නිවාඩු අවලංගු කර නිවසට පැමිණීම කල් දැමූ නමුත් සුදාරක දවසේ වැඩි වේලාවක් ගත කළේ අපට දුරකථන ඇමතුම් ලබා දෙන්නටයි.ඇත්තටම අපි කතා නොකළ දෙයක් නැති තරම්.එදිනෙදා විස්තර වලින් අනතුරුව ඔහු අතීත සිදුවීම් සිහිකරමින් මා සමඟ දීර්ඝ කතා බහේ යෙදෙන්නට හැම නිදහස් වෙලාවකම කටයුතු කළා.
“මැණිකෙට මතකද මම ඇවිල්ලා මැණිකෙගෙ ඇඳ යට හැංගිලා හිටපු දවස”
එහෙම අහන ඔහු හඬ නගා හිනැහෙන්නට පටන් ගන්නවා.ඊට පස්සේ ඔහුට අහන්න ආයෙමත් අලුත් ප්‍රශ්නයක් තියෙනවා.
“ඉතින් මැණිකේ එදා මාව අහුවුනා නම් මොනවා වෙයිද?”
වසර ගණනාවක් පැරණි අතීතය සිහි කරමින් උස් හඬින් සිනාසෙමින් ළාබාල පෙම්වතුන් යුවලක් මෙන් ආදර වදන් තෙපලමින් අපි සුන්දර කාලයක් ගත කළා.ඔහු මට කතා කරන්නේ ඉතාම ප්‍රේමණීය විදියට.ඔහු බරපතළ රාජකාරීන් වල සිටියදී පවා මම ඇමතුමක් ලබා දුන්නොත් ඒවාට පිළිතුරු දීම සුදාරක ඔහුගේ ප්‍රථම රාජකාරිය බවට පත් කරගෙන සිටියා.අඩුමතරමේ ඒ කටයුත්ත අවසන් වී වහාම මට ඇමතුමක් දෙන බව කියන්නට වත් ඔහු මගේ ඇමතුමට පිළිතුරු ලබා දුන්නා.
ඔබට මතක ඇති අලුත් අවුරුදු නිවාඩුවට සුදාරක නිවසට පැමිණීමට සිටියේ අප්‍රේල් විසිවැනිදා වග මම ඔබට පැවසුවා. මම ඔහුට පුදුම කිරීමක් ද සූදානම් කරේ ඔහු නිවසට එන්නට කලින්.
අපි නුවරඑළියේ චාරිකාවක නිරත වෙද්දී නවාතැන් ගත් තැනෙක තිබූ වියල් ඇඳක් සුදාරකගේ දැඩි කැමැත්ත දිනා ගත්තා. ඇඳේ ප්‍රමාණය මැන ගෙන එහි පෙනුම ඇඳගෙන එවැනිම ඇඳක් සකසන්නට අපි සූදානම් වුණා.මොරටුව නගරය පුරා ඇවිදිමින් එවැනි වියල් ඇඳක් සොයද්දී අදාළ ස්ථානයේ ගෘහ භාණ්ඩ සැකසුම් කළ ලී බඩු වෙළඳ සැලම අපිට මුණගැසුණා.මම ඉන් ඒ ඇඳ මිලදී ගත්තේ සැලකිය යුතු මුදලක් වැයකරමින්.නමුත් සුදාරක වෙනුවෙන් එවැනි දේ කරන්නට මම පසුබට වුණේ නැහැ.
අපි විසූ නිවසේ Master Bedroom එක අපි පාවිච්චි කලේ නැහැ.මීට ඉහත දවසකදී දිල්හානිගේ නිවාස සැලසුම් ගැන කියද්දී මුළු නිවසම වැඩිපුර වීදුරුවලින් නිමකරන්නට ඇයට වූ ආශාව ගැන මම පැවසූ අන්දම ඔබට මතක ඇති.ප්‍රධාන නිදන කාමරයේදී බිත්ති තුනක් පමණ වීදුරු වලින් කර ඇති නිසා අපි එය පාවිච්චි කළේ නෑ.නමුත් මට ඒ කාමරය අපේ වාසයට සුදුසු ලෙස සකසන්නට ඕනෑ වුණා.එනිසාම මම බොහෝ වෙහෙස වෙමින් ඒ සඳහා කටයුතු පිළියෙල කළා.සංචරණ සීමා පවා පැවති කාලය නිසා ඒ දවස් වල අපට රිසි සේ සාප්පු සවාරි යන්නට නොහැකි වුණත් මම කළ හැකි අන්දමින් එය ඉටු කරන්නට වග බලා ගත්තා.ආශාවට පත් වූ නිසා මිලදී ගත්තාට සුධාරක අර වියල් ඇඳේ එකම දවසක් වත් නිදාගෙන තිබුණේ ද නෑ.කාමරය සුන්දරව සකසාගෙන ඇඳට ද ඇඳ ඇතිරිලි යොදා සකසා මම මඟ බැලුවේ ඔහු නිවසට පැමිණෙන තුරුයි.
මම පෙර දිනයේ පැවසූ අන්දමටම ඒ ලංකාව පුරා කොවිඩ් වසංගතය දැඩි ව පැතිර යමින් තිබූ කාලයයි.උදව් අවැසි මිනිසුන්ට උදව් කරමින් වසංගතයේ කටයුතු සඳහා පැවරී ඇති රාජකාරි කරමින් සුධාරක ද කාර්යබහුල වී සිටියා.ඒ වගේම ඔහු මිනිසුන් උදව් උපකාර කරන්නට දැක්වූයේ නොමඳ ආශාවක්.අපේ අසල් වැසියන්ට පවා බෙහෙත් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඕනෑ වන විට ඔහු මෙහි සිටින ඔහුගේ කණිෂ්ට නිලධාරීන් යොදවා ඒ උදව් ලබා දෙන්නටත් අමතක කළේ නැහැ.ඇඳිරි නීතිය ද සංචරණ සීමා ද විටින් විට පැවරෙන ඒ කාලයේ ඔහු කළ ඒ උදව් ඒ අයට මහමෙරක් තරම්.
රාජකාරි කටයුතු වලට එහෙමෙහෙ යද්දී ඇතැම්විට මුඛ ආවරණ අමතක කරන ඔහු මගෙන් බැනුම් ඇසූ අවස්ථා ඕනෑ තරම්.මම එහෙම දොස් නගන විට ඔහු කරන්නේ පුරුදු පරිදි සිනහ වීමයි.
“මට මොකවත් වෙන්නෑ මැණිකේ. ඔයා ඉන්නවනෙ මාව බලාගන්න.ඔයාගේ ආදරේ මාව ආරක්ෂා කරනවා.”
සැබෑවටම එය එසේ වනු ඇතැයි මම ද විශ්වාස කළා.එය එලෙස වනු ඇතැයි මම සැබෑවටම විශ්වාස කළා.ඒ විශ්වාසයන් සෑම විටම මුදුන් පත් වෙපත් වෙන්නේ නම් මොනතරම් අපූරුද? නමුත් අපේ ඉරණම හැම විටම අපට කාරුණිකව සලකන්නේද නැහැ.