දෛවය අපේ ඉරණම කොයි ආකාරයට විසඳාවිදැයි නොදැන සිටියත් මම සුධාරක වෙනුවෙන් ඒ කාලයේ නිරන්තරයෙන්ම කැප වුණා.කතා කරන්නට නොහැකි වුණත්,මගේ අතින් වතුර උගුරක් හෝ බොන්නට නොහැකි වුණත් මා එතැන හිඳින බව ඔහුට හැඟෙන බව මට සිතුණා.
“මම රටට ලොකු වීරයෙක්.මහා වගකීමක් තියෙන රස්සාවක් කරන මිනිහෙක්.මට මහා ආරක්ෂාවක් දැනෙන්නේ ඔයා මගේ ළඟ ඉන්න වෙලාවට.”
ඔහු නිරන්තරයෙන්ම එසේ පැවසූ දවස් මට සිහියට නැඟුණා. හැබෑවටම ඔහු විශ්වාස කළ දෙයක්.මා ඉන්නා තැනක ඔහු බොහෝ විශ්වාසයෙන් හැසිරුණා.තමන්ගේ පෙනුම කඩවසම්ව පවත්වා ගත්තා.ඔහුට මා එතරම් ධෛර්යක් වූයේ ඇයි දැයි කියන්නට බව දන්නේ නැහැ.නමුත් ඔහු මා කෙරෙන් දුටු බලයක් හෝ මගේ දෛවයේ සැලැස්මක් හෝ එයට හේතු වන්නට ඇති.ඒ වගේම මේ රෝගී තත්ත්වය දක්වාම ඔහුට කිසිම අනතුරක් සිදු වූයේද නැති තරම්.ඒවාට හේතුව කුමක්දැයි හරියටම කියන්නට නොහැකි වුණත් මට එක් දෙයක් පැහැදිලියි.
“මගේ ආදරයෙන් ඔහු ආරක්ෂා වන්නට ඇති.”
අප වෙන් වන්නේ මරණයෙන් පමණක් බව පැවසූ කතාව නම් අසත්‍යයක් වන්නට බෑ.ඔහු කුමන ආකරයෙන් පැවතුණත් මට ඔහු අත හැර දමන්නට ඕනෑ නැහැ.මේ රෝගය ඔහුව සදාකාලිකව ඇඳට කර හෝ රෝද පුටුවකට කර තැබුවත් ඔහුව සදහටම රැක බලා ගන්නට මම හිත ශක්තිමත් කරගනිමින් සිටියා.
“උඹට ඉතින් මගේ පුතා ලවා ඕන දෙයක් කරගන්නත් පුලුවන්.උඹ කිව්වොත් මගේ පුතා මොකුත් නොකර ඉන්නෙත් නැහැ.”
අප අතර කිසිම මත ගැටුමක් නැති කාලයේ පවා සුධාරකගේ අම්මා එසේ පවසා තිබෙනවා.හැබෑවටම ඒ කතාව සත්‍යයක් බව මම ද දැන සිටියා.නමුත් මේ මොහොතේ මොන තරම් ඉල්ලීම් කළත් ඔහු නොවන බවද මම දැන සිටියා.මට තිබු වේදනාව වන්නේ ද එයයි.
මේ මොහොතේ සුධාරකගේ අම්මා තම පුතුට ආශිර්වාද කරමින් මා සමඟ රැඳුණානම් මට විශාල ශක්තියක් වන්නට තිබුණා.නමුත් ඇය එසේ නොකරනවානම් මට ඇයට ඒවා කරන්නැයි අයදින්නටත් බෑ. ඒ සම්බන්ධයෙන් ඇගේ දියණියන් ඇයට බැන වැදුණු බව ද මම දන්නවා.නමුත් අපට කිසිවෙක්ගේ හොඳ හිත බලෙන් දිනාගන්නට නොහැකි බව දන්නා නිසාම මම යන්ත්‍රයක් මෙන් ඒවා නොසලකා හරිමින් ජීවත් වුණා.
“මතු ආත්මයකනම් ඔයාට මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න එපා.”
මට ඒ ලෙස ප්‍රාර්ථනා කරන්නට සිතුණා.
දරුවෙක් වෙනුවෙන් අප්‍රමාණ ප්‍රාර්ථනා කරන දරුවෙකු කුසට ගන්නට අප්‍රමාණ කැපකිරීම් කරන ගැහැනු මට අනන්තවත් මුණ ගැසී තිබෙනවා.තමන්ගේ දරුවාට පමණක් නොව වෙනත් දරුවන්ට පවා බොහෝ ආදරය කරන අසංකගේ අම්මා වැනි උතුම් මව්වරු මට මුණ ගැසුණු අවස්ථා ඕනෑතරම්.මවක් විය යුත්තේ එවැනි ගැහැනු පමණයි.දරුවන්ට වෛර කරන ඔවුන්ගේ අයහපත ප්‍රාර්ථනා කරන කිසිම ගැහැනියක සොබාදහම විසින් මවක් කළ යුතු වන්නේ නැහැ.
දරු දුක බලහත්කාරයෙන් දනවන්නට බෑ.එය තමන්ගේ ලේ වලට දැනිය යුතුමයි!