“අම්මා..මට තාත්තිව ඕන”
කුඩා දියණිය මහා රාත්‍රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා ය.
“අම්මි හෙට උදේ තාත්තිට කෝල් කරන්නම් පැටියෝ.දැන් දොයියන්නකො”
දියණියගේ දෑස් තුළ කඳුළු පිරී තියේ.නොලැබුණු සෙනෙහසක් සොයන්නට ඇයට හිටිහැටියේ සිතුණේ ඇයිදැයි හිමාෂාට පුදුම ය.නමුත් දියණියක පිය සෙනෙහස සෙවීමේ පුදුමයක් නැතැයි ඇය ඉනික්බිති සිතුවා ය.තාත්තා කියන්නේ දියණියකගේ වීරයාට ය.මහ කන්දක් වූ තාත්තා පාමුල කුඩා පැළයක් වී වර්ධනය වීම තරම් සතුටක් දියණියකට නොවේ.දිනාරාට මේ අහිමිව යන්නේ ඒ අයිතිය බව හිමාෂා නොදන්නවා නොවේ.
“ඔයාලට තාත්තා නැති වුණේ තේරෙන වයසින්.මමත් එතකොට නාකි ගෑනියෙක්.ඔයාලට අලුත් තාත්තෙක් නොලැබුණේ ඒකයි.ඒ නිසාම තමයි ඔයාලගෙ ජීවිතේ මහ හිඩැසක් තියෙන්නේ.චූටි මැණික තාම නොදරුවා.ඔයා ආයේ බැන්දොත් එයාට තාත්තා කියන හිඩැස පිරෙනවා”
අම්මා එහෙම අදහස් දෙන අන්දම හිමාෂා සිහි කළා ය.නමුත් ඇයට එවැනි ආදේශක ගැන දැනෙන්නේ අතිශය බියකි.තමන්ගේ ලෙයින් උපදින දියණිය පවා දූෂණය කරන පියවරුන් හිඳින රටක ඇයට තමන්ගේ දියණියට සුළු පියෙකු සොයා දීම කරන්නටම නොසිතෙන කාර්යයකි.
දියණිය හඬන බව කියා සහන් අමතන්නට හිමාෂාට සිත් විණ.වෙලාව රෑ එකොළහට ආසන්න ය.ඔහු වෙනත් නිවසක ජීවත් වන වෙනත් ගැහැනියකගේ ස්වාමි පුරුෂයෙකු බව ඇයට සිහි වූයේ ඒ මොහොතේ ය.ඔහුට මේ මොහොතේ අමතන්නට යාම ඔහුගේ ගර්භනී බිරිඳ කලබලයට සහ කෝපයට පත් කරන්නක් විය හැකි ය.එය කරන්නට ඇයට සිත් නොදුන්නා ය.
“සහන්ට විස්තරේ කියලා මැසේජ් එකක් දැම්මොත්”
එසේ සිතමින් වට්ස් ඇප් ගිණුම විවෘත කළ හිමාෂා එය ද අමතක කර දැම්මා ය.දැන් මෙවැනි මොහොතක කෙටි පණිවිඩයක් යවන තරම් දුරකින් සහන් නොසිටී.ඔහු වෙනත් නිවසකට අයත් මිනිසෙකි.
“දූගේ තාත්තා වුණු පලියට හිතෙන හිතෙන වෙලාවට සහන්ට කතා කරන්න නරකයි.අපි වෙන් වුණේ ගැළපීමක් නැති නිසානෙ.එහෙව් එකේ මොකටද මේ අවේලාවේ කලබලේකට වුණත් එයාට කරදර කරන්නේ.”
එසේ සිතූ ඇය නින්ද එනතුරු ෆේස්බුක් තීරයේ උඩපහළ යන්නට පටන් ගත්තා ය.පාරමී ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කර තිබූ විසුළු සහගත කතාවකට යමක් එක් කර මොහොතකින් ඇයට මැසේන්ජර් පණිවිඩයක් පැමිණියේ ය.
“නිදි නැද්ද හිමා?”
තමන් දික්කසාද ගැහැනියක බව දන්නා බොහෝ අය තමන් හා කතාවට එන්නේ මෙවැනි මොහොතක බව හිමාෂා දනියි.නමුත් ඒ පණිවිඩය රවිඳුගෙනි.ඕනෑම මොහොතක ඔහු සමඟ රැඳෙන්නට මිතුරියක ලෙස පිළිණ දුන් මොහොත ඇයට සිහි විය.එනිසාම ඈ දියණිය සිහිනයෙන් බිය වී අවදි වන්නට සිදු වූ කතාව ඔහුට ලියා යැව්වා ය.
“අපිට තමයි මේ ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ කියලා අපි හිතුවට ගොඩක් වෙලාවට තව කෙනෙක්ගෙ ප්‍රශ්නයක් ඇහුවම ඒ කතාව වැරදි හිතෙනවා.”
ඔහු ලියා එවා තිබිණ.හිමාෂා සිනා මුහුණු කිහිපයක් යැව්වා ය.
“දූට තාත්තා මුණ ගස්සන්න හිමා.ඒ එයාගේ අයිතියනෙ.”
රවිඳුගේ ඊළඟ පණිවිඩය එබඳු විය.දියණියගේ අයිතිය වෙනුවෙන් තමන්ගේ ආත්මාභිමානය බිම තබන්නට වන බව නොකියා හිඳින්නට ඇය ප්‍රවේසම් වූවා ය.නමුත් හිමාෂාට එසේ සිතිණ.
“සමහරවිට දූට උදේ නැගිටිනකොට සහන්ව අමතක වෙලා තියෙයි.පොඩි දරුවෙක්නෙ.හීන අමතක වෙනවා.”
හිමාෂා පැවසුවේ සැබෑ හැඟීම ය.සමහරවිට දියණිය උදේ අවදි වී තාත්තා සහමුලින්ම අමතක කරන්නට ද ඉඩ තිබේ.
“අපිටත් පොඩි උන් වගේ ඉන්න පුලුවන් වුණානං.නින්දක් නිදියලා ඇහැරෙනකොට හිතේ තියන ලොකුම ප්‍රශ්නෙ අමතක වුණානං.”
රවිඳු කියන්නේ වේදනාවෙනි.ඔහු හද උපන් වේදනාව අමතක නොකිරීම ගැන හිමාෂාට දැනුණේ ද වේදනාවකි.ඇය ඔහුට කියන්නට හැකි හොඳම හිත සනසන කතාව සැලසුම් කළා ය.නමුත් එය පහසු නොවේ.තමන් ගැන තැකීමක් නොවූ සැමියාගෙන් මිදී ආ දිනයේ හෝ ඔහුගෙන් දික්කසාද වූ දිනයේ හෝ ඔහු වෙනත් විවාහයකට එළඹි දිනයේ නොදැනුණු හදවතේ දැවීමක් ඇයට දැනෙන්නේ ඔහු නැවත පියෙකු වූ බව ආරංචි වීමෙනි.එය තමන් වෙනුවෙන්දැයි දියණිය වෙනුවෙන්දැයි පැහැදිලි නොවුණ ද ඇය සිටින්නේ වේදනාවෙනි.
“මං ගිලෙන ගමන් රවිඳුට ගොඩ යන්න කියා දෙන්නෙ කොහොමද?”
අඳුර සමඟ හිනැහෙමින් හිමාෂා සිතුවා ය.