සීත මාරුතේ -08

මුණිවර අභිෂේක් බණ්ඩාර ට හිමි මිස්ට්ෆීල්ඩ් ෆාම් බංගලා පරිශ්‍රය එවක් පටන් මගේ සිහින රාජධානිය විය. සැබවින් එය වූ කලී සිහිනයක් තුළ ජීවත් වෙන්නට කැමති මා වාගේ මුරණ්ඩු ගෑනු ළමයෙකුට නිදහසේ සිය සිහින දකින්නට හැකි දිව්‍යමය අවකාශයකි. මා නො දැනුවත්ව වුව ඉරණම කොළඹ සිට මා කඳුකරය වෙත ගෙන ආවේ මෙහි කැටිව විත් අත් හරින්නට වග, මීදුම් වලාවක් අතරින් පෙරී ආ හිරු කිරණයක් මට මුමුණා කීවේ ය. නිල්ල නිලන සුවදායී හරිත පලසත්, මීදුම් දුමාරයත්, කෝටි ගණනින් පිපී තිබි නෙක පැහැති හා නෙක සුවඳැති මල් ගොමුත්, මීමැසි- සමනල- කුරුලු ඈ සිත චමත්කාරයෙන් පුරවනා සත්ව සමූහයනුත්, නිරන්තර සිලි සිලිය නංවනා තුරු ලියත්, ජීවිතය යනු ගලා යාමක් බව යළි යළිත් පසක් කරනා දිය දහරත් මගේ ලෝකය පුරවා දමමින් තිබිණ. ඉරණම අප්පච්චි ව ගුරුතලාවට මාරු කොට එවන්නට ඇත්තේ මා වෙනුවෙනි. මේ වෙලාවේ විශ්වය සිටින්නේ මගේ පැත්තේ ය. සොබා දහම මා සිය තුරුලෙහි හොවා ගෙන සිටින්නේ ය. මේ සංසාරයේ මා හොය හොයා ආ ගමනාන්තයක් විය යුතු ය.

 මම එක දවසක් තුළ ඒ සියලු වැඩ කටයුතු දැන ඉගෙන සිටියෙමි. සාමාන්‍ය මිනිස් දුවකට ඒ තරම් පහසුවෙන් ඒ වගේ වැඩ කන්දරාවක් එක් වන ග්‍රහණය කර ගත නො හැකි ය. ඒ නිසාමදෝ සුපර්වයිසර් දිසානායක මහතා සමහර විට මදෙස බැලුවේ විශ්මයෙනි. මිස්ට්ෆීල්ඩ් මීදුම් යායට ඇතුළු වූ පසු මා කිසියම් ආවේශයකට නතු වෙනා වගක් මට දැනිණ. ඒ ගහ කොළ මල්, ඒ මිහිදුම, සුවඳ, සීතල හා ඈතින් පෙනෙනා නිල් කඳු යාය ද ඈත දුර මතකයක මගේ වී තිබි බවක් මට හැඟුණේ ය. ඒ මතක වල කෙළවර කොයි ඉමක දැයි මට නිශ්චිත වූයේ නැත. නමුත් ඒ සියල්ලට වන මගේ ආදරය ඉපැරණි එකක් බව මම දැන සිටියෙමි.

මුණිවර වනාහි මිස්ට්ෆීල්ඩ් වලින් පරිබාහිර වූවක් නොවේ. ඔහු ද එහි කොටසක් වූයේ ය. ඔහු ගැන මගේ වන උන්මාදනීය හැඟීම එහි ගිය පසු දිනයක් ගානේ ලියලා වැඩුණා පමණකි. ඔහු ගේ බැල්මක් සේ ම නො සලකා හැරීමක් ද මා උමතු කරවන්නට සමත් විය. ඒ උමතුව මගේ ඇස් බැල්මේ චිත්‍රයක් සේ ඇඳී තිබුණා දැයි නො දනිමි. එසේ තිබුණත් මට බියක් දැනුණේ නැත. මන්ද යත් මුණිවර කෙලින් මගේ මූණ දෙස බලන්නේ නැත. අත්‍යවශ්‍ය දේකට මිස වැඩිපුර මා හා කතා කරන්නේ ද නැත. කතා කළත් හිතා මතා ම මුහුණ මග හරිමිනි. එනිසාවෙන් ඔහු මගේ ඇස් වල වන කිසිත් කියවා ගන්නට විදිහක් නැත. කියවා ගත්තත් මට කමක් ද නැත!

මුණිවර සිය සේවක පිරිස් සමග වැඩි කතා බහකට යන්නේ නැති බව මම නිරීක්ෂණය කළෙමි. සියල්ල සිදු වන්නේ සුපර්වයිසර් වරයා හරහා ය. ඔහු වැඩිපුරම කතා කරන්නේ මිස්ට දිසානායක සමග ය. සියලු අංශ වල සේවකයන් ට කළ යුතු දැනුම් දීම් කරන්නේ දිසානායක මහතා ය. මුණිවර ඔහු ට කියනවා පමණි. එසේ ම සමස්ථ ගොවිපළ පරිශ්‍රය තුළ කටයුතු ඔහු කලමණාකරණය කරන්නේ සුපර්වයිසර්වරයා හරහා ය.

සුපර්වයිසර් ට වෙනම කුටියක් තිබේ. ඒ මුණිවර ට යාබද එක ය. වීදුරු බිත්ති වලින් වෙන් කොට තිබෙනා ඒ කුටි දෙකෙහි සිටිනවුන්ට උනුන් මැනවින් පෙනේ. දිසානායක මහතා මාව ද සිය කුටියේ  මේසයක් හා පුටුවක් ලබා දී තබා ගත්තෙන් මට හිතේ හැටියට මුණිවර දෙස බලා සිටිත හැකි අවස්ථා ලැබිණ. නමුත් අවාසනාව නම් අපට ඒ කුටිය තුළ රැඳිය හැකි වූයේ දවසේ කෙටි කාලයකට වීම ය. අනිත් සියලු කාලය අප ගත කළේ කාර්යාලයෙන් පිටත පරිශ්‍රයෙහි ය.

අප එහි සිටිනු දුටුවොත් මුණිවර හිස වනා සුපර්වයිසර් ට කතා කරයි. හෙතෙම එතකොට ගාල කඩාගෙන නැගිට දුවයි. ඔවුන් කතා කරන අතරේ මට මුණිවර දෙස බලා ගෙන අනිමිස ලෝචනයේ යෙදීමට හැකි වේ. ඒ නිසා දවසකට වරක් හෝ මම ඒ මහඟු අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටියෙමි.

ටික දිනක් යන විට සුපර්වයිසර් වරයා මාව ද ඒ සාකච්ඡා සඳහා කැටිව ගියේ ය. ඒවා ද මගේ පුහුණුවේ අංග වන්නට ඇත. දිසානායක මහතා ආයතනයෙන් සමු ගත් විට මුණිවර ගේ සම්පූර්ණ අයිතිය මට පැවරෙන බව සිතමින් මම තනිව ප්‍රීති ප්‍රමෝදයට පත් වුණෙමි. 

මේ කියනා දවසේත් මුණිවර ගේ මේසය ඉදිරියේ වන අසුන් දෙකෙහි මා හා දිසානායක මහතා අසුන් ගෙන සිටියෙමු. ඔවුන් කතා කළේ ඊළඟ වතාවේ හරිතාගාර වල මල් වගාවට කෘමි නාශක දැමීම ගැන ය. සැබවින් ම මට ඒ ගැන උනන්දුවක් වූයේ නැතියෙන් මගේ අවධානය වෙනතක යොමු වූයේ ඉබේම ය. වෙනතක කීවාට ඒ මුණිවර වෙතට ය. මේ පරිසරයේ සීතල නිසා වැඩි දෙනෙකු සේවයට පැමිණෙන්නේ උණුසුම් කබා ඇඟ ලා ගෙන ය. නමුත් ඔහු අඳින්නේ අත් දිග කමිසය පමණ ය. ඒ කමිසයක එක රැල්ලක්, පොඩි වූ තැනක්, කුණු තැවරුණු අංශුවක් නො වන්නේ ය. ඒ අතැඟිලි දිගටි සිහින් ඒවා ය. හැමදාමත් නියපොතු එක ම ගාණකට කපා තිබේ. ඒ නිය තුඩු සුසුදු ය. අතිශය පිරිසිඳු ය. ඇඟිලි තුඩු කුඩා දරුවෙකු ගේ සෙයින් රෝස පැහැති ය.

 රැවුල් කොට වැවී ඇති නො පිරුණ කොපුල් ද සිහින් දීප්තිමත් දෑස් ද ඔහු ගේ පෞරුෂය මත ශෝකයක හෙවනැල්ලක් හෙළන්නට සමත් ව ඇතැයි නිතර මට සිතේ. අහංකාරයකින් වසා ගෙන ඉන්නා හදවත ඇතුළේ කාටවත් නොකී සන්තාපයක් මම ඉව කරමි. මා වැඩිපුර ම කැමති ඔහු ගේ අහංකාර පිරිමි කමට ය.

“මන්දාකිණි…”

ඒ ගෝරනාඩු හඬින් මම හීන ලෝකයෙන් පියවි ලෝකයට කඩා ගෙන වැටී තිගැස්සී ගිහින් මුණිවර ගේ මූණ බැලුවෙමි. ඔහු බෙහෙවින් නො සන්සුන් බවක් පෙනුණෙන් මම මගේ ඇස් දිසානායක මහතා වෙත හැරෙව්වෙමි. ඔහු වෙත වූයේ අසරණ බැල්මකි.

“මොන ලෝකෙද ඔයා ඉන්නෙ…අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් වලින් මොනාද ඔයා අහං හිටියෙ…ආ…ට්‍රේන් වෙනව කියන්නෙ මෙහෙම පිස්සුවක් නෙවෙයි. හැම තිස්සෙම තමන්ගෙ වැඩේ ගැන කල්පනාවෙන් අවධානයෙන් ඉන්න ඕනෙ. දැං මිස්ට දිසානායක ගියාට පස්සෙ මේ රෙස්පොන්සිබිලිටීස් ගන්න ඉන්නෙ ඔයා නේද…ඒකටනෙ අපි මේ ඔයාව ට්‍රේන් කරන්නෙ. කොහොමද මෙහෙම වැඩ කරන්නෙ ආ…”

“සොරි මිස්ට මුණිවර”

මගේ ස්වරය සැබවින් ම වෙව්ලා ගියේ ය. මහත් වරදකාර හැඟීමක් මා වෙලා ගති. එය මාතින් සිදු වූයේ බරපතල වැරැද්දකි. 

“ආයෙත් එහෙම දෙයක් වෙන්නෑ”

මා එසේ කීවේ ද අවංකව ම ය. 

“අම්…අපි මොකද්ද මිස්ට දිසානායක කිය කිය හිටියෙ…ඕකේ…මන්දාකිණීට දැන් යන්න පුළුවන්”

ඒ වචන ටික පිහි තුඩු සේ මගේ පපුවේ දැවටිණි. මා අසුනෙන් නැගී සිටියේ පරඬැල් පතක් තරමට අප්‍රාණිකව ය. අවසඟ දෙපා අද්දා ගෙන ගිහින් මම මිදුලේ නිදහස් අවකාශයක වන බංකුවක හිඳ ගතිමි. සමාව දිය නො හැකි තරම් කේන්තියක් මා ගැන ම මට විය. මන්දාකිණී රන්මුතුගේ කියන්නේ කිසි දා ක ඇය ට නියම වූ රාජකාරියක් පිල්ලමකින් හෝ අතපසු වන්නට හැරි කෙල්ලක නොවේ. මේ මොහොතේ එය සිදු වූයේ අනවශ්‍ය බොළඳ කමක් නිසා ය. අනිත් අතට මා මුණිවර ගැන සිතුවේත් බොළඳ වූ සිතකින් නොවන වග දනිමි. සිත ඔහු ගැන සිතන්නේත් දියාරු හෝ තාවකාලික සිතිවිල්ලක් මත නො වන වග දැන් මට ඉඳුරා විශ්වාස ය. එය ඍජු සිතිවිල්ලකි. තිර හැඟීමකි. දැඩි ප්‍රතිපත්තියකි.  

“මොකද වුණේ මිස් මන්දාකිණි..”

දිසානායක මහතා පසුව විමසී ය. මා කළේ මෝඩ පන්නයේ සිනහවක් නගා ගන්නා එක ය.

“ඔයා කොච්චර හොඳට වැඩ ටික අල්ල ගත්තද වැඩ කරනවද කියල මන් දන්නවනෙ. ඒක නිසා ඕක වැඩිය ගණං ගන්නෙපා”

“අනේ ඒක මහ පුදුම වෙලාවක් මිස්ට දිසානායක. මං මොන කල්පනාවකට වැටුණද මන්ද”

ඔහු ට එසේ කීවාට මා සිටි කල්පනාව ගැන මම හොඳටම දනිමි. 

“එහෙම තමයි ඉතිං. අපි මිනිස්සුනෙ. අපිට එක එක විදිහෙ ප්‍රශ්න තියෙනව. අපි ඒවත් එක්කනෙ ජීවත් වෙන්නෙ. සමහර වෙලාවල් තියෙනව අපිත් නොදැන අපි ඒ ප්‍රශ්න ඇතුළෙ ජීවත් වෙන”

ඔහු පියෙකු ගේ කරුණාවෙන් මා සිත පිරිමැද්දේ ය. ඒ වුණත් මුණිවරට එහෙම කෑ නො ගසා ඉන්නට තිබුණා යි මට සිතිණි.

“සර් හරි ඩියුටි කොන්ෂස් මනුස්සය. වැඩ වෙලාවට බෙල්ල කඩාගෙන හරි වැඩම තමයි. අවධානය වෙන පැත්තකට හරවන එක තරං සර්ට කේන්ති යන දෙයක් තව නැති තරං. මිස් මන්දාකිණී ඔය හැම දේමත් මතක තියාගන්න මෙතන වැඩ බාර ගද්දි. මොකද අතර මගකදි බෑ කියල දාල දුවන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ මේ වගකීම”

ඔහු ව මුළුමනින් මම පිළිගමි. නමුත් මුණිවර ගේ දෝෂාරෝපනය තදින් මගේ සිත කම්පනය කොට තිබිණ. බොහෝ විට මීට පෙර මා අප්පච්චි ගෙන් හෝ එවන් බැණ වැදීමකට ලක් ව නැතිවා වන්නට පුළුවන.  

හැන්දෑවේ මිස්ට්ෆීල්ඩ් වෙතින් පිටව යන තුරුත් ඒ මූසල තෝන්තු ගතිය පහ කර දමන්නට මට හැකි වූයේ නැත. මා ස්කූටිය පැද ගෙන ගියේ ඉතාමත් හෙමිහිට ය. හිත ඇතුළේ දුක්බර වැහි වලාවක් පා වෙමින් තිබිණි. හොඳටම අඬන්නට මට ඕන වී තිබුණායි කීවොත් මුසාවක් නොවේ. ඔහිය පාරේ දර්ශනීය ස්ථානයක මග අයිනට කොට මම ස්කූටිය නතර කර ගතිමි. 

ඒ පුදුම තරම් ලස්සන දර්ශනයකි. පහළින් දිස් වූයේ හෙළ ය. කන්ද වටා පාර දිව යන නිසා ඈතින් ඒ පාර ම දිස් වන්නේ වෙන කන්දකට යන මාර්ගයක් ලෙසිනි. ඈතින් තවත් කඳු යායකි. මිහිදුමත් සීතලත් සිය උරුමය රාත්‍රිය යයි සිතමින් පොළොව වෙත පහත් වෙමින් තිබිණ. විවර කොට නො තිබූ ජැකට් එකේ සිප් එක සහිත දෙකොනෙන් අල්ලා මම ඒ සිරුරට තදින් සිර කොට ගතිමි. ඒ සමගම දෑත් පපුවේ බැඳ ගතිමි. 

ඈත දර්ශනය බොඳ ව යන්නට විය. සීතල දෙපේලියක් ව කඳුළු පාර දෙකක් මගේ කොපුල් හරහා ගමන් කරන්නට වූයේ ය. මම නො සෙල්වී දුර ඈත චිත්‍රයෙහි දෑස් අලවා ගෙන ම සිටියෙමි. යම් කිසි මොහොතක දී මා ද එම සිතුවමේ ම කොටසක් වන්නට ඇත. මමත් සොබා දහමත් එකක් ම විය. මගේ කඳුළත් මේ සුවදායී සීතල හැඟීමත් දෙකක් නොව එකක් ම විය.

භාවනාවක් කියන්නේ එවන් මොහොතකට ය. භාවනාවේ උච්ච ස්ථානයේ දී අපට ශරීරය අහිමි වී යයි. ඒ මොහොතේදී සිත කයින් මිදී සැහැල්ලු අවකාශයක පා වෙන්නට ගනී. මේ වෙලාවේ මමත් සිතින් දුරක සැරිසරමින් සිටියෙමි. ‘මිස්ට්ෆීල්ඩ් ෆාම් බංගලෝ සයිට්’ යනුවෙන් රිදී පැහැති ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ කළු ගලින් නිමවූ බැම්ම ළඟ නතර වී මම එදෙස ම බලා සිටියෙමි. මුණිවර කොහේ හෝ සිට මදෙස බලා සිටිනවා මට දැනුණේ ය. පෙනුණේ ය. නමුත් ඒ කොහි සිට දැයි දන්නේ නැත. මම මිස්ට්ෆීල්ඩ් මතින් පා වී යන්නට වූයෙමි. සියල්ල එක ම දර්ශන පථයක් තුළ මට දකිත හැකි විය. හරිතාගාර තුළ පිපී හිනැහුණ කෝටි ගණනක් මල් මගේ දෑත් අතරේ විය. 

“මන්දාකිණී”

මුණිවර ගේ හඬ ඇහුණේ ය. ආඩම්බරකාර පිරිමි හඬ! මා සිටින්නේ සියල්ලට ඉහළින් නිසා ඔහු කතා කරන්නේ කොතැනක සිට දැයි මම බැලුවෙමි. මට ඔහු පෙනුණේ නැත.

“මන්දාකිණී”

එවර ඒ ඇමතුම ගොරහැඩි හා සැර පරුෂ විය. මා තිගැස්සී හීනයෙන් පිබිදෙන්නට ඇත්තේ ඒ සැර කිරීම තුළ ය. මිස්ට්ෆීල්ඩ් අහසේ නොව මා සිටියේ ඔහිය පාරේ ස්කූටිය නවතා ගෙන ඊට හේත්තු වී ගෙන ය. එක්වර ම සිතට දැනුණ යමක් නිසා මා වහා පිටුපස හැරී බැලුවා විය යුතු ය. සිය ජීප් රථය නවතා ගෙන, ඉදිරි වීදුරුව පහත් කර ගෙන ඊට වැලමිට තබා හිස ද මඳක් පිටතට දා ගෙන මදෙස බලා සිටියේ මුණිවර අභිෂේක් බණ්ඩාර ය. මා වහා ස්කූටියෙන් ඈත් වන්නට ඇත.

“ම්..මිස්ට…මුණිවර…”

“මොකද්ද ඔතන කරන්නෙ..”

ඔහු සැරෙන් ඇසුවේ ය.

“ම්..මේ…නිකං…ටිකක් නතර වෙලා ඈත බලං හිටිය”

“වැඩ ඉවර වුණානං ගෑනු ළමයි කෙලින්ම ගෙවල් වලට යන්න ඕන නේද…මෙහෙම පාරවල් වල රස්තියාදු වෙවී ඉඳල හරියනවද…”

එහෙම කීවා විතර ය. වීදුරුව එසවිණ. රිය නික්ම ගියේ ය. මගේ කොපුල් වල වූ කඳුළු ගැන මට සිහි වූයේ ඒ වෙලාවේ ය. මම දෑත් තල වලින් ඇස් හා කොපුල් පිස ගතිමි. සිනහවක් මුහුණට වැඩියේ නිරායාසයෙනි. 

පසු දා උදයෙන් ම මුණිවර අභිෂේක් බණ්ඩාර මා සිය කුටියට කැඳවා සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles