“හොඳ යාලුවෙක් වුණාම එහෙම වෙන්න ඕන මම හිතාගෙන හිටියේ නම්.කෙනෙක් දුකින් ඉන්නවත් නොදැක්කා වගේ ඉඳලා ඒ මනුස්සයා හදිසියේ ජීවිතේට මොනවා හරි කරගත්තාම ෆේස්බුක් එකේ හෑලි වැඩක් නෑනේ.හොඳ යාළුවෙක් නම් කරන්න ඕනේ ප්‍රශ්නෙ මොකක්ද කියලා එයත් එක්ක කතා කරන එක.ඒක මං විශ්වාස කරන් දේ”
රවිඳු කියවා ගෙන ගියේ කෝපයෙනි.ඔහු සැබෑවටම හිමාෂා දෙස බලන්නට පුරුදුව සිටියේ ඇය කෙරෙහි ප්‍රේමයක් වූ නිසා ය.නමුත් ඇගේ රුව ඇස් පුරා ඇඳගත් පසු රාජකාරිi ඇරඹීම ඔහුගේ සිරිත ය.ඇය නොසන්සුන්ව ඇමතුමක නොසිටියා නම් තරම් උවමනාවෙන් ඇය ගැන සොයා නොබලන බව ඔහු හොඳින්ම දැන සිටියේ ය.ඔහු හිමාෂා පිළිබඳ ඇස ගසා ගෙන සිටියේ ඇය කඳුළු පිසිමින් දුරකථන ඇමතුමක් ගත් නිසා ය.
ජීවිතය අතැර දමන්නට එක්වරම සිතට ආ රාත්‍රියේ සිට රවිඳු අන් අය පිළිබඳ බොහෝ සංවේදී ය.
“මට චුට්ටක් කතා කරන්න පුලුවන්ද මචං?
සමීපතම මිතුරෙකු ට එසේ කෙටි පණිවිඩයක් තැබුව ද ඔය කියවන්නට වත් උනන්දු වී තිබුණේ නැත.එදා ඒ මිතුරා ඒ පණිවිඩය කියවූ නම් මෝටර් සයිකලය අනතුරට පත්කරගෙන ජීවිතයෙන් සමු ගැනීමේ අදහසින් රවිඳු වැළකෙන්නට ඉඩ තිබිණ.
“ජීවත් වුණා ඇති හිතිවිල්ල ඔයාට විතරයි ආවෙ කියලා කවදාවත්ම හිතන්න එපා රවිඳු.ඒක ඕනෑම මනුස්සයෙක්ට ජීවිතේ කවදාහරි දවසක ඇවිල්ල තියෙන්න පුළුවන් සිතුවිල්ලක්.ඒ වගේ සිතුවිලි ආවම අපි අපිව පාලනය කරගන්නයි ඕන.ඉස්සරහට එහෙම නොවෙන්න ඔයා ඔයාව පාලනය කරගන්න පටන් ගනීවි.”
මානසික ප්‍රතිකාර ඇරඹීමට පෙර මනෝ වෛද්‍යවරයා එසේ පැවසූ අන්දම රවිඳුගේ මතකයෙන් නොමියේ.ජීවිතයේ සංවේදනා ඇතිවූ විට මිනිසුන් හැසිරෙන අන්දම ගැන මං තුළින්ම අත්දැකීම් ලැබූ හෙයින් ඔහු වඩ වඩාත් අන් අය ගැන සැලකිලිමත් වීම ඇරඹුවේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමත් සමඟ ය.
“ඔයා අවුලකද? ප්‍රශ්නයක් මට අහගෙන ඉන්න පුළුවන් වෙයි.”
දෑසින් දැක නැති ෆේස්බුක් මිතුරෙකුට පවා රවිඳු එසේ මිත්‍රත්වයේ දෑත් දිගු කරන්නට පටන් ගෙන තිබිණ.නොදුටු මිතුරන්ට පවා එසේ කරද්දී ඔහුගේ හදවත ප්‍රේමයෙන් මන්මත් කරවන යුවතියගේ සුළු වෙනස පවා ඔහුට අතැර දමන්නට නොහැකි ය.
එය වචනයෙන් වචනය පාරමීට පැහැදිලි කර දෙන්නට නුවුමනා ය.නමුත් ඔහු ඇය දෙස බැලුවේ කෝපයෙනි.
“ඔයා මෙතනට ඇවිල්ල කතා කරපු විදිය කැතයි.පින් එහෙම ප්‍රශ්න අහන්න ඔයාට අයිතියක් නෑ නේ.යාලුවෙක් විදිහට හිමා ඉන්න තත්වෙ අවබෝධ කර ගන්නවා මිසක් මෙතන රණ්ඩු අල්ලගන්න තියාගත්තු තියෙන හරිම කැතයි.”
පාරමී පරදින්නට අකමැති දෑසකින් ඔහු දෙස බලා සිටියා ය.හිමාෂාට ප්‍රශ්න තිබූ පලියට ඒවාට රවිඳු මැදිහත් විය යුතු නොවේ.නමුත් ආවේණික ගැහැනු ඉවට ප්‍රශ්නය කුමක්දැයි දැන ගන්නට ද ඇයට වුවමනා විය
“මොකක්ද ප්‍රශ්නෙ?” පාරමී කෝපය පහ නොවුණු හඬකින් එසේ අසද්දී රවිඳුට දෙන්නට අපූරු පිළිතුරක් විණ.
“හිමාට මාව විශ්වාස කරන්න පුළුවන් විදියේ යාළුවෙක් නිසා එයා මට ඒක කිව්වා.ඔයත් එහෙම යාලුවෙක් කියලා විශ්වාස කරනවා නම් නොකියා ඉන්න එකක් නෑ.”
ඕපාදූපය දැනගැනීම පසුවට කල් තැබීමට පුළුවන.නමුත් පාරමීට රවිඳුට අවවාදයක් දෙන්නට තිබිණ.දික්කසාද වූ ගැහැනියක සමඟ කාර්යාලයේ දී වුවත් ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පාන්නට යාම නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් විය හැකි බව ඇය බැරෑරුම් හඬකින් පවසන්නට වූවා ය.
“මට වැදගත් කෙනෙකුගේ මානසික මට්ටම විතරයි.හිමා මේ වෙලාවේ ඉන්නේ හොඳටම ස්ට්‍රෙස් වෙලා.එයාට එහෙම ඉන්න දෙන්න මම කැමති නෑ.”
බිඳුවක්වත් තමන්ට අවනත නොවන මේ යෞවනයා දෙස පාරමී ගිනි ගන්නා බැල්මකින් බලා සිටියා ය.අනතුරුව ඇයට කියන්නට දෙයක් විණ.එය වචනම නොවේ,තර්ජනයකි!