හසරැලි වැස්ස – 31

මම දුරකථනය විසන්ධි කළෙමි.දෙනෙත්ගේ කර්කශ වචන දරා ගන්නට සවියක් මා තුළ ඉතිරි නැත.මට මා ඇවිලවූ ගින්නෙන් මා දැවී යන බව දැනේ.උසුළාගත නොහැකි වේදනාව ද ලැජ්ජාව ද මා අසරණ කරමින් තිබිණ.

“දෙනෙත් කියන එකා හසරැලිව කඳුලැලි කරනවා..”

යෙත්මිගේ වචන මට දෙසවන් හි දෝකාංර නැගේ.මම මාවත දිග ඉදිරියටම ඇවිද ගියෙමි.යෙත්මිට හෝ උවනිට අමතා ඒ නිවසකට යන්නට මට සිතිණ.කොහොමටත් තවත් සුළු මොහොතකින් දෙනෙත් අපේ නිවසට පැමිණීම අනිවාර්යය දෙයකි.එතැනින් පසු උදා වන ගින්න මට දැරිය හැකි නොවන බව මම දනිමි.

“හැමතිස්සෙම තමන්ට ලැබෙන ප්‍රතිඵලේ උහුලා ගන්න පුලුවන් තරමේ දේවල් කරන්න.ලැබෙන ප්‍රතිඵල තමන්ටම දරා ගන්න බැරිනම් ඒකට අනිත් අයගෙ ප්‍රතිචාර අන්තිම නරක වෙන්න පුලුවන්.දෙයක් කරන්න කලින් හිතන්න උවමනා අන්න ඒකයි..”

නසරානි වැඩක යෙදුණු උසස්පෙළ විද්‍යා පන්තියේ කෙලි රොත්තට විදුහල්පතිනිය කී කතාවක් මට සිහි වේ.ඈ දුන් සමහර අවවාද මම ඉහමුදුනත තබා පිළි ගන්නට හුරුව සිටියෙමි.ප්‍රේමය අන්ධකාරයක ජීවිත හෙළන බව සත්‍යයකි.මා හිඳින්නේ ඒ අන්ධකාරයේ ය.

මට තාත්තාට අමතන්නට සිත් විණ.දියණියකගේ සුළු වෙනසක් වුව ද තාත්තා අම්මාට කලින් ග්‍රහණය කර ගන්නා බව මගේ මිතුරියන් නිතර පවසන දෙයකි.

“කෙමෙස්ට්‍රි පේපර් එක නාගෙන සබනුත් ගාගෙන ගෙදර ගියාම තාත්තා කිව්වෙ එක දෙයයි.ඔය එක්සෑම් එක තුන්පාරක් ලියන්න පුලුවන් එකක් අක්කි..ඔයා මූණ සතපහ කරන් හිටියට එක ලකුණක්වත් වැඩි වෙන්නේ නෑ..ඕක ඇහුවම ස්ට්‍රෙස් කැලේ..”

යෙත්මි ඇයට බොහෝ අසීරු වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන එසේ කියමින් තවමත් හිනැහේ.තාත්තා මා සමඟ සිටියේ නම් මේ ප්‍රශ්නයට ඔහු වඩාත් සරල විසඳුමක් සොයා නොදේවිදැයි මට සිතිණ.මා ඔහුට ඇමතුවේ අවසන් බලාපොරොත්තුව වෙනුවෙනි.

දුරකථනය කිහිපවරක් නාද විණ.තාත්තා එයට නොඇමතී ය.

“චූටි දූ,මම බිසි.I’ll call you later”

ඉනික්බිති එසේ කෙටි පණිවිඩයක් පැමිණියේ ය.

මට කෝපයක් දැනුණේ අම්මා සමඟ ය.ඇය තාත්තාට ප්‍රේම නොකරන නිසාම ඔහු අප සමඟ රඳවා ගැනීමේ කැමැත්තක් නොවේ.තාත්තා රැකියාව කරන රටට පදිංචියට යාමට පවා තාත්තා ගෙනෙන යෝජනා ඈ ප්‍රතික්ෂේප කළේ කිසිම තෙතක් නැති හිතකිනි.

“ඔය නොදන්න රටවල ඉන්නවට වඩා දන්න කියන හුළඟ හරි තියන මේ රට සැපයි..”

ඇය කියන්නේ එහෙම ය.

දන්නා කියන සුළඟ ඈ සමඟ රඳවා ගත නොහැකි වූ ශෝකයෙන් ඈ අපට ද දැවෙන්නට ඉඩ හැරීම මේ සියලුම ගැටළු හට ගන්නට හේතුව ය.මම එසේ සිතුවෙමි.තාත්තාගේ පිළිසරණ ද අවැසිම මොහොතේ නොලැබෙද්දී මට කළ හැකි කිසිවක්ම තිබුණේ නැත.

“කොහෙද හසරැලි ඉන්නේ?”

අම්මාගේ ඒ ඇමතුම පැමිණියේ ඒ මොහොතේ ය.ඈ මට සූකිරි හෝ චූටි දූ නොකියා නම කියන්නේ ඉතා කෝපයෙන් පසුවන මොහොතක බව මම දැන සිටියෙමි.එනිසාම මම සිදුව ඇති දේ අනුමාන කළෙමි.පුස්තකාලයට ආ බව මා කියද්දී හැකි ඉක්මනින් ගෙදර එන්නට අණ ලැබිණ.

සිතා නොසිතා හෝ මාර්ග සංඥා අමතක කරන්නට මට සිත් වූයේ ඒ හඬ නිසා ය.සියල්ලම ලැබුණු ලෝකයේ ආදරය අහිමි දැරියක වීම ජීවිතාශාව මගෙන් තුරන් කරන්නට සමත්ව තිබිණ.

මම දෑස් පියාගෙන පාර පනින්නට තීරණය කළෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles