දුරකථනය නාද වූයේ හිරුදි කුඩා පුතු නළවා අහවර වෙද්දීම ය.ඇය හඬ නොනැඟෙන්නට සයනයෙන් නැගිට්ටා ය.පුතු තද නින්දක ය.හිරුදි ජංගම දුරකථනය අතට ගෙන එළිමහනට ආවේ එහා ඉම හිඳින්නේ සිතිජ හන්දා ය.ඔහු සමඟ නිදහසේ කතා කරන්නට දේ තිබේ.රහසක් සුරැකීම ඔහුගේ මිතුදම සදහටම අහිමි කර දැමුවාදැයි සිතමින් හිරුදි ඇමතුම හා සම්බන්ධ වූවා ය.
“උණුසුම් සුබපැතුම් හිරූ..”
සිතිජගේ උණුසුම් කටහඬ ගලා ආවේ ය.මේ සුබපැතුම පුතුගේ උපතට වග හිරුදි දැන සිටියා ය.ඇය උණුසුම් හදැතිව ඒ සුබ පැතුම පිළි ගත්තා ය.
“මට සමාවෙන්න සිතිජ.”
ඒ සමාව කුමටදැයි සිතිජ දැන සිටියේ ය.ඔහු හිනැහුණේ එනිසා ය.අනතුරුව ඔහුට කියන්නට බොහෝ දේ තිබිණ.
“ඒ දවස් අපි හැමෝම ආවේගෙන් හිටිය දවස්.ඔයා ඇත්තටම ඔයා කවුද කියලා කිව්වානම් අපිට හොඳ යාළුවෝ වෙන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නෙත් නෑ හිරූ.”
ඇය ඔත්තුකාරියක හෝ සටන විනාශ කර දමන්නට පැමිණි එකියක බවට වරදවා වටහා ගන්නට ඕනෑවටත් වඩා ඉඩ තිබිණ.නමුත් දැන් ඇය කවුදැයි සිතිජ දනියි.ඇය සියල්ලන්ටම වඩා අසාධාරණයට ලක් වූ බව ඔහු සිතී ය.
“ඒ දවස්වල මම ඔයාලත් එක්ක හිතවත්කම් තියනවා කියලා චේතන දැනගත්තනම් ඒක ඊට වඩා විනාශයක් වෙන්න තිබ්බා.නිසල්ට අයිති වුණු ඉරණම ආයේ කාටවත්ම අයිති නොවෙන්න මං පරිස්සම් වුණා සිතිජ.”
හිරුදිගේ හඬ හැඟීමෙන් පිරී තිබේ.ඇය තවමත් නිසල් ගැන වේදනාවෙනි.එය සදාකාලික වේදනාවක් බව හිරුදි හොඳින්ම දැන සිටියා ය.ඔහු මිය ගියේ ඇයට ආදරය කිරීමේ වරදට ය.ඒ වේදනාව ජීවිතය පුරා තමා ලුහුබඳින වග හිරුදි දැන සිටියා ය.
“චේතනට ඒ මිනීමැරුමෙන් ගැලවෙන්න බෑ හිරූ.ඒ විතරක් නෙවෙයි අර නිළිය,සරසි මරලා දැම්මෙත් චේතන කියලා ඔප්පු කරගන්න අමාරු නෑ.”
සරසි ඇගේ ගර්භනීභාවය ගැන හිරුදි දැනුවත් කිරීම හිරුදිට රට අතැර දමා යන්නට හේතුව බව චේතන විශ්වාස කළේ ය.සියදිවි නසා ගැනීමක් බව පෙනෙන්නට ඉඩ දුන් මරණය මිනීමැරුමකි.එයට කුලී මිනීමරුවන් යෙදවූ මිනිසා කවුරුන්දැයි හිරුදිට නම් රහසක් නොවේ.
“මැස්සො මදුරුවො ගාණට මිනිස්සු මරන්න හිත හදාගන්න එක ගැන චේතනට ඉතුරු ජීවිත කාලෙම හිරේට වෙලා පසුතැවෙන්න ලැබුණොත් ඇති සිතිජ.ඒ මගේ පුතාගෙ තාත්තා තමයි.ඒත් පුතා ජීවිත කාලෙටම තාත්තෙක් නැතුව හැදෙන එක ගැන මට වේදනාවක් නෑ.එයා හැදෙන්නේ දියුණු රටක.දියුණු රටක හැදෙන මගෙ පුතාට තාත්තා කෙනෙක් ඉන්නම ඕනෑ කියලා මම හිතන්නේ නෑ.”
ළාබාල වයසකදී දරුවෙකු සමඟ තනි වන්නට සිදු වීම හිරුදිට දරා ගත හැකිදැයි අසන්නට සිතිජට සිත් විණ.නමුත් ඒ ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ.ඇය ඒ තීරණය වෙනුවෙන් හදවත සවිමත් කරගෙන හමාර ය.
“චේතනලා වගේ මිනිස්සු රටේ ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි සිතිජ.අලුත් රටක් හදන වගකීම තියෙන්නෙ ඔයාලට.මං දේශපාලනේ ගැන මොකුත් දන්නේ නෑ.දේවතිලක පවුලේ ජීවත් වුණු කාලේ වුණත් මට දේශපාලනේ අප්පිරියා වෙලා තිබුණා මිසක් වෙන දෙයක් තිබුණේ නෑ සිතිජ.ඒක රටේ හැමෝටම පොදු හැඟීමක්.අපි දේශපාලනෙයි දේශපාලකයොයි අප්පිරියා කරගෙන හිටිය නිසා තමයි ඒ මිනිස්සු මේ තරමට රට විනාස කරේ කියලා මට හිතෙනවා.”
එය සාධාරණ සිතුවිල්ලක් වග සිතිජට සිතිණ.රට අලුත් වෙමින් තියේ.පැරණි කසල දේශපාලනය ඒ අලුත් වන රටට උවමනා නොවේ.
“ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති රිටයර් වෙලා ඉන්නගමන් ෆේස්බුක් අප්ලෝඩ් කරන ෆොටෝස් දැක්කද? එයා ගෙදර අය එක්ක ගෙදර ඉන්න පෙට්ස්ලා එක්ක ෆොටෝස් දානවා.රටේ මිනිස්සු අමාරුම කාලෙක රට පාලනය කිරීම ගැන එයාට ස්තූතියි කියනවා.ඒත් ඒ මිනිස්සු ඒ මනුස්සයා නැතුව ඉර පායන් නෑ කුරුල්ලෝ කෑගහන් නෑ,වැස්ස නෑ කියන්නේ නෑනෙ.”
හිරුදි කියන්නේ හිනැහෙමිනි.නමුත් එය අඬන්නට වටිනා කතාවකි. විශ්‍රාම දිවියට පත් ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති තවමත් පනස් හතර වියේ පසු වන්නෙකි.එහෙත් ඔහු විශ්‍රාම යා යුතු කාලය දැන සිටියේ ය.
“ඒ වගේ මිනිස්සු අපේ රටෙත් ඉන්නවා සිතිජ.ඒ ඔයාලා.බල කෑදරෙන් රටක් පාලනය කරන්න බෑ.ඒත් රටට ආදරෙන් ඒක කරන්න පුලුවන්.මං ඔයා කතා කරනකම්ම බලන් හිටියේ ඔයාගෙන් දෙයක් ඉල්ලන්නත් එක්කමයි.”
ඒ කුමක්දැයි දැන ගන්නට සිතිජට ඕනෑ විය.හිරුදි නැවතිල්ලේ කතා කරන්නට වූවා ය.