හේමන්ත සන්ධ්‍යා – 32

නිකිනි ට දැනුණේ සිය දෙපා මත රාත්තල් සිය ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. කෙසේ නමුත් ඕ ඒ දෙපා අද්ද අද්දා සෝෆාව වෙත පිවිසියා ය. කාන්දම් බලයකින් සේ ඇගේ ඇස් විදත් ගේ ඇස් වල ඇලී තිබුණේ ය. විදත් ගේ පිරිමි ඇස් වල දඩබ්බර හිතුවක්කාර බවක් විය. ඒ හරියට උසස් පෙළ පෙම්වතෙකු ගේ බඳු දෑසකි. 

“ආ… නිකිනි නැගිට්ටද…උදේටවත් දවල්ටවත් කෑම නොකා හිසරදේ කියල ඇඳ බදං හිටියෙ. මං මේ තව ටිකක් බලල ඩොක්ටර් ළඟට එක්කං යන්නයි හිටියෙ…”

සුමනා ඔබේසේකර එසේ කීවේ නිකිනි ට ද නැත්නම් විදත් ට ද කියා නිකිනි ට නම් සිතා ගත හැකි වූයේ නැත.

“මේ විදත් අංකල් ගිය පයින් ආපහු ලංකාවට ඇවිත්. ඔයාගෙයි මංජුලගෙයි අතරෙ එයා නිසා ප්‍රශ්නයක් ඇති වෙලා නිසා”

නිකිනි නැවතත් විදත් දෙස බැලුවා ය. ඔහු එක එල්ලේ ඇගේ ඇස් අල්ලා ගත්තේ ය. එහි වූ මඳහස නිකිනි ගේ ගිලන් හිත ඇසිල්ලකින් සුවපත් කරන්නක් වූයේ ය.

“මංජුල ඇවිත් රණ්ඩු කරල ගියා. ඩිවෝස් එක දෙන්නෑ කියල ත්‍රෙට් කළා. මට වැඩියත්ම බය ලෙඩ ගානෙ ඉඳගෙනත් ඩෙස්මන් මේකට නරක විදිහට ඉන්වෝල්ව් වෙලා නිසයි. අනේ මන්දා ළමයො මේ ප්‍රශ්න කොහෙන් කොහොම කෙළවර වෙයිද කියල…”

සුමනා සිය හදවතේ වන සාත්ශය සංවේගය වචන වලට පෙරලන්නට පවා නො දැන සිටියෙන් එය සුසමක් කොට පිට කොට හැරියා ය.

“ආන්ටි වොරි වෙන්න එපා. අපි මේක විසඳ ගමුකො…ම්…”

“එක අතකට පුතා මේ ප්‍රශ්නෙ නිසා ම ආයෙ මේ වගේ කැප කිරීමක් කරං ආපු එකනං ලොකු දෙයක්. අපේ ජගතුයි මිත්‍රයි දෙන්නම ඉන්නෙ නිකිනි ට ඒ මනුස්සයත් එක්ක ඉන්න බැරිනං ඩිවෝස් වෙන්නයි කියන තැනනෙ. ජගත් වයිෆ් ගියාට පස්සෙ ආයෙ මැරි කළේ නෑ. මිත්‍රට කවදාවත් මැරි කරන ඕන කමක් තිබුණෙ නෑ. ඒ ගොල්ලන්ට ෆැමිලි ලයිෆ් එකක් මොන සැක්‍රිෆයිස් එක කරල හරි රැක ගන්න ඕනයි කියන එක තේරෙන්නෙ නෑ”

නිකිනි බිම බලා ගෙන සිටියා ය. මේ විදිහට ලෙඩෙක් වාගේ, අවුල් වූ හිස කේ වලින් ද මළානික ව ගිය නෙතින් ද විදත් අභිමුවට එන්නට වීම ගැන ඈ සිත් හි ඉසිහින් සංකා හැඟීමක් එහෙ මෙහෙ වේ. නමුත් ඔහු ගේ ඈස් වරින් වර ඈ මත පතිත වෙමින් ද ඇගේ ඒ අව්‍යාජ ස්වභාවිකත්වය සිත සේ විඳිමින් ද තිබිණි.

“මං බලන්නංකො පුතාට තේ ටිකක් ලෑස්ති කරන්න. පුතා නිකිනි එක්ක කතා කරන්නකො එහෙනං…”

කියමින් සුමනා නැගිට ගත්තා ය. ඇගේ පිය හඬ තුනී වී යත්දී නිකිනි හෙමි හෙමිහිට නෙතු එසවූවා ය. ඇගේ ඇස් විදත් මත පතිත වෙත්දී ත් ඔහු ගේ තුරුණු පෙම්වත් දෑස් ඈ වසා ඈ මත පායා තිබිණ. තත්පර කිහිපයක් නො වෙනස් ව ඒ බැල්ම එක රේඛාවක එක මත පතිත ව තිබිණ.

“මංජුල ඇවිත් රණ්ඩු කරපු නිසා ද ඔය හෙඩ් ඒක් එක…”

ඔහු මුළුමනින් ම ඈ ග්‍රහණය කර ගවිමින් ද, බන්ධනය කර ගනිමින් ද ඇස් වලට එබී ගෙන ප්‍රශ්න කළේ ය. මේ මොහොතේ දී විදත් අසුනේ මඳක් ඉදිරියට නැඹුරු වී නිකිනි කෙරේ බලපෑම වඩාත් හොඳින් දැනෙන්නට හරිමින් සිටියේ ය.

“ම්…ඒකද ඒකට හේතුව…”

ඒ අභියෝගයක් වග ඇගේ ගැහැනු ඉවට දැනිණ. අභියෝගයෙන් ඈ පරාජිත බව ද නිකිනි මැනවින් දැන සිටියා ය. ප්‍රශ්නය එය නොවේ. ඇගේ හිස රදයට හේතුව මංජුල ගේ තර්ජනය නොව විදත් ගෙන් තොරකුරක් නොමැති වීමය කියන කාරණය ඉඳුරා ඔහු දැන ගැනීමයි.

නිකිනි බිම බලා ගත්තා ය. විදත් ගේ පිරිමි පපුව තුළ මල් පෙරහරක් යන්නා බඳු නැවුම් මිහිරියාවක් විය. ගේ ඉදිරියෙන් මල් පෙරහරක් ගිය දිනෙක ඈ ව කර මත හිඳුවා ගෙන එය පෙන්වූ අවස්ථාවක් සිතුවම් පටක රූප රාමුවක් සේ ඔහු ගේ මනස ඉදිරියේ ඇඳෙන්නට වූයේ ය.

“දැං ඉතිං මං ඉන්නවනෙ”

ඔහු ඒ වචන ටික කී රිද්මයෙහි තැවරී තිබූ ආදරණීය හෝ සුරක්ෂිත හැඟීම් දනවන සුළු බව නිසාවෙන් ඇයට නෙතු ඔසවා නො බලා සිටිය නො හැකි විය. විදත් ගේ පුළුල් පපුතර ට වාරු වී ඇස් යුග පියා ගෙන බෝ වෙලාවක් නිසල ව හිඳින්නට ඇත්නම් යන සිතිවිල්ල ඈ වට කොට යට කර ගන්නට වූයේ ය. එ් සිතිවිල්ල ම මහත් සිසිලැති සුවදායක හැඟීමක් ඈ තුළ ජනිත කරන ලදී.

“මං ආවෙ මේ කොයි දේත් කෙළවරක් වෙන්න ඕනෙ කියන දේ හිතාගෙන. ආයෙ කවද කොහොම යන්න වෙයිද කියල දැංම මං හිතන්නෑ”

“ඇයි එනව කිව්වෙ නැත්තෙ…”

හදවතේ ගැඹුරේ ම වූ උත්තුංග හැඟීමක්, උගුර යටින් කෙඳිරිලි හඬකින් ඕ පිට කර ගත්තා ය. තදින් ඈ වැළඳ සිප ගන්නට උපන් සිතිවිල්ල ඔහු යටපත් කර ගත්තේ අසීරුවෙනි.

“ඔයාව මෙහෙම දකින්න…”

වචන වලින් පෙන්වන්නට බැරි තරම් ප්‍රේමයක් විදත් ගේ දෑස් මත තැවරී තිබුණේ ය. ඔහු අදහස් කළ දේ හරියට ම වැටහුණා දැයි නිකිනි ට නිනව් නැත. නමුත් ඇය ට ඔහු ව දැනිණ. ආත්ම ගණනක් තිස්සේ ඔහු මේ වගේ පිරිමියෙකු හොය හොයා හිටි බවට මතකයක් ඇගේ යටි හිතේ තිබී අලුත් වෙනවා දැනිණි.

“හප්පේ ඉතිං විදත් ආපු එකනං කොච්චර දෙයක්ද…හරියට අපි වෙනුවෙංම ආව වගෙයි දැනෙන්නෙ”

පාලිකා එසේ කියා ගෙන එතැනට ආවා ය. ඈ පසු පස බන්දෙසියක් අතින් ගත් සදිසා වූවා ය.

“තේ ටිකක් බොන්න කලින් කන්න පෑන් කේක් ටිකක් හදුව. අපේ සදිසා තමයි හැදුවෙ. කාල බලන්නකො රසද කියල”

සදිසා බන්දේසිය විදත් වෙත පෑවා ය.

“අයියෝ කරදර වෙලානෙ”

“මොන කරදරයක්ද විදත්…අපිට ඔයාගෙං ඔයිට වඩා ගොඩක් උදව් ඕන වෙයි. කන්න එකක්”

විදත් පෑන් කේක් එකක් අතට ගත්තේ නිකිනි දෙස බලා ගෙන ය. ඇය හෙමිහිට බිම බැලුවා ය.

“සදිසා එහෙනං විදත් අයිය එක්ක කතා කර ගන්නකො. මං ටක් ගාල තේ හදං එන්නං”

පපුවට පිහි පහරක් වැදුණා සේ නිකිනි ට දැනුණේ ය. සිනහ වෙන්නට හිතන හැම තැනක ම මලක් සේ කඳුළක් පිපෙන්නේ ඇයි දැයි ඇය දන්නේ නැත. කෙසේ නමුත් ඕ අසුනෙන් නැගී සිටියා ය. විදත් ගේ ඇස් බැල්ම ඇගෙන් යමක් අයැද සිටින්නට විය. නමුත් නිකිනි ඔහු දෙස නො බලන්නට ප්‍රවේසම් වූවා ය.

“මං රූම් එකට යනව”

යන්තම් එසේ කී ඕ පිය ගැට දෙක තුනක් හෙමිහිට නැග ඉතිරි දුර දිව ගෙන ගියා ය.පොත් හලට නො ගියේ අපරාදේ යි ඇය ට සිතිණ. 

විදත් සුසුමක් හෙළුවේ ය. හීන් සංකා හැඟීමක් ඔහු තුළ දලු ලන්නට විය.

පාලිකා වදයෙන් පොරයෙන් රෑ කෑමට ද විදත් ව නතර කර ගත්තා ය. පහළ මාලයේ සිනා කතා හඬවල් නිකිනි ට හොඳට ම ඇසුණේ ය. ඇය ගිලන් වූ සිතින් කාමරයට වැදී ගෙන සිටියා ය. උදේ සිට පැවතියා වූ හිසරදය ඇය ට මේ මොහොතේ ආශිර්වාදයක් වූයේ ය. 

නමුත් නිකිනි කාමරයට ගිය කාරණය විදත් නම් දැන සිටියේ ය. ඔහු කෙටි පණිවිඩ කුනක් ම ඇය ට යැව්වේ ය.

“ඇයි පහළට එන්නැත්තෙ…”

ඇය එය දුටුවත් පිළිතුරක් නො එවන්නට මුරණ්ඩු වූවා ය. ආදරයේ ඊර්ෂ්‍යාවෙන් ඕ හළු වෙමින් සිටියා ය.

“අසනීපයිනං ඩොක්ටර් ළඟට යමු”

ඒ දෙවන පණිවිඩය දෙසත් ඕ වරක් බැලුවා පමණකි. තවත් ටික වෙලාවකින් තුන් වන පණිවිඩය ද ආවේ ය.

“ඔයා පහළට එන්නැත්තං මං උඩට එනව”

නිකිනි ගේ සිත් හි ගැස්මක් ඇති විය. ඒ වුණත් ඒ තරම් හපන් කමක් ඔහු ට කළ නො හැකි බව ඇය දැන සිටියා ය. විසි වසකටත් වැඩි කාලයක් තිස්සේ හද නිධානයෙහි සඟවා ගෙන සිටි ඔහු කෙරේ ප්‍රේමය, ඇය පොළොවේ පස් යට වැළලී යන තුරු ම ඔහේ තිබුණාවේ යි ඇය සිතුවා ය. ඒ වුණත් ඇගේ උගුර රිදිණි. ඇයටත් නො දැනී හිස කේ අතරේ කඳුළු සැඟවී ගියේ ය. 

පිය ගැට පෙළ නැග එන පිය හඬවල් ද පිරිමි සිනහ හඬවල් ද කාමරයේ සිටි නිකිනි ට ඇසුණේ ය. ඇය තිගැස්මෙන් යුතු ව සවන් පෑවා ය. තවත් ටික වෙලාවකින් දොර ඉදිරියේ සහස් ගේ හඬ ඇසුණේ ය.

“අක්කා”

හදවත ගැස්ම ඒ තරම් වැඩි විය හැකි යයි නිකිනි මීට පෙර නො දැන සිටියා ය. සිය රහසිගත ප්‍රේමය පිළිබඳව සහස් සියල්ල දන්නේ ය. එහෙව් එකේ ඔහු විදත් ව සිය කාමරයට කැටිව ආවේ දැයි ඈ තුළ නො රිස්සුමක් ද ඇති නොවුණා නොවේ. නමුත් දොර පාමුල සිටියේ සහස් පමණකි. ඔහු ඈ විනිවිද එක බැල්මක් හෙළුවේ  ය. ඊළඟට  දෙතොල් සිනහවකට ඇද කළේ ය.

“ඇයි…”

නො රිස්සුම නිකිනි ගේ හඬෙහි තැවරී තිබිණ.

“නෑ….නිකං…අසනීපයි කිව්වට බැලුවෙ”

“ඉතිං එහෙනං පල් එකට වගේ හිනා වෙන්නෙ…”

“නෑ…”

සහස් ට තව දුරටත් ඒ සිනහව ගිල ගන්නට බැරි විය. නිකිනි ඔහු ගේ කනක් අල්ලා මිරිකුවා ය.

“එන්නකො”

“බෑ මල්ලා. මට පහළට එන්න බෑ”

“පහළට නෙවෙයි. යං ටෙරස් එකට”

ඇය ප්‍රතිචාර දක්වන්නට පෙර සහස් නිකිනි ගේ අතක් දැඩි ව අල්ලා ටෙරස් එක වෙතට ඈ ඇද ගෙන ගියේ ය. සමන් පිච්ච මල් වැල් පහලට එල්ලෙන බැම්ම ළඟ අත් දෙක පපුවෙහි බැඳ ගෙන විදත් පහළ තණ බිම දෙස බලා උන්නේ ය. ඇස් පිය නො හෙළා ඒ රුව දෙස බලා සිටීමේ ආශාවක් නිකිනි ට නො දැනුණා නොවේ. නමුත් සහස් ගේ කනට කොඳුරා ඇය කීවේ වෙන කතාවකි.

“පිස්සුද ඔයාට…මෙයා මොනා හිතයිද…”

“මොනා හිතන්නද…අපි නිකං කතා කරනවනෙ”

විදත් හැරී ඇදෙස බැලුවේ නව යෞවනයෙකු ගේ ප්‍රේමය තැවරී ගත් ඇස් දෙකකිනි. නිකිනි ගේ කඳුළු දෑස් හි තෙත පාට ඔහු ට දැනුණේ ය. ඒ ඇස් මත තැවරී තිබූ ප්‍රේමයේ නෝක්කාඩුව ඔහු හැඳින්නේ ය. හෙමිහිට ළඟට ගෙන ඒ හිස් මුදුන සිප ගන්නට තිබුණා නම් ඔහු ඒ ගැන දෙවරක් නො සිතනු ඇත. නමුත් සහස් බාධකයක් ව රැඳී සිටියේ ය. 

“විදත් අයිය මෙච්චර දුරක් ගෙවාගෙන බර වියදමක් දරා ගෙන මේ ඇවිත් තියෙන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙ විසඳල යන්න. ඉතිං ඔයා රූම් එකට රිංගං ඉඳල හරියන්නෙ නෑනෙ”

නිකිනි මුව මඳහසක් පෑවා ය. 

“මේ…මං විනාඩියෙං වොශ් එකක් දාං එන්නද…”

නිකිනි හැරී බලන්නටත් පෙර සහස් සිය කාමරය දෙසට යමින් සිටියේ ය. නිකිනි තොල් පට සපා ගත්තා ය. විදත් හෙමි හෙමිහිට ඇයට සමීප වූයේ ය. පපුවෙහි රිදුමක් ඇය අත් වින්දා ය.

“මං ගැන එච්චර වද වෙන්න එපා. වෙන්න තියන දෙයක් මට වෙයි. ඉන්න බැරි නං මැරිල ගියාවෙ. දාල යන්න බැරි කෙනෙක්වත්…මං ගියා කියල අඬන්න කෙනෙක්වත් මට නෑ”

නිකිනි ට එකෙනෙහි හැඬිණ. විදත් මහත් වූ හැඟීමකින් ඇගේ හිස් මුදුනෙහි අතක් තැබුවේ ය. තවත් වාවා ගන්නට  අපොහොසත් වූ නිකිනි  දෝතෙහි මුව ඔබා ගත්තා ය.

“මං වද වෙනව. කරන්න පුළුවන් ඕන දෙයක් මං කරනව. බැරි දෙයක් වුණත් කරනව. ඔයාට එහෙම ලේසියෙං දාල යන්න බෑ නිකිනි. දාල යන්න බැරි අය ඉන්නව. ඒක ඔයාගෙ හිත දන්නව. ඔයාට එහෙම කරන්න පුළුවන් වුණත් මං දාල යන්න දෙන්නෙ නෑ. අන්න ඒක හොඳට මතක තියා ගන්න”

ඒ හඬෙහි ආදරයේ මෘදු බව සේ ම දැඩි බව ද නො අඩුව තිබුණේ ය. නිකිනි ඇස් දෙක තද කොට පියා ගත්තා ය.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles