“අක්කා උදේම නැගිටලා සුප් එකක් හදන්නේ කාටද?”
සරසවියට යන්නට සැරසෙමින් සිටි අමායා හිස පීරිම නවතා දමා අම්මා දෙස බැලුවේ ඒ ප්‍රශ්නයට ය.මල්ලිකා කතා කරන්නේ රහස් හඬිනි.අමායා අම්මා දෙස මඳ නොරිස්සුමකින් බැලුවා ය.
“රවිඳු අයියට කිව්වා නේද? අම්මත් එතකොට කිචන් එකේ හිටියේ”
අම්මා මේ පැමිණ ඇත්තේ අක්කා ගැන ඕපාදූපයක් විමසන්නට වග අමායා දනියි.ඇය එනිසාම අම්මා දෙස නොරිස්සුමින් බැලුවා ය. අක්කාට සැමියෙකු සෙවීම ජීවිතයේ එකම අරමුණ කරගත් අම්මා ගැන අමායාට දුකක් නොදැනෙනවා ද නොවේ.නමුත් එසේ බලපෑම් කිරීම අක්කාට කරන අසාධාරණයක් වග ඇය සිතන්නී ය.
“මම අහන්නේ චූටි ඒ රවිඳු ගැන තමයි.ඔෆිස් එකේ ළමයෙක් කිව්වා නේද?”
රවිඳු කියන්නේ පාරමීගේ ඒකපාර්ශවික ප්‍රේමය වග අමායාට හදිසියේ සිහියට නැඟිණ.ඇය ඒකපාර්ශවික කොටස හලා දමා අම්මාට රවිඳු ගැන කියන්නට සිතුවා ය.
“රවිඳු අයියා කියන්නේ පාරමී අක්කාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් අම්මේ.පාරමී අක්කා ඉන්නෙ බෝඩින් එකකනෙ.එයාට වැඩිය උයන්න එහෙමත් බෑ.ඒ නිසා අක්කට කියන්න ඇති සුප් එකක් ගේන්න.”
මල්ලිකාගේ පිපී එමින් තිබූ මුහුණ හැකිලී ගියේ බලා හිඳියදී ය.ඇයට හිමාෂා උදෑසනම මුළුතැන්ගෙයට වී සුප් සැකසීම බලාපොරොත්තු ඇති කරමින් තිබිණ.අමායා සිඳ බිඳ දැමුවේ ඒ බලාපොරොත්තුව ය.මල්ලිකා අමායාගේ යහන මත නිදන කුඩා දිනාරා දෙස බලා සුසුමක් හෙළුවා ය.
“අක්කා ආයේ බඳින්න ඕන පුතේ.අර අහිංසකීට තාත්තෙක් ඕන.”
මල්ලිකාගේ කටහඬ මහා වේදනාවකි.නමුත් ඒ වේදනාවට පොහොර දමන්නට ගියහොත් අම්මා දිගින් දිගටම අක්කා පීඩාවට පත් කරන වග අමායා හොඳින්ම දනියි.එනිසා ඇය යහන මත හිඳ ගත්තේ අම්මා සමඟ යමක් කියන්නට සිතමිනි.
“අම්මේ,සහන් අයියා ජීවතුන් අතර ඉන්නවා.අක්කට හස්බන්ඩ් කෙනෙක් නැති වුණාට දරුවට තාත්තෙක් ඉන්නවා.”
මල්ලිකා ඒ කතාව එලෙසම පිළි ගන්නට අකමැති ය.සහන් දරුවා ගැන සිතුවා නම් ඔහු විසින්ම දික්කසාද නඩුවක් පවරන්නේ නැත. අනෙක් අතට දැන් ඔහු විවාහක ය.ඒ විවාහයෙන් දරුවන් ලැබෙද්දී ඔහුට මේ අහිංසක දැරිය අමතක නොවේ යැයි පිළිණ දිය හැකිදැයි මල්ලිකා අම්මා කෙනෙකුගේ හදවතින් සිතුවා ය.
“අයියයි අක්කයි ඩිවෝස් වුණා කියලා දරුවට අලුතින් තාත්තලා අඳුන්වලා දෙන්නෙ ඇයි අම්මේ අපි? ඒ බබාගේ තාත්තා.ආයේ කසාදයක් කරගෙන අයියා අත් ඇරියේ අක්කව.ඒ නැතුව දරුවව නෙවෙයි.”
අමායා එසේ කියවාගෙන ගියත් මල්ලිකා ඒ වචන පිළි ගන්නට නොසිතුවා ය.සහන් දියණිය බලන්නට එන්නේ අවාරය ට ය.ඔහුට ලැජ්ජාශීලි සිනා පා කරනවා විනා දිනාරා ඔහු සමඟ හුරතල් නොවන තරම් ය.එවැනි තාත්තා කෙනෙකු පොල් පිත්තකින් කපා ගත හැකි වග මල්ලිකා සිතුවා ය.
“අක්කගෙ වෙලාවවත් බලන්න ඕන.”
අම්මාගේ ඒ කතාවට අමායා හිනැහුණා ය.අම්මා අක්කා විවාහ වන්නට පෙර සහන්ගේ කේන්දරය ගැන පාරට්ටු කළ තරම අමායාට මතක ය.එහෙත් ඒ විවාහයට ආයුෂ නොතිබිණ.අම්මා තවම මට්ටු වී නැත.
“අම්මේ,තමන්ගේ ජීවිතේ ඉතුරු කාලේ ගෙවන්න පිරිමියෙකුගේ හෙවණැල්ල ඕනෑ නෑ කියලා අක්කා හිතනවනම් ඒ අදහසට ගරු කරන්න.එයා අම්මගෙ උවමනාවට එක පාරක් බැන්දනෙ.ඒක අසාර්ථක වෙලා එයා ඉන්නෙ සතුටින් නෙවෙයි කියලා දැන දැනම අම්මා ඇයි අක්කට ආයේම බලපෑම් කරන්නේ?”
දරුවන්ගේ තීරණ සම්බන්ධයෙන් මඟ පෙන්වීම යැයි අම්මා සිතා සිටින්නේ මානසික බලපෑම් කිරීමට වග අමායා දැන සිටියා ය.නමුත් අම්මා එය කිසි දිනක පිළි නොගන්නී ය.හිමාෂා සන්සුන් ජීවිතයක් ගෙවමින් සිටියදී පවා අම්මාට උවමනා ඇය නැවත කසාදයක පැටලවීම ය.
“කසාදෙ කියන්නේ කසායක් කියලා අක්කා හිතනවා නම් ඒ මී පැණි කියලා බොරු කියන්න යන්නෙපා අම්මෙ.අක්කටම මී පැණි වගේ ආදරයක් ලැබෙනකම් ඉන්න දෙන්න.බලෙන් කසාය පොවන්න එපා.”
අමායා යන්නට පෙර අම්මාට පැවසුවා ය.දියණිය කොහිදැයි බලන්නට කාමරයට එමින් සිටි හිමාෂාට ඒ වදන් හොඳින් ඇසිණ.ඇයට මතු වූයේ සිනාවකි.ප්‍රේමය හෝ විවාහය මී පැණි ලෙස මේ ජීවිතයේ කිසිම දවසක දකින්නට තමන් අසමත් වන වග ඇය දනියි.
“ජීවත් වෙන්න ආදරයක් ඕනමයැ.මට රස්සාවක් තියනව.මගෙ රත්තරන් දරුවා ඉන්නවා.පාරමී වගේ හොඳ යාළුවෙක් ඉන්නවා.නංගිගෙ හයිය තියනවා.බැන බැන හරි අම්මත් ඉන්නව.ඒ මදැයි”
හිමාෂා එසේ සිතුවා ය.රවිඳු දකින්නට යන්නට දැනෙන තදබල ඕනෑකමට නමක් නැති වුව ද ඇයට මේ මොහොතේ තදින්ම දැනෙමින් තිබුණේ ඔහු දකින උවමනාව ය.ඔහු කරගත් දෙය ගැන තදින් දොස් පවරන්නටත් ජීවිතයේ වටිනාකම ගැන ඔහුට දේශනයක් දෙන්නටත් ඇය ඉටා ගත්තා ය.