හිමගිරි අරණ -41

“ඔයාට අනිත්  හැමෝටම කරුණාව දෙන්න පුලුවන්. ඒ උනාට ඔයාට මාව තේරුම් ගන්න පොඩ්ඩක්වත් බෑ.හිමා එයාගෙ මොකක් හරි අවුලකට ජීවිතේ නැතිකර ගනී කියලා ඔයා බයෙන් ඉන්නවා.ඔයා හින්ද මම එහෙම කරොත් ඔයා මොකද කරන්නේ?”

එය සුළුපටු කතාවක් නොවන වග රවිඳුට තේරුම් ගියේ ය.නමුත් ඔහු එය උපහාසයෙන් බැහැර කරන්නට තීරණය කළේ ය.පාරමීගේ ප්‍රවේශය දැන් සීමාව අතිඅතික්‍රමණය කරමින් පවතී.එයට මුහුණ දෙන්නේ කෙසේදැයි රවිඳුට සැබෑවටම නිවැරදි හැඟීමක් පවා නොතිබිණ.

“ඔයා මට තර්ජනය කරනවද?”

ඔහු වඩා සන්සුන්ව ඇසී ය.පාරමී අමුතු සිනාවක් නඟා රවිඳුගේ මුහුණ දෙස බලා සිටියා ය.ඔහු බියට පත්වීම ඇයට සතුටකි.

උමතුවෙන් මෙන් ඔහු කෙරෙහි ප්‍රේමයෙන් සිටි ඇය දැන් හිඳින්නේ කෝපයෙනි.ඒ ගිනි ගන්නා කෝපයට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබිණ.

“මාව රිජෙක්ට් කරාට කමක් නෑ.ඒක ඔයාගේ අයිතියනේ.ඒත් මට නොතේරෙන්නේ මාව රිජෙක්ට් කරපු ඇස් හිමා වටේ කැරකෙන්නේ කොහොමද කියලා.”

පාරමී එසේ පවසද්දී හිමාෂා සහ තමන් අතර ඇත්තේ මිත්‍රත්වයක් පමණක් බව නැවතත් තහවුරු කරන්නට රවිඳුට ඕනෑ විය.ඇය ගැන සැලකිලිමත් වන්නට හේතුව හද උපන් ප්‍රේමයක් බව හිමාෂා නොදනියි.ඇය සිතන්නේ ඒ අකලංක මිත්‍රත්වයක් බව ය.ඒ හැඟීම පාරමීගේ කලබල කේලමකට වෙනස් නොවිය යුතු බව රවිඳු තරයේම සිතී ය.

“යාලුකමක් තේරුම් ගන්න බැරි ඔයාට ජීවිතේ අනිත් කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.ඉස්සරලම යාළුකම කියන දේ තේරුම් ගන්න.ඒක මිනිස්සු අතර තියෙන ලස්සන බැඳීමක්.ඒක තේරුම් ගත්තහම ඔයාට ගොඩක් දේවල් තේරෙන්න පටන් ගනී.”

රවිඳු එසේ කියද්දී පාරමී දෙඋරහිස් ගස්සා හිනැහුණා ය.මොකක්දෝ කාරණාවකට මේ පවතින්නේ මිත්‍රත්වයක් බව විශ්වාස කරන්නට ඇගේ කැමැත්තක් නොවේ.

“සාමාන්‍යයෙන් මං දෙයක් ගැන සැකයක් හිතුවොත් ඒක වරදින්නේ නෑ රවිඳු”

ඇය එසේ කියද්දී රවිඳු සිටියේ ආපසු යමිනි.ඔහු හැරී හිනැහිණ. වෙනදා ඒ සිනාවට මොනතරම් ලොබ බැන්දා දැයි පාරමී සිතුවේ කෝපයෙනි.තමන්ගේ ඒක පාර්ශවික ප්‍රේමය හොඳින් දැන සිටි මිතුරිය අතින්ම එය බිඳ වැටීම මොන තරමේ නපුරක්දැයි ඇය නැවත නැවත සිතන්නට වූවා ය.

“සාස්තර කියන්න පුලුවන්නම් අපරාදේ මේ අට පහ රස්සාවක් කර කර මෙච්චර ලොකු සැලරියක් ගන්නෙ.හොඳ දේවාලයක් දාගන්නකො.”

වෙනදා නම් එය පහසුවෙන් සිනාසෙන්නට හැකි විහිළුවකි.නමුත් පාරමීට ඇති වූයේ දරා ගන්නට නොහැකි තරමේ කෝපයකි.

ඔහුගෙන් ලබන සරදමක් පවා දවස පුරා හිනැහෙන්නට හේතුවක් කර ගත් දවස් අතීතයට එක් වීම ඇයට වේදනාවකි.එසේ වන්නට හේතුව හිමාෂා බව සිතෙද්දී වේදනාව කෝපයකට හැරෙන අන්දම පාරමීට උසුලන්නට අපහසු ය.

පටු කොරිඩෝවේ එහෙ මෙහෙ ඇවිදිමින් සිටි ඇය තීරණයකට එළඹුණා ය! ඒ දුරකථන ඇමතුමක් ගන්නට ය.මේ ඇමතුමට හිමාෂා සහ රවිඳු අතර සම්බන්ධයක් වේනම් එය ළදළු වියෙහිදීම විනාශ කර දමන්නට හැකි බව පාරමි තරයේ විශ්වාස කළා ය.

කිසිවක්ම නොදන්නා හිමාෂා සිටියේ රාජකාරි කරගන්නට නොහැකි තරමේ වියවුල් මානසිකත්වයක ය.සහන්ගේ ඇමතුම නිසා ඇති වූ පීඩාව දෙගුණ කරන්නට පාරමීගේ ප්‍රවේශය හේතු වී තිබේ.ඇය ළබැඳි මිතුරිය පමණක් වූවානම් රවිඳු සම්බන්ධයෙන් හදවතෙහි ඇති සැබෑ සිතිවිලි හෙළි කරන්නට පවා තිබිණ.නමුත් පාරමි රවිඳු ප්‍රතික්ෂේප කරද්දී පවා ඔහුගේ සෙනෙහස පතන්නී ය.මේ මොහොතේ ඒ සෙනෙහස තමන් කෙරෙහි වෛරයක් ද නැගී එන බව හිමාෂා  හොඳින් දැන සිටියා ය.ඇයට දැනුණේ දරාගත නොහැකි තරම් හිසරදයකි.

“හොඳටම ඔලුව රිදෙනව.මං ලීව් එකක් දාන්න ඕන”

ඇය රවිඳුට කෙටි පණිවිඩයක් යැවූවා ය.ඔහුට එය දන්වන්නට සිතෙන්නේ ඇයිදැයි ඇය අනතුරුව සිතුවා ය.

“ඔයා ඉන්නෙ හොඳටම අවුල් වෙලා.ගෙදර ගිහින් රෙස්ට් කරන්න.මං රෑ වෙලා කෝල් කරන්නම්.තනියම යන්න පුලුවන්ද? ටැක්සි එකක යන්න.”

කෙටි පණිවිඩයට දිගු පිළිතුරක් වට්ස් ඇප් වී තිබිණ.හිමාෂා හිස ඔසවා රවිඳු දෙස බැලී ය.ඔහුගේ දෙතොල් මත මන බඳින සිනාව පිපී ආයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles