අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය කටුක වූ අතීතය ගැන සිහි කරද්දී ඒ මොහොතේ අපව අතනෑර ළඟ සිටි සුන්දර තරුණයන් පිරිස ගැන ලියා තැබිය යුතුම බව මට සිතුණා.මේ කතාව අවසානය දක්වා මා මවක් සහෝදරියක් සේ දරා ගත් ඔවුන් වෙනුවෙන් වචනයක් නොලියා හිඳීම මනුෂ්‍යත්වයට කරන කැළැලක්.
සුදාරක ට සිදුවූ දේ මා තරමටම කම්පනයකින් ඔහුගේ කාර්ය මණ්ඩලය ද දරා ගත්තා.සාමාන්‍යයෙන් ඔවුන්ගේ රැකියාව අනුව ජේෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් අතර විශාල පරතරයක් පවතිනවා.නමුත් සුධාරකට එසේ වූයේ නැහැ.ඔහුගේ කණිෂ්ටයන් සහ ඔහු අතර ඉතා හොඳ බැඳීමක් තිබුණා.ඒ නිසාම ඔවුන් ද සිටියේ කම්පනයකින්.
රෝහලෙන් කළ හැකි සියල්ල කරද්දී අපි අපේ ආගම අනුව නොයෙකුත් දේවල් කරමින් සිටියා.එය ආගමට පමණක් ලඝු වූයේ ද නැහැ.ඒ දිනවල මා සිටියේ අනුරාධපුරයේ නිසා නොයෙකුත් පූජා ආදිය ගැන මට අසන්නටත් ලැබුණා.එතරම් ජනප්‍රිය නැති නමුත් සිතන්නටවත් නොහැකි තරම් බලගතු සමහර ගුප්ත ශාස්ත්‍රවේදීන් මට හමු වූ කාලයක් ඒ.තවදුරටත් සිදු වීමට දෙයක් තිබුණේ නැහැ.මම බිත්තියටම තදවී තිබු කාලයක් ඒ.ඒ නිසයි පවසන සියල්ලම කරන්නට මම කටයුතු කළා.මම මට කිසිසේත්ම නොහැකි දෙයක් පවා ඔහුගේ ජීවිතය වෙනුවෙන් කරමින් සිටි කාලයක් ගෙවෙමින් පැවතුණා.
සුදාරකගේ නෑදෑයින් අනුරාධපුරයට වී සිටියත් ඔවුන් සිටියේ ඔවුන්ගේ ලෝකවල.රුවන්වැලිසෑය පූජාවට මා සමඟ පැමිණ මළුවට වී දරුවාගේ ඔන්ලයින් පන්තියට සහභාගීවූ සහෝදරියක් ඔහුට සිටියේ.එක මොහොතක්වත් අයියා වෙනුවෙන් පහනක් දල්වන්නටවත් ඇය කටයුතු කළේ නැහැඑවැනි මොහොතක ඒ සියල්ලටම මා සමඟ සිටියේ ඔහුගේ කනිෂ්ඨ නිලධාරින්.
“ඔයගොල්ලොත් කාලා නෑ නේද?”
කුසගින්නේ එහෙ මෙහෙ දුවන අතර මම ඔවුන්ගෙන් වෙලාවකට එසේ අසනවා.තදින් බඩගින්න දැනෙන තරුණ වයසේ සිටින ඔවුන් මඳ සිනාවක් නගමින් මාද හිඳින්නේ කුසගින්නේ නොවේදැයි මගෙන් පෙරලා ප්‍රශ්න කරනවා.
මා සමග ඕනෑම මොහොතක ඕනෑම තැනකට ඒමට සූදානමින් සියලුම දේ දරාගන්නට ශක්තියක් වෙමින් මා සමඟ රැඳුණු ඔවුන් ඒ මොහොතේ නොසිටියා නම් සමහරවිට මට ඒ දේවල් මේ තරම් හොඳින් දරාගන්නට නොහැකි වෙන්නටත් ඉඩ තිබුණා.
“අද හවසට පාට වර්ග හතක මල් හොයාගෙන මේ පූජාව කරන්න.පළතුරු යුෂ වර්ග හතක් අවශ්‍යයි.”
එවැනි පණිවිඩ ලැබුණු වහා මටත් පෙර ක්‍රියාත්මක වුණේ ඔවුන්.ඒ මල් ඔවුන් කොහෙන් සොයාගෙන ආවාදැයි මා අදටවත් දන්නේ නැහැ.තමන්ගේ පියාට සමාන ජේෂ්ඨයා වෙනුවෙන් රට පීරා හෝ ඒ කටයුතු කරන්නට ඔවුන් සූදානමෙන් සිටි බව පමණක් මම දන්නවා.
අප කරන යහපත් දේවල් හැම මොහොතකදීම පෙරළා අපට ලැබෙනවා.තරුණයන්ගේ අතිශය පෞද්ගලික ගැටලුවල දී පවා ලඟ හිඳීම,ඔවුන්ව දරා ගැනීම නිසා ඔවුන් සුධාරක වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන්නට ඇති.ඔවුන් පමණක් නෙවෙයි.සේවයෙන් විශ්‍රාම ලැබුවන් පවා මේ ආරංචිය අසා අපට උදව් වන්නට පැමිණියා.මේ මොහොතේ සුදාරකගේ ජීවිතය වෙනුවෙන් අප කළ හැකි සියල්ලම කරමින් සිටියා.
කළ්‍යාණ මිත්‍ර ඇසුර හෝ ඒ මොහොතේ ලබන්නට තරම් මම වාසනාවන්ත වීම ගැන මට ඇත්තේ සැනසීමක්.