හිමගිරි අරණ -53

“මට රවිඳුව නැති වෙන්නයි යන්නේ.”

පාරමීගේ ඉකිබිඳුම් ස්වරය හිමාෂා දරා ගත්තේ අසීරුවෙනි.අහිමි වීමට හෝ ඔහු ඇයට හිමි වී සිටි බව සිතද්දී එය හිමාෂාට දරා ගැනීම අපහසු ය.ඇය වේදනාව අමතක කර පාරමීට සවන් දුන්නා ය.

“ඔයාලා දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයක් උනාද?”

හිමාෂා එසේ ඇසුවේ පාරමීට මේ මොහොතේ හොඳ අසන්නියක උවමනා බව වැටහුණු නිසා ය.ඇය හිඳින්නේ අප්‍රමාණ වේදනාවකින් හඬමිනි.පාරමීගේ හිස අතගා ඇය සනසවන තරම් උවමනාවක් හිමාෂාට ඇති විණ.

“මං ඔයාට කිව්වනෙ රවිඳුලගෙ ගෙදරටම ප්‍රපෝසල් එකක් යැව්ව කියලා.”

නින්ද අහිමි වෙමින් දින ගණනාවක්ම ගෙවී ගියේ ඒ කාරණාව හන්දා බව හිමාෂා දනියි.නමුත් ප්‍රේමය බලහත්කාරයෙන් අයත් කර ගන්නට නොහැකි දෙයක් බව ඇය හොඳින් දැන සිටියා ය. නීත්‍යානුකූලව ඇය හිමිකරගත් සැමියා පවා වෙනතක බැඳෙන විට ඇය ඉවසා දරා ගත්තා ය.හද උපන් ඒකපාර්ශ්වික ආදරයක් එපමණකටත් වඩා දරා ගත යුතු බව ඇය දනියි.එනිසා ඉවසීමෙන් මේ කතාව අසා ගන්නට හිමාෂා සිත දැඩි කර ගන්නට වූවා ය.

“ඒක වෙන්නේ නෑ හිමාෂා.”

පාරමී හඬන්නී ය;අතොරක් නැතිව හඬන්නී ය.හිමාෂා නොසන්සුන්ව ඒ මේ අත ඇවිද්දා ය.ඒක පාර්ශවික ආදරයක උමතුවෙන් පැටලී ගත් කාලයේම මෙවැනි හැඬුමකින් මේ කතාව අහවර වන්නට ඉඩ ඇතැයි පාරමීට අනතුරු ඇඟවූ අන්දම ඇය සිහි කළා ය.එය එපරිද්දෙන් ම සිදු වී ඇති හැඩකි.

“ඔයාට මොනව හරි කිව්වද රවිඳු? ඒ ගැන මොනවහරි?”

හිමාෂා එසේ ඇසුවේ පාරමී නැවතනැවතත් ඉකි බිඳිද්දී ය.ප්‍රේමයක හිමිකම නැති වග දැනෙද්දී හැඬීමට පවා අමතකව යන දවසක් එන බව ඇය දන්නී ය.කිසිවකින් පලක් නොමැති බව සිතෙද්දී හිම මෙන් මිදී ගොස් හැඟීම් විරහිත ව ජීවත් වන කාලයක් ඇය පසු කළා ය.

නමුත් තවත් තරුණියක ඒ වේදනාවෙන් පැටලීම හිමාෂාට දරා ගන්නට අපහසු ය.ඇය ආදරය කරන තරුණයාට තමන්ද ආදරයෙන් බැඳී ඇති බව සිතද්දී පවා පාරමීට අනුකම්පා කිරීමෙන් වළකින්නට හිමාෂාට අසීරු විය.පාරමී පවසමින් හුන් සියල්ල අසා ඈ සැනසූ හිමාෂා කළ යුතු දේ ගැන සිතමින් ඔබමොබ සක්මන් කරන්නට වූවා ය.

“ආයේ සහන් කෑගහනවද?”

ඒ හඬ පැමිණියේ ඉතා සමීපයෙනි.මෙවැනි මොහොතක රවිඳු හුස්ම වැටෙන තරමේ දුරකින් රැඳීම පවා දරන්නට අපහසු නොවේදැයි හිමාෂා සිතුවා ය.ඔහු අත පොවන දුරකින් නොරඳන්නට සිතද්දී ඔහු හිඳින්නේ ඇසිපිය සලන මානයක ය.පාරමීගේ වේදනාව තවත් වැඩි වන්නට මේ බැඳීම හේතු වන බව හිමාෂාට විශ්වාස ය.ඇයට උවමනා ඒ වේදනාව පාරමීට දැනෙන්නට නොදීමට ය.

“පාරමී කතා කළා..”

හිමාෂාගේ බැල්මෙහි තියුණු බව දරාගන්නට බැරිව රවිඳු නිරුත්තර වූයේ ය.පාරමී ප්‍රතික්ෂේප වීමේ වේදනාව දරා ගන්නට නොහැකිව හිමාෂාගේ හිත රිදෙන මොනවා හෝ කියන්නට ඇති බව ඔහුට විස්වාසයක් ඉපදිණ.පාරමී දොස් කීවාදැයි අසන්නට රවිඳුට සිතුණේ ඒ නිසා ය.

“එයාගෙ හිතට මොකක්ම හරි බලාපොරොත්තුවක් දුන්නනම් කේන්දර ගැලපෙන්නේ නෑ කියලා ඒ ළමය අතාරින එක වැරදිනෙ”

මෙවැන්නක් සිදුවිය හැකි බව රවිඳු විශ්වාස කළේ ය.එය එපරිද්දෙන්ම සිදුවෙමින් පවතී.අම්මාට තවත් අම්මා කෙනෙකුගේ හදවත බිඳ දැමීමට උවමනා නොවූ බව පැවසිය යුතු වුවත් ඔහු හිමාෂා ඉදිරියේ වචන සොයා ගත නොහැකිව අසරණ වන්නට විය.

“පාරමීගේ යෝජනාවට අකමැතියි කියලා ඔයා හැමතිස්සෙම අපිට කිව්වා.අපිට නම් බොරු කරාට කමක් නැහැ.ඒත් පාරමී එක්ක මේ විදියට සෙල්ලම් කරපු එක වැරදි නැද්ද?”

පාරමීගෙන් අහඹු විවාහ යෝජනාවක් පැන නැඟුණු බවත් රවිඳුගේ කැමැත්ත විමසීමට ප්‍රථම අම්මා එයට අකැමති වූ අන්දම ද අවසානයේ කේන්දර නොගැළපීමක් පිටින් තබා පාරමීගේ යෝජනාව ඉවත දැමූ අන්දමද ගැන දිගු කතාවක් හිමාෂාට කියන්නට රවිඳුට තිබේ.නමුත් මේ මොහොතේ ඇය කිසිවක්ම අසන්නට සූදානම් නැති බව ඔහුට වැටහිණි.

ඇය හිඳින්නේ කෝපයෙනි!

ඒ කෝපයෙහි පාරමීට සිදුවූ අසාධාරණයට අමතර තවත් කුමන හෝ හේතුවක් තිබෙන්නට බැරිදැයි රවිඳුට සිතුණේ හදිසියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles