“මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු.”
හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ අතීත වේදනා දිග හැරීම පසෙක තබා හිමාෂාට වෙනත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
“කවද ඔෆිස් එන්න පුලුවන් වෙයිද මන්දා හිමා.කාමරේට කොටු වෙලා ඉඳලා ඉඳලා එපා වෙලා තියෙන්නේ.”
ඔහු ප්‍රාර්ථනා කළ කාරණාව ඉටු වන්නට එතරම් වෙලාවක් ගත නොවිණ.හිමාෂා ඔහුගේ හිත කියවා පැනයක් ඉදිරිපත් කළා ය.
“අපි එන්නද ඔයාව බලන්න? කමල් අයියලටත් එන්න ඕන කිව්වා.අපි හතර පස් දෙනෙක් එන්නම් වීකෙන්ඩ් එකේ.”
නොදන්නා හේතුවකට රවිඳුගේ හදවත ප්‍රීතියෙන් පිම්බෙන්නට පටන් ගත්තේ ය.එහෙත් ඒ ප්‍රීතිය ඇකිළී ගියේ හිමාෂා ඊළඟ මොහොතේ කළ සරදමට ය.
“පාරමී බලන්න නැතුව පාලුවෙ නේද ඉන්නේ?”
ඒ පැනයට කෝප ගෙන හිමාෂාට කිසිම පිළිතුරක් නොදී චැට් කිරීම නවතා දමන්නට තරම් ආවේගයක් රවිඳුට ඇති විය.නමුත් එසේ කිරීම කමකට නැති වැඩකි.තමන්ගේ හදවතේ ජනිත වෙමින් පවතින සිතුවිලි කුමනාකාර වුවත් එහි කොතැනකවත් පාරමීට ඉඩක් නැතැයි පවසන්නට ඔහුට ඕනෑ විය.ඔහු ඊළඟ පණිවිඩය ලීවේ සඟවා ගත් කෝපයෙනි.
“මං එකපාරක් මට ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කළා.ඒකෙන් මාව හදන්න බැරි තරමට බිඳුණා.මට ඕනෑ නෑ ආයේ සැරයක් මං ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කරන්න.”
ඒ වචනවල මහ බරක් ඇති බව හිමාෂාට සිතිණ.ආදරයක් නූපදින කෙනෙකුට බලහත්කාරයෙන් ආදරය කරන්නට යාම විශාල මානසික හිරිහැරයක් බව ඇය හොඳින් දැන සිටියා ය.ඉතා වටිනා මංගල යෝජනාවක් බව කියමින් අම්මා සහන්ව මුරුංගා අතුවල තබද්දී ඇය සහන් හා විවාහ වූයේ ඔහු ගැන කිසිම හැඟීමක් නොමැතිව ය.හොඳ බිරිඳක වී සෑම වගකීමක් ම ඉටු කරන්නට උත්සාහ ගත්තාට යහපත් ආදරවන්තියක වන්නට තමන්ට හැකි වූවාදැයි හිමාෂා සිතුවා ය.එසේ වූවානම් සහන් දුරස් වෙද්දී ආදරයේ නාමයෙන් ඉවසන්නට පවා ඉඩ තිබිණ.නමුත් ඒ විවාහය නීතිමය බැඳීමක් මිස හදවතේ බැඳීමක් නොවී ය.
“ඔයා බ්‍රේකප් වෙච්ච එක ගැන වැඩියෙන්ම සතුටු වෙන්නෙ පාරමී.එයා හිතන් ඉන්නවා ඔයාව ලබා ගන්න පුලුවන් කියලා.ඇත්තටම පාරමී කියන්නේ නරක ළමයෙක්නං නෙවෙයි රවිඳු.”
වචන දහයක් කතා කරද්දී ඉන් නවයක්ම රවිඳු නමට වෙන් කරන මිතුරිය ගැන හිමාෂා එසේ පවසන්නට සිතුවා ය.පාරමී පෙරළා ප්‍රේමය ලැබෙන දිනක් ගැන සිහින දකිමින් රවිඳුට ආදරය කරන්නී ය.ඒ ආදරය ඇයව කොතැනක රඳවාවිදැයි හිමාෂාට දැනුණේ බියකි.
“මං දැන් ආදරේ ගැන හිතන්නේ ඉස්සර හිතුවටත් වඩා බරට හිමා. මම ආයේ කවදා ආදරේ කරයිද කියන්න බෑ.හැබැයි ආයේ ආදරේ කරන්නේ ජීවිත කාලෙම මං ළඟ තියා ගන්න මම කැමති කෙනෙකුට.පාරමීට ආදරේ කරන්න හිත හදා ගත්තත් මට වෙන්නේ ටික කාලෙකින් අදහස් නොගැළපෙන හින්දා අයින් වෙන්න.මම වින්ද වේදනාව වෙන කෙනෙකුට දෙන්න මම හරිම අකමැති හිමා.”
බැඳීම් නමැති මාතෘකාව මිනිසුන්ට මොනතරම් පීඩනයක් ඇති කරන්නට සමත්දැයි පාරමී යළි යළිත් සිතුවේ රවිඳුගේ ඒ දිගු පණිවිඩය නැවත නැවත කියවන අතර ය.ඇය රවිඳුට සුබ රාත්‍රියක් පතන්නට සිතුවා ය.
“දූව තාත්තා බලන්න එක්ක යන්න.මහ මිනිස්සු වෙලා අපේ හිත් මෙච්චර රිදෙනවනම් මල් පෙති වගේ පොඩි හිත් කොච්චර රිදෙනව ඇතිද හිමා.”
රවිඳු සුබ රාත්‍රියක් පතා එසේ පවසා තිබිණ.ඒ වචනවල ඇති බර ගැන හිමාෂා සිතන්නට වූවා ය.දියණියගේ පෙර පාසල් මිතුරන්ට ද මිතුරියන්ට ද තාත්තා කෙනෙකු වේ.තාත්තා ගැන ඔවුන් පවසන සුරතල් කතා දියණියට තාත්තා කෙනෙකුව තදබල ලෙස උවමනා වන්නට හේතුවක් වන බව ඇය දැන සිටියා ය.
“නංගි හරි මල්ලි හරි එනකම් තාත්ති ඔයාගේ විතරනෙ පැටියො.අපි හෙට තාත්තිට කතා කරමු.”
ඇය එසේ මිමිණුවේ නිදා සිටින සිඟිත්තියට ය.දරා ගත නොහැකි වේදනාවක් හෘද අභ්‍යන්තරයෙන් පැන නඟින අන්දම ඇයට දැනිණ.