“රවිඳු පාරමීගේ ලෙඩ බලන්න ගියාද මන්ද”
හදවතෙහි රිදීම් ඇති කරන යම් දෙයක් සිදුවෙද්දී ඒවා සිදුවන්නේ සීමා මායිම්වලින් තොරව ය.කාර්යාලයේ විහිලුකාරයා ලෙස ප්‍රසිද්ධ ජයන්ත එසේ පැවසුවේ උස් හඬිනි.උස්ව නැඟුණු ලිපි ගොනු අතරින් හිස් ඔසවා බලමින් සියල්ලන්ම හිනැහීම ඇරඹුණේ නිදහසේ ය.මැදිවිය ද ගෙවමින් සිටින බොහොමයක් කාර්යාල සඟයන්ට ඒ වචන පවා දවසක් පුරා හිනැහෙන්නට හැකි විහිළුවකි.හිමාෂා එය දරා ගත්තේ අසීරුවෙනි.පාරමී හිඳින්නේ වේදනාවෙනි.රවිඳු ඒ වේදනාව ඇය සමඟ බෙදා ගන්නට ඈ වෙතට යන්නට ඇත.ඒ ඔහුගේ අයිතියයි.
නමුත් ඒ අයිතිය පිළිගන්නට නොහැකි වගක් හිමාෂාට දැනෙයි.මල්මි ගැන ඇති ඊර්ෂ්‍යාව මුසු අප්‍රසාදයට සමාන හැඟීමක් පාරමී සම්බන්ධයෙන් දැනෙන්නට පටන් ගනිද්දී ඇය නළල ඇඟිලි තුඩු වලින් මිරිකන්නට වූවා ය.හිසරදයක් පවා පැමිණෙන්නෙ අනවශ්‍ය වේලාවට ම ය.
“අනේ හිමාෂා නංගි.මෙන්න මේ ෆයිල් එක බලල ඉවරයක් කරලා දාන්න.අර යස්සයා එකපාරටම නිවාඩුවක් අරගෙන පැනල දිව්වේ පාරමීගෙ ලෙඩ බලන්නමයි කියලා මටත් හිතෙන්නේ.”
දීපානි සාරි පොටෙන් මුහුණ පිස දමන අතර හිමාෂා වෙත පැමිණියේ එසේ කියමිනි.හිමාෂා අඳුරු වී ගිය මුහුණ ඇයට පෙනෙන ලෙස ෆයිල් කවරයේ වූ ලිපි ගොනු වලට හිස යොමා ගත්තා ය.අන් අයව ඉතා ඉක්මණින් කියවා ගන්නා ගැහැනියක ලෙස දීපානි ප්‍රසිද්ධ ය.
ඕපාදූප සංසරණය කරන්නට ද ඇයට ඇත්තේ හොඳ හැකියාවකි. අඳුරු වී ගිය මුහුණ ඇයට පෙන්වීම ම බොහෝ කතාන්දරවල ඇරඹුමක් බව හිමාෂා හොඳින් දන්නී ය.
“මල්මි උදුරා ගත්තෙ මගේ දරුවාගේ තාත්තා.සහන් මට ආදරේ කළා නොකළා දරුවාට තාත්තා කියන්න තිබ්බ අයිතිය නැති වෙච්ච එක ගැන කේන්ති ගන්න මට පුළුවන් තමයි.ඒත් ඇයි මං මේ රවිඳු එක්ක කේන්තියෙන් ඉන්නේ?”
පිළිතුරු හොඳින් දන්නා ප්‍රශ්නයක් ඇය ඇගෙන් විමසා ගත්තා ය.
“හරිම සරල උත්තරයක් හිමා.සහන් කියන්නේ ඔයාගේ දරුවගෙ තාත්තා වුණාට ඔයා කවදාවත් සහන්ට ආදරේ කලේ නෑ නේද? ඒත් ඔයා දවස් ගානකට හරි රවිඳුට ආදරේ කළා.තත්පරයක් හරි ආදරේ කරපු කෙනෙක් තමන්ගෙන් ඈතට යනවා කියන්නේ දරාගන්න ටිකක් අමාරු හැඟීමක්.ටිකක් නෙවෙයි,ඒක මහා ගොඩක් අමාරු හැඟීමක්.”
කරන්නට අප්‍රමාණ වැඩකටයුතු තිබියදී හිමාෂා ඇගේ හදවත සමඟ තර්ක කරන්නට පටන් ගත්තා ය.නමුත් රවිඳු අහිම් වී ගොස් අවසන් ය.ඒ ගැන තවදුරටත් දුක් වීම ඵල රහිත දෙයක් බව ඇය නොදැන හුන්නා ද නොවේ.
හිමාෂාගේ සිතුවිලි කිසිවක් නොදන්නා නමුත් ඇය හිඳින වැරදි වැටහීම නිවැරදි කරගන්නට ලැබුණු මේ අවස්ථාව පැහැර හරින්නට රවිඳුට සිත් වූයේ නැත.හදිසි නිවාඩුවකට පසු කාර්යාලයෙන් නික්මී යන්නට ඔහුට එකම එක කෙටි පණිවිඩයක් සෑහිණ.
“අයියේ මම අමායා.මට ඔයාට ඉක්මනින්ම මුණගැහෙන්න ඕන වැදගත් කාරණාවකට.”
ඒ වැදගත් කාරණාව කුමක්දැයි අසන්නට රවිඳුට නොසිතිණ.නමුත් ඔහුටත් අමායාටත් එකඟතාවයකට පැමිණෙන්නට ගතවූයේ විනාඩි කිහිපයකි.අප්‍රමාණ වැඩ කන්දක් අමතක කර දමා පාරට බසින්නට රවිඳු දෙවරක් නොසිතූ තරමටම ඉතා වැදගත් දේශනයක් මඟහැර ගන්නට අමායා ද පසුබට නොවූවා ය.මේ ගමන එතරමට වැදගත් ය.ගමනේ අරමුණ දන්නා අමායාත් ඒ ගැන කිසිවක් නොදන්නා රවිඳුත් මේ මොහොතේ සිතමින් සිටියේ එක් දෙයක් ගැන පමණි.
ඒ හිමාෂාගේ සතුට සහ සැනසීම සම්බන්ධයෙනි.ඇයට බද්ධ වී ඇති කුඩා ජීවිතය ගැන ය.ඒ කාරණා සියල්ලම එකිනෙකට සම්බන්ධ වූ එක් හේතුවකි.හිමාශාගේ හදවත බිඳ දැමීම ඒ හැම සාධකයක්ම අවුල් වී යන්නට හේතුවකි.