නම නොදන්නා කඳු පන්ති 2

0
5730

ඉතින් උඹ හැමදාම දැන් මෙහෙම ඉන්නද හිතන්නේ..

ඇප්ලිකේශන්  දෙක තුනක් මම දාලා තියෙනවා.ඒවට සමහරවිට කතා කරයි.

අවුරුදු ගාණක් තමන් ආදරය කරපු පිරිමියා වෙන ගෑනියෙක් එක්ක වෙලිලා ඉන්නවා දැක දැකත් මේ තරම් සැහැල්ලුවෙන් මම කතා කරන්නේ කොහොමද කියලා වචනයෙන් ඇහුවේ නැති වුණාට තාරුට එහෙම  හිතෙන්න ඇති.ඇහෙන් එක කඳුළක් බිම හෙලන්නෙ නැතුව හරියට ගල් පිළිමයක් වගේ මේ විදිහට ඉන්නේ කොහොමද කියලත් හිතෙන්න ඇති.   තමන්ගෙ දෙන්න තියෙන හැමදේම ලෝබ නැතුව දීපු මාව අමතක කරලා කේසර කිසිම දෙයක් නොවුනා වගේ ඇහැ කන පියාගෙන  යනකොට මේ විදිහට ඉවසගෙන දරාගෙන ඉන්නේ කොහොමද කියලා තාරුට හිතෙන්න ඇති.

තිරුවානි ගෙ  දුවනෙ වානි…. ඒ හින්දා ඉතින් කේසර ට ගැලවෙන්න බැරුව යන්න ඇති.
තාරු කිව්වෙ මගෙ හිත හදන්න බව මට තේරුනා.

කේසර පොඩි එකෙක් නෙමෙයි තාරු .. මටත් ගොඩක් දේවල් කියල දුන්නෙ කේසර. එහෙම කියලා මම තාරු දිහා  බලලා නක්කලේට වගේ හිනා උනහම තාරු තප්පර දහයක් විතර මං දිහා ගල් ගිල්ලා වගෙ බලං ඉදලා අමාරුවෙන් හිනා උනා.

වානි ගැන කෙසේ වෙතත් තිරුවානි ගැන නම් ලියන්න මට  ආස හිතුනා.  ඉස්සරහට එන කාන්තා දිනයට තිරුවානි  ගැන හොඳ ලිපියක් ලියන්න පුළුවන් කියල මට හිතුනා.  මනුස්සයා සුද්දෙක් වුණත්  දාලා ගියාට පස්සේ ළමයෙක් එක්ක ඒ ගෑනි මේ රටේ අතරමං වෙලා නේ. රස්සාවක් කරගන්න බැරි වෙන්න ඇති. කොහොම හරි ළමයව අනාථ කරන්නෙ නැතුව හරියට උගන්නන්න  ඕනේ වෙන්න ඇති .
ඒ හින්දා ඇඟ විකුණලා හරි ළමයව ජීවත් කරන්නම්  කියලා  හිතන්න ඇති.
තාරු කිව්වෙ හරියට දෙපැත්තක් හිතන්නේ නැතුවයි කියලයි මට හිතුනේ.

ඔය විස්තරේ අහං ඉද්දි  මට මතක් උනේ අපේ ගමේ සෙයිද නැන්දා ව. උන්දැගෙ මනුස්සයා රා මදින්න පොල් මල කපන්න අතුරෙන් යනකොට අතුරෙ එක වැල් පොටක් තරහකාරයෙක් කලින් දවසෙ රෑ කපල තිබිලා. ජේමිස් පොල් ගහෙන් වැටිලා මැරෙන කොට සෙයිදට ළමයි අට දෙනෙක් උන්නා . පොඩි එකාට  මං හිතන්නේ අවුරුද්දක් විතර ඇති.
සෙයිදා වතු ගානෙ  වැඩ කළා. පොල් ගස් වටේ පාත්ති කැපුවා. පොල් වලට පෝර දැම්මා. පොල් කඩන දවස් වලට වතුවල පොල් ඇහිඳින්න ගියා .පොල් අතු රැස්සා. පොල්පිති වික්කා .පොල්කොළ හැන්දෑවට ගෙදර ගෙනැල්ලා ඉරටු කුරුටු ගාලා කිලෝ ගානට වික්කා.පොල් අතු විව්වා.. ඒවා ගඩොල් පෝරනු කාරයින්ට වික්කා.නිකන් හිටපු වෙලාවක් නම් කවදාවත් තිබුණේ නැහැ.සමහර දවස් වලට වෙලවල් දිගේ බඩ ගෑවා වෙල් ගොටුකොළ හොයන්න. ගිරා පලා කඩන්න.
කුඹුරු වැඩ කාලෙට මිනිස්සුන්ගෙ කුඹුරුවල අත්තමට  වැඩ කරන්න ගියා. සෙයිදගෙ මිනිහා මැරෙනකොට  මං හිතන්නේ උන්දැට අවුරුදු තිස් පහකට වඩා නෑ..
ඒ උනාට කවදාවත් ගමේ කතාවක් අහපු ගෑනියෙක් නෙවෙයි. උඹ පුළුවන් නම් අන්න ඒ වගේ ගෑනියෙක් ගැන කාන්තා දිනයට ලිපියක් ලියපන්. නැතුව මේ ඔරලෝසු කටුව කැරකිච්ච  ගමං රෙද්ද උස්සන්න බලාගෙන ඉන්න අම්මන්ඩිලා ගැන නෙමෙයි.

මං එහෙම කිව්වම තාරු හිනාඋනා.
මට පස්සේ හිතුනා මම කතා කළා සැර වැඩියි කියලා. වානි ගැන ඇත්තටම මගේ හිතේ තිබුණේ ප්‍රසාදයක් නෙමෙයි.මොනතරම් පණ්ඩිත විදිහට මට දැන් කිසි කෙනෙක් එක්ක තරහ හිතෙන්නේ නෑ කියල කිව්වට හිත ඇතුලෙන් ඇත්තටම මගේ ඇඟ ඇතුලෙත් ජීවත් වුණේ සාම්ප්‍රදායික ගෑනියෙක් ම තමයි. සමහරවිට වෙන වෙලාවක ඔය කතාව සිද්ද වුනා නම් තිරුවානි ගේ ජීවිත කතාව සාධාරණීකරණය කරන්න ඕන තරම් සාධක අරගෙන මම කතා කරයි. ඒ උනාට මම දැන් ඉන්න  තත්වයත් එක්ක  තිරුවානි වගේම  වානි ගැන හිතුනෙත් ලොකූ තරහක් .. අප්පිරියාවක්..

දාලා තිබුණු අයදුම්  පත්‍ර දෙක තුනකටම කතා කරලා තිබුණා.ඒ හැම සම්මුඛ සාකච්ඡාවකට මම සහභාගී වුණහම මට තේරුන එකම දේ දන්න කියන කවුරුහරි ඉන්නවනම් රස්සාවට තේරෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කියන එකයි.  කේසර ට කිව්වනං එකපාරින්ම රස්සාව හදාගන්න පුළුවන් කම මම දැනගෙන හිටියත් මේ විදිහට මාව ගන්ධබ්බ ලෝකයක අතහැරලා ගිහිල්ලා කිසිම දෙයක් නොවුණු විදියට නිහඬ වෙලාම ගිය පුද්ගලයෙකුට ආපහු කතා කරන්න මගෙ හිත කොහොමත් ඉඩ දුන්නේ නැහැ.ඒ උනාට කොයියම්ම වෙලාවක හරි කේසර මගේ මුණ  ඉස්සරහට හම්බ  උනොත් මේ හිරකරගෙන ඉන්න හිතුවිලි දෝරෙ ගලාගෙන ගිහිල්ලා එයා ඉස්සරහම මහා ලැජ්ජ නැති විදිහට මට ඇඬෙන බව මම දැනගෙන හිටියා.

එදා ජනරංජන එකේ උඩ තට්ටුවේ පොත් තෝරන කොට පහල  තට්ටුවේ කේසර පොත් වගයක් අරගෙන සල්ලි ගෙවන්න කවුන්ටරය ගාව හිටගෙන ඉන්නවා දැකපු වෙලේ මට මාව පාලනය කරගන්න බැරුව ගියා. ඒ විදිහට තත්පර ගානකට මනුස්සයෙකුට වෙලා තියෙන දේවල් ඔක්කොම අමතක වෙනවද කියන එක හිතනකොටත් දැන්නම් මට පුදුම හිතෙනවා. තමන්ටම තමන්ගේ ශරීරයේ අවයව පාලනය කරගන්න බැරි අවස්ථාවල් ගැන මම අහලා තිබුණා.හැබැයි ඒ ආබාධිත වෙච්ච වෙලාවල් වල විතරයි.අතපය කොන්ද සියල්ලම හරියට තිබිලත් තමන්ගේ කකුල් තමන්ට පාලනය කරගන්න බැරුව යන්නේ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ. මම පල්ලෙහාට දුවගෙන යනකොට පහළ තවත් පොත් රාක්කයක් අස්සෙන්  වානි  මතු වෙනවා අකුණක් වගේ මම දැක්කා. මගේ කකුල් මටත් නොදැනීම පඩිපෙළ මැදදී නතර වුණා. ඒ නතර උණු නතරවිල්ල..
……

සරස් බරස් ගාලා නස්‍රියා ආච්චි වැලෙන්  රෙදි ගන්න සද්දෙට තමයි මම ආපහු කල්පනා ලෝකෙන් මේ ලෝකෙට ඇවිල්ලා හිටියේ.

දූ.. ලොකු කල්පනාවක හිටපු හින්දයි මම කරදර කරේ නැත්තෙ.

මම හිනාඋනා. මම කල්පනා කර කර හිටියෙ නැහැ කියලා බොරු කියන්න මට ඕන වුණේ නැහැ. මම නොදන්නවා වුණාට ලොකු අම්මා සමහරවිට ඔක්කොම විස්තර නස්රියා ආච්චි එක කියලා තියෙන්නෙත් ඇති කියලා මට හිතුණා.

මට පාලුයි ආච්චි.. මං කිව්වෙ වේවැල් පුටුව උඩ ට ගත්තු කකුල් දෙක මගේ ගාවට ඇදලා අරගෙන තුරුල් කරගන්න ගමන්.

රෙදි කෑලි තුන හතරක් අතේ පටලගෙන මන් දිහා බලාගෙන හිටපු නස්‍රියා ආච්චි   අනිත් වේවැල් පුටුවෙන් ඉඳ ගත්තෙ එයාගේ ලස්සන රැලි ගැහුණු මුණ අමුතු හිනාවකින් පුරවගෙන.

පාලු…  තමන්ට ගැළපෙන්නේ නැති අයත් එක්ක පැටලි පැටලී හිතෙන් දුක් විඳිනවාට වඩා තනියම ඉන්න එක හොඳයි දූ.. අල්ලා අපිට බොහොම ටික කාලයයි මේ ලෝකෙ ඉන්න දීලා තියෙන්නේ. ඒ ටික කාලෙදි ඇයි අපි අපිට නොගැළපෙන දේවල් අල්ලගෙන හිතෙන් විඳවන්නේ..
හෙට මගේ පොඩි මුණුබුරා ලංකාවට එනවා.මාසයක නිවාඩුවකට. ඒ මගේ එකම පුතාගේ දෙවැනි දරුවා.මගේ පුතා මොරොක්කෝවේ දි නැති වුණා.ඒ මීට අවුරුදු ගානකට කලින්. අසාද්ගෙ අම්මත් ඊට ටික කාලෙකට පස්සේ නැති වුණා.ඔය කොල්ලො දෙන්නම  හදාගත්තේ මම. මගේ ජීවිත කතාව පොතකට උනත් ලියන්න පුළුවන් දූ..දුවට පාලුයි කියපු හින්දා මම ඕනනං ඒ කතාව කියන්නම්.

තුරුළු කර ගත්ත කකුල් දෙක ඒ විදිහටම තියෙන කොට මම නස්‍රියා ආච්චි දිහා   බලාගෙන හිටියා. සමහර මිනිස්සු තමන්ගේ හිතේ වේදනාව දුක අඩුකර  කරගන්නෙ තව කෙනෙකුට ඒක ලෝබ නැතුව කියා පෑමෙන් කියලා මං අහලා තිබුණා . සමහර වෙලාවට  නස්‍රියා ආච්චි ගෙ හිතේ කාලයක් තිස්සේ ඔහේ පැලපදියම් වෙලා තිබිච්ච වේදනාවක් මාත් එක්ක කියාපාලා ඉවර කරගන්න උවමනාව තියෙන්න ඇති. මටත් ඒ හින්දා එපා කියන්න හිතුනෙ නැහැ.මම මුකුත්  කියන්න කලින් නස්‍රියා  ආච්චි අවුරුදු ගාණක අතීතයකට ගියපු බව මම එයාගෙ ඇස් දෙකෙන් දැක්කා. හරියට අඳුනක් දිහා බලාගෙන කතා කරන කෙනෙක් වගේ නස්‍රියා  ආච්චි අර නමක් ගමක් නොදන්න කඳු පන්තිය දිහා බලාගෙන ඔහේ කියවන්න පටන් අරන් තිබුණා.

මම මුලින්ම ආදරය කළේ සිංහල මනුස්සයෙකුට.. ආදරය කියන එක හිතට දැනුනහම මේ මනුස්සය මොන ජාතියෙ ද කුලය ද කියන එක හිතෙන්නෙ නෑනෙ..ජයමින මාව රවට්ටලා දාලා ගියාට පස්සේ මට ආපහු වෙන කිසිම පිරිමියෙකුට ආදරේ කරන්න හිතුනෙ නෑ .උන් සේරම එකයි ….මට එහෙමයි හිතුණේ  දූ …මගේ එකම විනෝදාංශය වුණේ අපේ කම්පැණියේ මට කරන්න පැවරිලා තිබිච්ච කොටසේ වැඩකටයුතු එක දිගටම කරන එකයි .එතකොට ප්‍රශ්න තේරුනෙත් නෑ.
වයස යනවා තේරුනෙත් නෑ .අපේ කම්පැණියේ අලුත් චෙයාර්මන් හැටියට පත් වෙලා ආවේ  රන්දුනු ජය ශ්‍රී වික්‍රම නායක .අවුරුදු පනස් පහ  වෙනකන් රාජ්‍ය සේවයේ හිටපු රන්දුනු සර් ඊට පස්සේ චෙයාර්මන් වෙලා ආවේ අපේ කම්පැනියක ටයි .
බොහෝම ප්‍රතාපවත් කඩවසම් පුද්ගලයෙක් වෙච්ච රන්ඳුනු
ගොඩක් ප්‍රිය මනාප වුණා. ඒ වගේම බොහොම තදින් නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් වුණා. නම නොදන්නා කඳු පන්ති 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here