විහඟ පියාපත් 22

0
4184

ශයිනි කැඳවාගත්තේ නඩත්තු අංශයේ කිහිප දෙනෙකි. සවස පහද පසුවී ඇත. තිළිණි සහ චරිත් දෙදෙනාම හෝටලය තුල නොවන බව දන්න නිසා ඇය යළි ඔවුන් සම්බන්ධ කරගන්නට උත්සාහ කලේද නැත. ඇය අලුත ඉදි කෙරූ පොරුව සකස් කිරීම සඳහා වන ආකෘතිය ඉවත් කරන මෙන් නඩත්තු අංශයේ කිහිප දෙනාට පැවසූවාය.

සාදා නිම කිරීමෙන් වැඩි කාලයක් ගත වන්නට පෙර ඉදිකිරීම මෙලෙස ඉවත් කරන්නට උත්සාහ කිරිම ගැන නඩත්තු අංශය ශයිනිගෙන් විමසූවද, ඇය ඔවුන්ට කිසිවක් පැහැදිලි කලේ නැත. 

පැය දෙකක් වෙද්දී සියල්ල පැහැදිලි වන තරමට ඉදිකිරීම ගලවා දමා තිබුණි. පෝරුවේ ඉදිකිරීමට යටින්, මුලු හෝටලයේම අපජලය ගිං ගඟට මුදා හරින ක්‍රමවේදය සැකසී තිබුණි. එතැනින් විශාල යකඩ බටයක් හරහා බෝට්ටු අංගනයට පසෙකින් බැහැර වීම සකසා තිබුණි.

ශයිනි චරිත් පැමිණෙන තුරුම එතැනට වී සිටියාය. සිදුවී ඇත්තේ කුමක්දැයි පෙර සිටම දැනගෙන උන් චරිත් පැමිණෙමින් උන්නෙ  පිළිතුරු සකසාගෙනය. තිළිණි ඒ වනවිටත් එතැනට පැමිණ උන් අතර, චරිත් මේ සියල්ලට වග කිව යුතු වග ඉවෙන් මෙන් වටහාගෙන චරිත් ට ඇමතුම් ගන්නට උත්සාහ කරමින් උන්නාය. එහෙත් චරිත් ඇයට පිළිතුරු දුන්නනේ නැත.

 තිළිණි ව කළමනාකරණය කර ගැනීම අපහසු නැත. එහෙත්; ශයිනි එලෙස නොවේය. ඇය සියල්ල සොයා ගත්තාට පසු නිදහසට හේතු පැවසීම පලක් නැත. 

වරද පිළිගැනීමද පහසු නැත. ඇතැම්විට ඇගේ කෝපය තමා රැකියාවෙන් එළවා දමන තරමට ඉහවහා යා හැකි බව ඔහු දනී. එවන් දෙයක් වෙනුවෙන් ඇය උත්සාහ කලහොත්, තිළිණි තමා වෙනුවෙන් පෙනී සිටිවියැයි  සිතමින් චරිත් හිත  අස්වසාගන්නට උත්සාහ කලේය. 

අප ජල කළමනාකරණය වෙනුවෙන් වෙන් කල කෝටි ගණනක මුදලින් වියදම් නොකල කොටස තවම තම නමටවන ස්ථාවර තැන්පතුවක් ලෙසින් පවතින්නේ ය. අවැසි වුවහොත් එය පවසා, පසුව එම කටයුතු කරන්නට සැලසුම් කලායැයි කතන්දරයක් ගොතාගන්නට වුවද්ස් හැකියැයි චරිත් සිතුවේය. 

එහෙත්, ඒ මුදල යළි ශයිනිට ලබා දීමට සිත එකඟ වන්නේ නැති බවද ඔහුට දැනුනේ ය. 

චරිත් පැමිණීමෙන් අනතුරුව ශයිනි කැබින් කාමරයට ගියේ ඔහුට සහ තිළිණි ට පැමිණෙන ලෙස හෝ නොපවසමිනි. ඕ උන්නේ කෝපයෙන් නොවේය; තම මිනිසුන්ම තම විශ්වාසය බිඳ දැමීමේ වේදනාව දරාගන්නට නොහැකිවය. 

මේ සිදුවීම පිටුපස අනිවාර්යයෙන්ම චරිත්  විසින් රඟදක්වන ලද චරිතයක් ඇති බව ශයිනි ඉන්තේරුවෙන්ම දනි. එහෙත් ඔහු ඒ බව පිළිගන්නේ නැති වගද ඇය හොඳින්ම දනී. ඔහුට අවස්ථාවන් විවිධ ස්වරූපවලින් කලමනාකාරණය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව තමා තරම් දන්නා කෙනෙක් නැතියැයිද ඇය කැබිනයට ඇවිද යන අතරේ සිතුවාය.

කිසිවක් නොපවසා ඇවිද යන ශයිනි දෙස සහ ඉතා කලබලයක් සඟවා ගන්නට උත්සාහ කරමින් සිටින තම පෙම්වතා දෙස තිළිණි බලමින් උන්නේ දැඩි පීඩනයකිනි. 

සියල්ල සිහිනෙකුදු නොසිතූ ඉමකට තල්ලුවී ගොස් ඇති බව ඇයට දැනෙයි. මේ ප්‍රශ්නය හා අදාලව පළමුව ගැටුම් තිබුණේ බාහිර සමාජය සමඟය. පසුව සිද්දිය තුලට අමයුරු දිසානායක රිංගුවේය. ඉන් පසුව ගැටුම දිග් ගැස්සෙන්නට යන්නේ  ශයිනි සහ චරිත් අතරය. චරිත් මෙයට සම්බන්ධ නම්, ශයිනි ඔහුට පහසුවෙන් ගැලවී යන ඉඩක් නොදේවී යැයි  සිතෙද්දී තිළිණි  වෙවුලා ගියාය.

තිළිණි හිඳ ගත්තේ නැත. එහෙත් චරිත් ශයිනිගෙන් විමසීමක් හෝ නොකරම ඇය ඉදිරියේ ම හිඳගත්තාය. තිළිණි දෙදෙනා දෙසම බැලුවාය. චරිත් ශයිනි දෙසම බලා සිටී. ඔහු කෙරෙන් පරාජිත බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔහු බලා සිටින්නෙර් ගොදුරකට ඉව අල්ලන කොටියෙකු ලෙසිනි. ශයිනි තවම සිටින්නේ මේසයෙන් ඉවතට පුටුව හරවාගෙන ඉවත බලාගෙනය. ඕ කෙරෙන් දිස්වන්නේ අතිශය පරාජිත පෙනුමකි. ඇය කෙටි හුස්ම වේගයෙන් හෙලණු පෙනෙයි.

“ඇයි මට එහෙම කලේ ?”

තිළිණි නොසිතූ තත්පරයක ශයිනි විමසූවෙ තිළිණි ගෙනි. තිළිණි කිසිවක් පවසා ගන්නට නොහැකිව අඩි කිහිපයක් ආපස්සට ඇවිද ගියාය. ශයිනි ඇය දෙසම බලා සිටිද්දී , තිළිණි ට දැනුනේ ඇය තමා පුළුස්සන ගිණි දෑස් වල දරන බවය. ශයිනි එතරම් තදින් උන්නාය.

“ශයි….”

“උඹලා දෙන්නාම එකතු වෙලාද මට මෙහෙම කලේ යකෝ…”

ශයිනි ඉතා උස් හඬින් කෑ ගැසුවාය. ඕ මේසය මත වූ වීදුරුව කුඩු වී යන සේ විසි කර දැම්මාය. තිළිණි වහා ඉවතට නොවන්නට තුවාල වන්නේය. මේසය මත තැබූ දෑත් මතට බරවී ඕ එබුණේ චරිත් දෙසටය. 

“මේක දෙන්නාම එකතු වෙලාද කලේ ? එහෙම නැත්නම් තමුන් විතරයිද?”

ශයිනි පහත් හඬින් , එහෙත් ඉතා දැඩිව විමසද්දී තිළිණි ඉකිගසමින් හැඬුවාය. චරිත් දෙතොල් පෙරළා, යමක් පවසන්නට උත්සාහ කරන බව පෙන්වා, එහෙත් එය නොපවසා සිටින ලෙසින් ඉතා ගැඹුරු හුස්මක් හෙලුවේය.

ඉන් ශයිනි තවත් ඇවිලුණාය. කෙතරම් කාලයක් තිස්සේ මේ රැවටීම කරනවාදැයි විමසමින් කෑ ගැසුවාය. තවත් කෙතරම් රැවටීම් කරන්නේදැයි විමසුවාය.  මෙතරම් ගැටළු ඇතිවී තිබියදී පවා, සියල්ල සඟවා සිටිමින් දිගින් දිගටම මුලාවේම හෙලන්නට හේතු විමසමින් කෝපයෙන් බැණ වැදුණාය.

තිළිණි දිගින් දිගටම ඉකි ගැසුවාය. චරිත් නිහැඬියාවම නඩත්තු කලේය.

“කතා නොකර ඉන්න එකෙ නෙවෙයි විසඳුම….”

අවසානයේ ශයිනි පුටුව මතට කඩා වැටුණාය. ඇය එලෙස කීවේ පහත් හඬිනි. චරිත් ශයිනි දෙස බලමින්ම කතාව ඇරඹුවේය.

“ඔයා කතා කරලා ඉවර වෙනකල් මම හිටියේ…”

ඔහු ඉතා ළයාදර ස්වරයක් නඩත්තු කලේය. ශයිනි සරදම් සිනහවක් මවා ගත්තේය. චරිත් එය දුටුවා වුවද , මෙවෙලෙහි තත්වය නඩත්තු කිරීමට නම් ඇය හමුවේ වඩා පහත් වී සිටීමට සිදුවේ. 

 තිළිණි සහ ශයිනි දෙදෙනාම එක් පසෙකට වේවියැයි කියා චකිතයක් චරිත්ගේ සිතෙහි නොතිබුණා නොවේය. එහෙත්, දැන් තිළිණි පසෙකටම විසි වී ගොසිනි. කල යුත්තේ ශයිනි බිලී බා ගැනීමය. ඉන් පසුව තිළිණි නඩත්තු කර ගැනීම අපහසු නැත.

චරිත් තවත් තත්පර කිහිපයක් පසුකලේය.

” මේ වෙලා තියෙන දේ ඔයාට ලේසි නැති විත්තිය මං දන්නවා .. ඒත් මෙතන තියෙන්නේ, ඔයා හිතන විදියේ දෙයක් නෙවෙයි ….”

ශයිනි තත්පරයකින් දහයෙන් පංගුවක් ගෙවෙන්නත් නොදී වහා චරිත් දෙස බැලුවාය. ඔහු විශ්වාස නොකරන බැල්ම උපරිමයෙන් පෙන්වූවාය. ඔහුට ගොතාගන්නට උත්සාහ කරන කතන්දරය බිඳ දමන සෙය්යාවම පෙන්වූයේය. 

චරිත් ඉතා පහසුවෙන් ශයිනිගේ හැසිරීම වටහා ගත්තාය. ඇය කිසිලෙසකින්වත් තමා පවසන කිසිවක් විශ්වාස කරන්නේ නැති බව ඔහුට දැනේ. එහෙත් ඒ අවිශ්වාසය තුළට විශ්වාස කල හැකි තරමේ එක් වචනයක් හෝ රිංගවා දැමීම චරිත් ගේ උත්සාහ යය. 

“මං මෙතැනට විනාශයක් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ ශයි. . මං එහෙම කරලත් නෑ.. කරන්නේත් නෑ…”

චරිත් ඉතා බැරෑරුම්ව පැවසූයේය. 

“සර්ව සාධාරණ විදියට බිස්නස් කරලා ගොඩ යන්න බෑ ශයි…  මේක කොහොමටත් එහෙම පුලුවන් ෆීල්ඩ් එකක් නෙවෙයි .. කට්ට වෙන්න වෙනවා… නූල් සූත්තර දාන්න වෙනවා…. ඒ කට්ට කෛරාටික කම උඹට නැහැ.. උඹ එහෙම කරන්නේත් නැහැ.. ඒ නිසයි, මම ඒ ගේම ගහන්න ගත්තේ… ඒ කිසිම දෙයක් අවුල් වෙන්නෙ නෑ ශයි… අර පත්තරකාරයාව මේකට පටලවගන්න ඔයා හදිසි නොවුනානම්,.. ඌ මේ ඔක්කොම පටලෝලා  දැම්ම…”

ශයිනි පුටුවෙන් නැගිට්ටේ මේසයට දෑතින්ම පහර දෙමිනි. තිළිණි අඩි කිහිපයක්  ඉදිරියට  ඇවිද ආවාය. එහෙත් ශයිනි අසලට එන්නට ඇයට සවියක් වූයේ නැත.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here