(අ)හිමි සිහින -138

0
1596
ahimi sihina

සුධාරක මන්නාරම්  රෝහලට ගෙන ගිය මොහොතේ ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු ඔහුගේ කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතු ම බව මට සිතුණා.කෙනෙකුගේ ජීවිතය අවසන් වෙමින් පවතින මොහොතක දී කලබල නොවී එහෙත් ඉක්මන්ව කළ කළ යුතු දේ කරන්නට හැම කෙනෙකුටම බැහැ.රැකියාවෙන් ලද පරිචය නිසා ඒ තරුණයන්ට එවැනි මොහොතක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නට හැකියාව තිබුණා සුදාරක රෝහලට රැගෙන ගොස් තිබුණේ ගිලන් රථයකින් නොව ඔවුන්ගේ රාජකාරි වාහනයකින්.ඒ මොහොතේ පාරේ ඉඩ ඉල්ලමින් කෑගසමින් දැඩි වාහන තදබදයක් ඇති වෙලාවට අනතුරුදායක බව නොතකා රිය ධාවනය කරමින් ඔවුන් සුදාරක රෝහලට ගෙන ගොස් තිබුණා

“ඒ වුණාට අපි ඒ වෙලාවේ තේරුම් අරන් හිටියේ සර්ව නැති වෙලා ඉවරයි කියලා.ඒක පිළිගන්න හිතේ තිබ්බා කැමැත්ත හින්ද වෙන්න ඇති අපි එච්චර ඉක්මනට ඉගිල්ලිලා හොස්පිටල් එකට ගියේ”

ඔවුන්ගෙන් කෙනෙකු මට එසේ පැවසුවේ මේ මෑත දවසකදී

ඔහුව රෝහලට රැගෙන ගිය මොහොතේ ඔහුගේ මුළු කාර්ය මණ්ඩලය ම එතැනට පැමිණ තිබුණා.ජේෂ්ඨ  සහ කනිෂ්ඨ භේදයකින් තොරව සියල්ලන්ම  එතැනට වී සුදාරකගේ ජීවිතය වෙනුවෙන් කළ හැකි සියල්ල කරන්නට කටයුතු යොදමින් සිටියා.ඔවුන්ගේ සමහර බිරින්දෑවරු ඒ රාත්‍රියේ මට අමතමින් මගේ සිත සුවපත් කරන්නට කටයුතු කරමින් සිටියා.මම සුදාරකගේ විවාහක බිරිඳ නොව ඔහු ලාබාලවියේ පටන් ආදරය කල පෙම්වතිය වග ඒ හැම කෙනෙකුම දැනගෙන සිටියා.නමුත් ඒ කිසිවකු මා ප්‍රතික්ෂේප නොකළේ දිල්හානි සමග  ජීවත් වූ කලී සුදාරක ජීවත් වූ අන්දම සහ ඔහු වර්තමානයේ ජීවත් වන අන්දම ගැන හොඳින් දැන සිටින නිසා වන්නට ඇති.ඒ සමහර ඔහුට ආදරය කළේ තම සහෝදරයකුට පරිද්දෙන්.

“ඔයා ඕනෑම උදව්වක් එයාලගෙන් ඉල්ලන්න.එයාලා ඒක නොකර ඉන්න”

නීත්‍යානුකූලභාවයක් නොතිබූ නමුත් මට කිසිදු බියක් නොදැනුනේ ඒ හේතුවෙන්.මගේ ආදරය ගැන ඔවුන් විශ්වාස කරන බව මම දැනගෙන සිටියා.සුධාරකට ජීවත්වන්නට මගේ ආදරේ අත්‍යවශ්‍ය බවත් ඔවුන් හොඳින්ම දන්නා බව මම දන්නවා.සාමාන්‍යයෙන් “අනියම් ප්‍රේමයක්” නම් පැවතෙන්නේ හොරරහසේ.නමුත් අපි ජීවත් වූයේ ප්‍රසිද්ධියේ.අපේ සම්බන්ධය සහ ආදරය කිසිවිටෙක රහස් එකක් වූයේ නැහැ.අපට නො තිබුණේ නීත්‍යනුකූල ලියවිල්ල පමණයි.අපට එසේ ජීවත් වන්නට සිදු වූ සැබෑ කතාව පවා ඔවුන් දැන සිටීම නිසා මට කිසිදිනක වැරදි ලේබල් නොවැදුනු වග ද කියා තැබිය යුතුමයි.

එසේ රෝහලට රැගෙන ගිය සුදාරක අනුරාධපුර රෝහලට මාරුකර යැවුණේ එදිනම රාත්‍රියේ බව මම කී අන්දම ඔබට මතක ඇති.ඔහුගේ ප්‍රධානියෙක් මට වීඩියෝ ඇමතුමක් රැගෙන ඔහුව පෙන්වූයේ ඒ මොහොතේ.

ඔහුව මට දිස්වූ මොහොතේදී මම ආශිර්වාදාත්මක ගාථා කිහිපයක්ම ඔහු වෙනුවෙන් සජ්ජායනා කළා.අනතුරුව මම ඉතාම ආදරෙන් ඔහුට කතා කළා.

“මහත්තයා මං ඔයාව බලන්න දැන් එනවා හොඳේ.කොහොමටත් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.මට ඔයාව ඕනේ.ඔයා හයිය මනුස්සයෙක්.ඔයා සිංහයෙක්.ඔයා කොහොම හරි නැගිටින්න ඕනි හොඳේ.”.

ඇස උනන කඳුළු වාවාගෙන මම ඔහුට එසේ ඉතාමත් ආදරයෙන් කතා කළා.මේ මොහොතේ හැඬීම වැළපීම වෙනුවට ඔහුට එසේ ආදරයෙන් ආමන්ත්‍රණය කිරීම කළ යුතු ම බව මම මගේ සිතට තරවටු කර ගනිමින් සිටියා කිවහොත් නිවැරදියි.

ආශ්චර්යයක් සිදුවූයේ ඒ මොහොතේ දී.

මුඛය තුළට බට පවා ගසා සිටි ඔහු යන්තමින් හිනැහෙන අන්දමත් ඇසෙන් කඳුලක් වැටෙන අන්දමත් මා දුටුවේ ඒ මොහොතේදී.ඒ මොහොතේ මට දැනුණු හැඟීම් විස්තර කර කියන්නට මා දන්නා සිංහල ප්‍රමාණවත් මදි.අතිශය අසීරු මොහොතක පවා ඔහු මගේ හඬට පවා ප්‍රතිචාර දක්වන්නට උත්සාහ කළා

ඔබ ආදරය පිරුණු සහ වෛරය පිරුණු අදහස් මගේ කතාවට පළ කරමින් සිටින මේ මොහොතේ මට ඔබට කියන්නට තිබෙන්නේ එකම එක දෙයයි.

“ආදරය කියන්නේ සීමාමායිම් පැනවිය නොහැකි දෙයක්.හදවතට දැනුණු ආදරයක් නැති කරගන්නට කිසිම කෙනෙකු කැමති වෙන්නේ නැහැ.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here