රාත්‍රිය සෞම්‍ය හා සිහිලැල් වූයේ ය. නමුත් හැම තැනක ම කුමක් හෝ වැඩක නියැළෙමින් සිනහ වෙමින් ද කතා කරමින් ද සිටි මිනිස් රංචු නිසා මගේ හදට දැනුණා වූ හැඟීම උණුහුම් ය. මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත එත්දීත් ධාරා නික්ම ගොස් තිබුණෙන් මට නිදහස් බවක් ද දැනිණ. එය හරියට රැජිණ මමයි අපේ රාජ්ජජේ වැනි හැඟීමකි. කවුරුත් ඕනෑ ම දෙයක් විමසුවේ මගෙනි. ඒ ආදරය ඉතා තදින් මට දැනෙන්නට වූයේ ය.
මම හැකි තාක් මුණිවර මගහරිමින් සිටියෙමි. ඔහු ගේ ඇස් හැම මොහොතක ම මා හඹා එමින් තිබෙන බව ද මට දැනිණ. එය හිතේ ඇති කළේ ආත්මාභිමානී හැඟීමකි. උමතුවෙන් ඔහු පසු පස යාමේත්, ඒ විදිහට නො සලකා හරිමින් හිත යටින් ප්‍රීති වීමේත් වෙනසක් ඇති බව මම අත් වින්දෙමි.
පිරිත් මණ්ඩපය තැනුණේ මිස්ට් ෆීල්ඩ් බංගලාවේ දැවැන්ත ආලින්දය මධ්‍යයේ ය. එය ගොක් කොළ වලින් අගනා කැටයම් යොදමින් ඉදි කරමින් තිබිණ. මණ්ඩපය ඉදි කිරීම භාරව කටයුතු කළ වැඩිහිටි පුරුෂයා වන ධර්මදාස මහතා සමග කතාවට වැටීම මට සතුට සේ ම දැනුම ද ගෙන දුන්නක් විය. මණ්ඩපය සම්බන්ධයෙන් මට ඇති වූ හැම ගැටළුවක් ම එතුමා වෙත ඉදිරිපත් කරමින් මම ඒවා ට විසඳුම් ලබා ගතිමි.
මණ්ඩපයක් අටපට්ටම් හැඩයට හැදීමෙන් සංකේතවත් කෙරෙනුයේ අට ලෝ දහම ය. එය බුද්ධ කාලයේ සිට පැවත ගෙන ආ ආකාරයෙන් සිදු කරනවා නම් මණ්ඩපයට දොරටු හතරක් තැබිය යුතු ය. ප්‍රධාන දොරටුව නැගෙනහිර ට මුහුණ ලා සැකසීම සිරිත වේ. මණ්ඩපය තුළ වියන් බැඳ වියන මත බුලත්, නා, නාගවල්ලි වැනි ශාක පත්‍ර වර්ග ද පුවක් වැනි මල් වර්ග එල්ලීමක් සිදු වේ. මේ ශාක පත්‍ර හා මල් දින කිහිපයක් පර නොවී පවතින ඒවා සේ ම විෂබීජ හරණ ගුණයෙන් යුතු ඒවා ද වේ. ඊට අමතරව විලඳ, අබ, සමන් පිච්ච කැකුළු, ඊ තණ හා සුණු සහල් යන අංග පහෙන් සමන්විත ලද පස් මල් මණ්ඩපය තුළ එල්ලීමත් ඉසීමත් සිදු කෙරේ.
“ඇයි මේ පුවක් ගහක් සුදු රෙදි වලින් ඔතල මෙතන හිටවල තියෙන්නෙ..”
මා එසේ විමසූයේ බොහෝ පිරිත් මණ්ඩප තුළ එම අංගය දැක තිබී ද එහි අරුත නො දැන සිටි නිසාවෙනි.
“රජගහ නැත්තං ඉන්ද්‍ර ඛීලය කියල තමයි අපි ඒකට කියන්නෙ. පුරාණ කාලෙදිනං රජ ගහ විදිහට යොදා ගත්තෙ සූරිය වගේ ගස්. ඒ ගස් වල දැව පවා පැලවෙනව කියනවනෙ. පස්සෙ කාලෙක ඒ ගස් හොයා ගන්න තියන අපහසුව නිසා ළපටි පුවක් පැලයක් රජගහ විදිහට යොදා ගත්ත. පුවක් ගහත් සෑහෙන දවසක් මැලවෙන්නෙ නැතුව ප්‍රාණවත්ව තියා ගන්න පුළුවන් ගහක් නිසා. අපි මේ රජගහ යුගාසනයට සම්බන්ධ කරල තමයි හිටවන්නෙ. මේක කිසි හේතුවක් මත පිරිත් කටයුතු අවසන් වෙලත් තුන් වරුවක් ගෙවෙනකල් හුළඟකටවත් කඩා නොවැටෙන විදිහට සවි කරන්න ඕනෙ. යුගාසනේ අසුන් ගන්නෙ පිරිත් පුරන හිමිවරු. අපි යුගාසන පනවන්නෙ මණ්ඩපේ ප්‍රධාන දොරටුවට මූණ දාලයි. පිරිත් නූල් සම්බන්ධ කරන්නෙත් රජගහට”
ධර්මදාස මහතා මට ඒ ගැන සලකිය යුතු අවබෝධයක් ලබා දුන්නේ ය. මණ්ඩපය තුළ ස්වාමීන් වහන්සේලා අට නමකට හෝ දහසය නමකට අසුන් පැනවීම සිරිත වේ. ගොක් කොළයෙන් කැටයම් යොදා නිමැවෙන මණ්ඩපය පිටතින් පුන් කලස් හතරක් පිහිටවන අතර ඒවායේ අබ තෙල් පහන් දල්වන්නට නියමිත වේ. ප්‍රධාන දොරටුව දෙපසින්, අලංකාරය පිණිස කෙසෙල් බඩ හා ගොක් කොළ යොදා ගෙන මල් බඳුන් සැරසිලි දෙකක් නිමවී තිබිණි.
“පිරිත් මණ්ඩපයක් හදල සංඝයා වහන්සේලා පිරිත් කියන එකේ ආනිශංස ගැන බුදුන් වන්සෙ ජීවමාන කාලෙ උන්වහන්සේම දේශනා කරල තියෙනව දරුවො. මේ පිරිත් මණ්ඩප බෞද්ධ සමාජෙට ආවෙ එතැන ඉඳන්. ඒ කාලෙ එක බමුණෙක් එක කුමාරයෙක්ගෙ ජන්මය විමසල ඒ දරුව තව දවස් හතකට වැඩිය ජීවත් කරවන්න බෑ කිව්වලු. ඒ දෙමව්පියො දරුවත් අරං බුදුන් වහන්සේ ළඟට ඇවිත්. බුදු හාමුදුරුවො මව් පිය දෙන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළාලු හැබැයි දරුවට දීර්ඝායුෂ පතල නෑ. මේ ගැන මව්පියො බුදු හාමුදුරුවන්ගෙන් අහල තියෙනව. එතකොට උන් වහන්සේ කිව්වලු මේ දරුව ජීවත් වෙන්නෙ තව දවස් හතයි කියල. ඉතින් දෙමව්පියො වැඳ නමස්කාර කරල ඇහුවලු දරුවව ජීවත් කරවන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද කියල. බුදුන් වහන්සේගෙ උත්තරය වුණේ…තමන් ගෙ ගෙදර මණ්ඩපයක් තනවල ඒ මැද පීඨිකාවක් හදල අසුන් අටක් හෝ දහසයක් පණවල මගේ ශ්‍රාවයකයන් ලවා සත් දවසක් එක දිගට පිරිත් කරවන්න පුළුවන් නම් දරුවාට ආයුෂ වැඩි වේවි කියන එකයි. ඉතින් දෙමව්පියො වහාම බුදුන් ගේ උපදෙස් මත ඒ කටයුතු සිදු කරල. දීර්ඝායු ලබපු කුමාරය ඊට පස්සෙ අඳුන්නල තියෙන්නෙ දීඝායු කියන නමින්. ඉතින් නිවැරදි පිළිවෙත් වලට අනුව මණ්ඩප හදල පිරිත් කිරීමේ ආනිශංස කොහොමද කියන එක තේරෙනව නේද…ම්…”
ධර්මදාස මහතා පඩික්කම පුරා බුලත් කෙළ පහරක් ගැසුවේ ය. මා ඔහු දෙස බලා සිටින්නට ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරයෙකු දෙස බලනාකාරයේ ම ගෞරවයකින් භක්තියකින් කියා සිතමි. මණ්ඩප තනන්නන්ට උදව් කරනවා වෙනුවට මා කළේ ඔවුන් ගෙන් ප්‍රශ්න අසනා එක ම ය. මුණිවර ගෙන් ඈත් වී සිටින්නට ද මට එය මහඟු අවස්ථාවක් වූයේ ය. නමුත් මුණිවර ගේ ඇස් නිතර ම මට පෙනෙන මානයේ විය.
“මෙයා වැඩක් කරන්න දෙන්නෑ නේද මාමා…කියෝන එකමයි වැඩේ”
වරක් දසුන් මා ගැන ධර්මදාස මහතා ට එසේ කීවේ ය. හෙතෙම පඩික්කමට කට හිස් කොට, බුලත් කහට බැඳුණු දත් පෙන්වා සිනහ වූයේ මදෙස ආදරයෙන් බලමිනි.
“දැන් කාලෙ ඉන්න ගෑනු ළමයෙක්වත් ඉලන්දාරියෙක්වත් මේව ගැන දැන ගන්න කිසි උනන්දුවක් පෙන්නන්නෙ නෑනෙ මහත්තයො. ඉතිං මෙහෙම ගෑනු දැරිවියක් දැක්කහම අපිටත් දන්න දෙයක් කියල දෙන්න තමයි හිතෙන්නෙ”
ඔහු මට ගොක් කොළ වලින් මල් ගොතන්නටත් කුරුල්ලෙකු තනන්නටත් කියා දුන්නේ ය. මම මල් කිහිපයක් හා කුරුල්ලන් කිහිප දෙනෙකු තනා, මණ්ඩපය දෙපස කෙසෙල්බඩ මල් බඳුන් වල රැඳවූයෙමි.
“අහුවෙන පිරිමි ඔක්කොගෙම නහය විදල ලණුව දාගන්නව නේ…”
මා කෝපි බන්දේසියක් ගෙන ගිය විට දසුන් සිනහ වෙමින් මා විමසුවේ මුණිවර දෙසට ඇසක් ඉඟි මරමිනි.
“කවුද දැන් ඔය අහුවුණ පිරිමි කියන්නකො”
“පේන්නැද්ද ඉතිං…ලොකු තාත්ත…ඔය මණ්ඩපේ හදන මාමල…අර කුස්සියෙ උයන අප්පු…තව ඉතිං…ඕන තරං ඇති”
“එතකොට අහු නොවුණ අය කවුද කියන්නකො බලන්න”
මම ඔහු ට අභියෝගයක් කළෙමි.
“මේකි බලහංකො”
කියමින් හෙතෙම හඬ නගා හිනැහුණේ ය. කෝපි බන්දේසිය අල්ලත්දී හෝ මුණිවර දෙස නො බලා සිටින්නට මම ප්‍රවේසම් සහගත වීමි.
මණ්ඩපයේ වැඩ නිම කිරීමෙන් පසු, හෙට දිනයේ ඉතිරි කටයුතු කිරීමේ අරමුණෙන් ධර්මදාස මහත්මා ඇතුළු පිරිස වැඩ නිම කළහ. ඒ වෙලාවේ මම ද ගෙදර යාමට සූදානම් වුණෙමි. නමුත් මිස්ට් ෆීල්ඩ් හි සේවක සේවිකාවන් විශාල පිරිසක් තව දුරටත් එහි රැඳී සිටියහ. රාත්‍රිය මෙහි ගත කොට පාන්දරම ගෙවල් වලට ගොස් යළි ඔවුන් දිවා කල පැමිණෙන බව පැවසිණ.
මාව ගුරු නිවාසයෙන් දමා ගෙන ලොකු තාත්තා, දසුන් හා මුණිවර ඔවුන් ගේ ගෙදර යනු පිණිස අපි පිටත් වීමු. එතකොට මධ්‍යම රාත්‍රිය උදා වන්නට හෝරාවක් පමණ තිබෙන්නට ඇත. ගුරු නිවස මිදුලේ විදුලි පහන දැල්වී තිබිණ. මා සමග ලොකු තාත්තා ද රියෙන් බැස ගත්තේ ය.
“මං ඉස්කෝලෙ මහත්තයට දුවව බාර දීල එන්නංකො”
නමුත් මා රියෙහි වටයෙන් ඉදිරියට පැමිණෙන විට මුණිවර ද ඉන් බසිමින් සිටියේ ය. අඩ අඳුරේ අපේ ඇස් අප ව හඳුනා ගන්නට වූයේ ය. පිය ගැට කිහිපය නැගෙත්දී මගේ වමතේ සුලැඟිල්ලේ මුණිවර ගේ අතැඟිල්ලක් යන්තමින් ස්පර්ශ වූයේ ය. නමුත් ඒ මුළු අතම සීතලින් ගල් වී ගියා සේ මට දැනිණ.
රිය හඬ කල් ඇතිව ඇසීම නිසා දෝ දොර සීනුව හැඬවීමට කලින් ම අප්පච්චි දොර හැරියේ ය.
“සර්..නින්දත් කැඩෙන්න ඇති නේද…”
මුණිවර දැඩි ගුරු ගර්වයෙන් යුතුව විමසුවේ මට ඔහු ගේ අතක එල්ලෙන්නට තරම් සිතිවිල්ලක් උපද්දමිනි.
“අනේ ලොකු නින්දක් ගියෙ නෑ දරුවො. වැඩ ටික ඉවරද…”
“අපි මේ දරුවව බාර දීල යන්න ආව ඉස්කෝලෙ මහත්තයො”
ලොකු තාත්තා මගේ උරයක් පිටුපස අතක් තබමින් මා අප්පච්චි වෙතට කළේ ය.
“අපි හිතුව තව රෑ වෙයි කියල”
අම්මා ගේ මුහුණ අප්පච්චි ගේ උරයට පිටුපසින් එබුණේ ය.
“ගෙට එන්න එහෙනං. මං තේ ටිකක් ලෑස්ති කරන්නං”
“එපා එපා. කරදර වෙන්න ඕන නෑ මේ රෑ. කොහොමත් අපි දැං කෝපි බීල ඉන්නෙ. දැන් නිදාගෙන පාන්දර අවදි වෙන්නත් ඕනනෙ”
“හොඳයි හොඳයි එහෙනං. පරිස්සමට යන්නකො”
ඔවුන් ආපසු හැරෙත්දී නැවත ද අපේ ඇස් හමු විය.
“උදේට මාවත් අරං යන්න..”
මම සිනහවකින් කීවෙමි.
මහන්සියක් නො දැනෙන්නේ ඇයි දැයි මට තේරුණේ නැත. ඇඳට වැටුණාට නින්දක් ළඟ පාතක වූයේ ද නැත. නංගී තද නින්දක පසු වන බව, ඇය හයියෙන් හුස්ම ගන්නා හඬ අනුව සිතා ගත හැකි විය. “ගෙදර ආව” යන පණිවිඩය දුරකතනය මා වෙත ගෙන ආවේ ය. මම එය පපුව මත තුරුලු කර ගෙන ම ඇස් දෙක පියා ගතිමි. දෙතොල් මත මන්දස්මිතයක් උපදනා මතක බොහොමයක් සිත ළඟ එහෙ මෙහෙ වෙමින් තිබිණ. නින්ද ගියේ කොයි වෙලේදැයි නො දැන සිටිය ද මම ළහිරු මඬලත් සමග ම පිබිදියෙමි. ගුරු නිවාස මිදුලේ සමන් පිච්ච ද වතුසුදු ද ගාලට පිපී තිබුණේ ය. මම වට්ටි දෙකක් පිරෙන්නට මල් කඩා ගතිමි. මුණිවර ලා පැමිණෙන විටත් මා යන්නට සූදානම් ව අවසාන ය. ඔහු දෑස් පුරා මා දැක ගත්තා යි සිතමි.
“අපි එන්නංකො පුතා හවසට”
අප්පච්චි මා රියට ගොඩ වෙත්දී කියනවා ඇසුණේ ය.
මම මල් වැල් ගෙතුවෙමි. උදේ පිපුණ මලක ශාන්තිදායක සුවය හිත තුළ විය. ඒ මල් වැල් පිරිත් මණ්ඩපය තුළ මා හා දසුන් එල්ලමින් සිටියදී මුණිවර පිටතට ගොස් නැවත ආවේ ය. මා ඔහු ගේ මව හා බාල නැගණිය ව මුල් වරට දුටුවේ ඒ වෙලාවේ ය.
සුදට හුරු ඔසරියක් හැඳ රිදී පැහැති හවඩියක් නෙරියේ ගවසා කොණ්ඩය ගෙල මුලට ගෙඩියක් සේ ගැට ගසා උන් අම්මා සුදු හීන්දෑරි තැනැත්තියකි. මා ඇදෙස බලා සිටියා වැඩි ද කියා දැනුණේ ඇය මවෙත විත් සිනහ වී කතා කරත්දී ය.
“මන්දාකිණී නේද දුව..”
මම යටි තොල් පට සපා ගෙන සිනහ වෙමින් හිස ඉහල පහල වැනුවෙමි.
“මං මුණිවරගෙ අම්ම. අර පොඩි නංගි. ඔයා විදුනිගෙනං යාළුවෙක්ලුනෙ”
මම ගොතමින් උන් මල් වැල පසෙක තබා ඔවුන් ගේ කොපුල් සිප ගනිමින් හඳුනා ගැනීම ට ආදරය කැටි කළෙමි. අම්මා ද තරමක් වැඩිපුර මා දෙස බලමින් මා නිරීක්ෂණය කළා කියා සිතමි.
පොඩි නංගී පේරාදෙණිය සරසවියේ කලා අංශයේ පළමු වසරේ සිසුවියකි. ඇය විදුනි තරම් මිත්‍රශීලී නොවන ලැජ්ජාශීලී යුවතියකි. අම්මා ගේ ඇඟේ ම දැවටී ගෙන සිටියා ය. නමුත් මා දකින හැම වතාවකම මදෙස බලා සිටි ඕ සිනහවකින් මුව සරසා ගත්තා ය.
එදා වැඩ කටයුතු බහුල වූයේ ය. පසු දා උදේ සාංඝික දානමය කටයුත්තක් ද තිබුණ නිසාවෙනි. ධාරා ද විදුනි ද තව ටික වෙලාවකින් එහි පැමිණ සිටියහ. ඔවුන් හැම කෙනෙකු ගේ ම වැඩියෙන් හොඳ මිතුරිය ගේ භූමිකාව රඟන්නට මට සිදු ව තිබිණි. විදුනි සේ ම ධාරා ද මා අස දැවටුණහ. අපට කතා කරන්නටත් සිනහ වෙන්නටත් අපමණ මාතෘකා තිබිණ.
“හිත හොඳ ගෑනි හැමදාම බඩිං කියල කතාවක් අහල තියෙනවද උඹ..”
මා ළඟින් සිටි වෙලාවක දසුන් මුණිවර ගෙන් එසේ විමසී ය. මට ඔහු කීවෙහි අරුත් වැටහුණේ නැත.
“හැමෝගෙම හිත් සතුටු කරන්න ගියාම අපිට අපේ සතුටට ලං වෙන්න බැරි වෙන්න හේතු හැදෙනව. ඇයි ඉතිං අරය ට දුක හිතෙයි මෙයා මොනාත් හිතයි වගේ දේවල් හිතනවනෙ”
ඔහු එය කීවේ මා ඉලක්ක කොට බව මට දැනුණේ පසුව ය. ධාරා ගේ හිත රිදවන්නට බැරි කමට මා මුණිවර ට ලං නොවී සිටිතැයි දසුන් අනුමාන කරන්නට ඇත. ඇතැම් විට ඔහු කෙලින් ම මේ ගැන මුණිවර සමග කතා කොට තිබුණා ද විය හැක.
පිරිතට අදාල සියලු පූර්ව වැඩ කටුයුතු නිමා වීමෙන් පස්සේ මම ලොකු තාත්තා සමග ගෙදර ගියෙමි.
“ආයෙ එනව නේද..”
මුණිවර ගේ අම්මා මා ස්කූටියට නැගෙන්නට පෙර මවෙත විත් විමසුවා ය.
“නංගි මේ මොනා කියනවද…මේ කෙල්ල ආවෙ නැති වුණොත් අපි පිරිත කැන්සල් කරනව”
“අනේ ලොකු තාත්ත හරි නරකයි. මාව විහිළුවක් කරං”
“මොන විහිළුද දරුවො…අපේ ජීවිත එක තප්පරේකදි වෙනස් කරන්න පුළුවන් අය ඉඳහිට අපිට හම්බ වෙනව. දුවත් එහෙම කෙනෙක්”
ඒ වචන ටික කීවේ අප්පච්චි තරම් පත පොත උගත් මිනිසෙකු නොවේ. පැල්පොල පැරණි ව්‍යාපාරික පරපුරක එක්තරා පුරුකකි. නමුත් පපුව හිර වී ඇස් වලට කඳුළු පුරා එනවා මට දැනිණ. මේ හැම දේම මෙසේ සිදු වූයේ මුණිවර කෙරේ මා තුළ ඇති වූ උමතුව නිසාවෙනි. එය ප්‍රේමය බව පසු ව මම වටහා ගතිමි. ඒ ප්‍රේමය ඔහු අරබයා පමණකුදු නොව ඔහු ගේ අය කෙරේද විහිදවිය හැක්කක් කියා නම් මට සිහිනයෙන් හෝ සිතී තිබුණේ නැත.