ප්‍රාර්ථනා මල් ඵල දරමින් ඔහු ඉතා ඉක්මනින් සුව අතට හැරිණ.
“අර හිරූයි නිපුනියි දෙන්නා උඹේ සර්ජරි එක ඉවර වෙනකම්ම ළඟ හිටියා.”
කසුන් එසේ පැවසුවේ අරගල බිමට එහායින් හිරු මුහුදේ ගිලෙමින් තිබූ හෝරාවක ය.අනතුර සිදු වී දින කිහිපයක්ම ගෙවෙමින් පැවතිණ.හිරුදිගේ මුහුණ කලකින් නොදුටු බව සිතිජට හදිසියේම සිහි විණ.ඒ හැඟීම ගැන දිගින් දිගටම නොසිතා ඉන්නට ඔහු වෙර ගත්තේ ය.ඈ කාට හෝ හිමි මලකි.ඕනෑවට වඩා සිහින දැකීම වේදනාවක ආරම්භය ය.
සිතිජට ඈ සිහි වෙද්දී හිරුදි සිටියේ අරගල බිමේ ය.ඈ නිපුනි නැතිව තනිවම එන්නට තීරණය කර තිබුණා ය.මහා ජන සන්නිපාතය අතරින් ඇවිද ආ හිරුදිට සිතිජ දකින්නට මහත් ඕනෑකමක් දැනෙන්නට විය.එහෙත් ඇය පුස්තකාලය වෙත ඇවිද ආවා ය. කූඩාරමක් එතරමට පොත්වලින් පිරී යා හැකිදැයි සිතෙන තරම් ය. කූඩාරමේ බිම හිඳගෙන පොතක් කියවන ආශාවකින් ඈ පිරී ගියා ය.ඈ “ඇට මැස්සා” අතට ගත්තා ය.ආතර් නම් අපූර්ව තරුණයා ඇයට මීට පෙර මුණ ගැස්වූයේ නිසල් ය.ඔහු ඈට ඉගැන්වූයේ රසායන විද්‍යාව පමණක් නොවේ.ජීවිතය දිග ඇවිද යා යුතු අන්දම ද කියා දෙන්නට අමතක නොකළේ ය.
“එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක්මි”
හිරුදිට ඒ වාක්‍ය ඛණ්ඩය සිහිපත් විණ.ජීවතුන් අතර නැති වුව ද නිසල් කියන්නේ ජීවයෙන් පිරී ගිය ආත්මයකි.ජීවිතය අතැර දමන්නට හිතෙන මොහොතක පවා ඔහුගේ දෑසේ කැල්ම සිහි කරගනිමින් ජීවත් වන්නට ඈට ධෛර්යය තිබේ.චේතන වැනි ඇවිදින මළ කඳන් වලට වඩා නික්ම ගිය නිසල්ගේ ආත්මය බලවත් වග හිරුදි සිතන්නට වූවා ය.
සිතිජ පිපී ආවේ ඒ මොහොතේ ය.බැස යන හිරු රැස් මැදින් ඔහු පුස්තකාල කූඩාරමට ඇවිද එමින් සිටියේ ය.ඔහුගේ දෑස ඇගේ දෑසේ ගැටුණේ කල් තියා සැලසුම් කළ පරිද්දෙනි.සිනාවකට මේ තරමකට සතුටක් ඇති කරන්නට හැකි බව හිරුදිට සිතෙන්නට ගත්තේ ඒ මොහොතේ ය.
“ඩිස්ටර්බ් කරානම් සොරි.”
සිතිජ ඇය අසලින් අසුන් ගත්තේ එසේ කියමිනි.හිරුදි මල් ඉහිරෙන සිනාවක් ඔහුට තිළිණ කළා ය.සැබෑ ලෙසම හිනැහෙන්නට හැකි මිනිසුන් ඉඳහිටක හෝ හමුවීම වාසනාවකි.
“මේ පොතේ එක තැනක තියනවා ලෝකයට අවශ්‍ය තමන්ගෙ කාරියට එහා බලන්නෙ නැති – සෙසු කිසිම හැඟීමක් නැති මිනිස්සු කියලා”
හිරුදි එසේ කියද්දී සිතිජ පුදුමයෙන් ඈ දෙස බැලුවා ය.පොතක ඇති අපූර්වතම තැනක් ගැන බොහෝ වෙලාවක් කියවන කෙල්ලක ලැබීම සතුටකි.මුහුදු සුළඟ අතොරක් නැතිව හමා යන මොහොතක බැස යන හිරු දෙස බලමින් ඇය සමඟ පොතක් ගැන කියවන හදිසි ආසාවකින් ඔහු දැවෙන්නට පටන් ගත්තේ ය.
“ඔයාලා දිහා බැලුවම මට පේන්නේ එහෙම නෙවෙයි.ලෝකෙට අවශ්‍ය තමන් ගැන තමන්ගේ වැඩේ ගැන හිතනවට වඩා අනුන් ගැන හිතන්න ඕන මිනිස්සු.ඔයාලා වගේ.මේ පොතෙත් ඉන්නෙ එහෙම අය තමා.මොකක්ද හේතුවකට මට ඒ වාක්‍යය මතක හිටියා.ඒත් මේ මිනිස්සු දිහා බලාගෙන ඉන්නකොට මට හිතෙනවා මිනිස්සු වෙලා ඉපදිලා අපිට ලෝකෙට මොනතරම් දේවල් කරන්න පුලුවන්ද කියලා.”
සිතිජ කිසිත් නොකියා හිනැහුණේ ය.ජීවිතය ගැන ගැඹුරු ලෙස දකින තරුණියකගේ දෑසට කිමිද ආදරය අල්ලා ගන්නා ආශාවක් හදවතේ ජනිත වන වග ඔහුට දැනේ.
“අපි කවුරුත් මේ ලෝකෙට ආවේ අපි වෙනුවෙන්ම ජීවත් වෙන්න නෙවෙයි හිරූ.ඔයා වුණත් මම වුණත් අනුන් වෙනුවෙන් දේවල් කරන්න ඕන.අපි සමහර වෙලාවට ජීවත් වෙන්නෙත් අපිට ඕනවට නෙවෙයිනෙ.අපිට සමහර වෙලාවට අපේ අය වෙනුවෙන් ජීවිතේ අල්ලා ගන්න වෙනවා.”
ඈත කුඩාරමක කුඩා දරුවෙකු ගිටාරය වයමින් ගීයක් ගයන හඬ සටන් පාඨ රැව් දෙන සුළඟේ මුසුව එන අන්දම හිරුදි මොහොතක් විඳ ගත්තා ය.අනතුරුව සිතිජගේ වචනවලට යළිත් හදවතේ ප්‍රතිරාව නංවන්නට ඉඩ හැරියා ය.ඉනික්බිතිව ඇය කතා කළා ය. කියන්නට නොසිටි එහෙත් කිව යුතුම කතාවක් ඔහුට කියන්නට ඇය තීරණය කළා ය.
“ඔයා හරි.මං වුණත් මේ මොහොතේ ජීවත් වෙන්නෙ මං වෙනුවෙන් නෙවේ..”
සිතිජ ඇය දෙස බැලුවේ පුදුමයෙනි.මේ නොදන්නා තරුණිය කවුරුදැයි ඔහුට දැන ගැනීමට ඕනෑ විය.