සීත මාරුතේ -43

ප්‍රේමය සදා කල් එක ම ස්වරූපයකින් පවත්නේ නැත. එහි වර්ණය හා හැඩය ඒ මොහොතෙහි තත්වය අනුව විපර්යාසයන්ට ලක් වේ. එයින් අදහස් වන්නේ ප්‍රේමය ක්ෂය වී යන බවක් නොවේ. ඇතැම් විට එය වර්ධනය වෙනවා වන්නට පුළුවන. නමුත් එහි ස්වභාවය වෙනස් වේ.

ආදරය හදවතේ පවතිමින් එය ප්‍රකාශ නොකර සිටින තාක් වන සුන්දරත්වයෙහි වෙනසක්, පෙම්වතුන් වීමෙන් පසු ඇති වේ. එතකොට ප්‍රේමය වෙනත් හැඩයකි. වෙනස් වර්ණයකි. විවාහයකින් පසු තත්වය ඊටත් වඩා වෙනස් වනු ඇත. ඒ කිසි තැනක ප්‍රේමය නැති වී යනවා නොවේ. නමුත් පවත්නේ වෙනත් ස්වරූප වලිනි. අප්‍රකාශිත ප්‍රේමය ට වඩා ඉන් පසු උදා වන තත්ව සංකීර්ණ වේ. වගකීම් සහගත වේ.

මුණිවර ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් පස්සේ මා තුළ ඇති වූ ප්‍රේමයේ චින්තනමය විපර්යාසය ගැන සමහර වෙලාවක මම ගැඹුරෙන් සිතුවෙමි. බොහෝ පෙම්වතුන්ට පෙම් සබඳකමක් තුළ දී ඇති විය හැකි බාධක හෝ වැට කඩුළු අපට අපේ පවුල් දෙකෙන් ඇති විය නො හැකි ය. දෙපස ආශිර්වාදය එක හෙලා අප වෙත ලැබෙනු ඇත්තේ ය. ධාරා ද අප ගැන දැන ගත් වහා ඇය ට හිමි තැන තේරුම් ගෙන නික්ම ගියා ය. එතැන්හිදී ප්‍රේමය වුව සාමාන්‍යකරණය වීම සාමාන්‍ය ය.

අපේ ය කියා සතු කර ගන්නා තාක් කල් ඕනෑ ම දෙයක් ගැන අපේ වන කුතුහලය, තිගැස්ම හා ආශාව, එය අපේ වූවා ට පසු ක්ෂීණ වී යාම සරල වූ මිනිස් ස්වභාවයකි. මුණිවර සිය ප්‍රේමය ගැන මා හා පැවසීමෙන් පසු මුල දී වූ තත්වය වෙනස් වී ප්‍රේමය අලුත් හැඩයකින් පෙනී සිටීම සිදු විය. එවක් පටන් මට ඕනෑ වූයේ ඔහු වෙනුවෙන් මට කළ හැකි උපරිමය කරමින් ඔහු දෙස බලා ඉන්නට ය. දියුණුවේ හිණි පෙත්තට ඔහු නගිනු දකිමින්, ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සතුටු වන්නට ය. එය ද ප්‍රේමයේ එක් හැඩයක් විය යුතු ය.

මුණිවර හා මා අතරේ වන ප්‍රේමණීය හැඟීම් ගනුදෙනුව ගැන නංගී හා මගේ මිතුරියන් දෙදෙන හැරෙන්නට වෙනත් කිසිවෙකු දැන්ම දැන ගන්නා එක ගැන මගේ නො සතුටක් විය. මිස්ට් ෆීල්ඩ් හිදී මා හැකි තාක් ප්‍රවේසමෙන් හැසිරුණේ එබැවිනි. මගේ හදවතේ උඩ ම මළුවේ තබා මා වන්දනා කරන්නා වූ ප්‍රේමය ගැන කිසිවෙකු තැන් තැන් වල හිඳ අශෝභන වදන් දොඩනවාට මගේ හිතේ කැමැත්තක් වූයේ නැත. එහෙයින් මම එය තව දුරටත් අප අතරේ රහසක් කර ගනු පිණිස මුණිවර ගෙන් ද මඳක් ඈත් වී සිටියෙමි.

එක දවසක් කෑම වෙලාව පහු වෙනතුරුත් මුණිවර මිස්ට් ෆීල්ඩ් හි නොවුණේ ය. උදේ ඔහු ගියේ බණ්ඩාරවෙල හෑන්ඩ්ලූම් පැරඩයිස් සඳහා ලබා ගත් සාප්පුවෙහි අලුත්වැඩියා කටයුතු විමසා බැලීමට ගොසිනි. මාත් ලොකු තාත්තාත් කෑම නොකා බෝ වෙලා බලා හිඳීමෙන් අනතුරුව මම ඔහු ට දුරකතන ඇමතුමක් ගතිමි.  

“අම් ..තව ලේට් වෙයි නේද..ඔයාල කන්න මන්දි..ම්…”

“අනේ”

“බඩගින්නෙ ඉන්න එපා පැටියො. ගෑස්ට්‍රයිටිස් නේ..”

“ඉක්මන්ට එන්න බැරි වෙයිද..”

“මං හිතන්නෙ බැරි වෙයි. දැනුත් දවල් වෙලානෙ. ඔයා ලොකු තාත්ත එක්ක ගිහිං කෑම කන්නකො..ම්…”

මා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ නෝක්කාඩුවෙනි. ඔහු ළඟින් හිඳ කෑම කන ටිකට මගේ හිත පිරී පවත්නේ ය. යන්තම් කටක් දෙකක් කා මා කෑම ගැනීම නවතත්දී ඔහු තාත්තා කෙනෙකු ගේ ආදරයෙන් තරවටු කරන්නේ ය.

“බත් කන්න බැරිනං ඔය එළවළු ටික ඔක්කොම කන්න…මාළු කෑල්ල කන්න මන්දි…ගෑනු ළමයි ඔහොම කාල කොහොමද අනේ…”

කෙසේ හෝ තව ටිකක් මොනවා හෝ මගේ කුසට දමා ගැනීමට ඔහු වෙහෙසෙන්නේ ය. ලොකු තාත්තා ඉක්මනින් කෑම කා නික්ම ගොස් සිටි වෙලාවක නම් “ඔහොම කාල කොහොමද මගෙ පැටව් ටික හදා ගන්නෙ..අඩු ගානෙ බබාල පස් දෙනෙක්වත් ඉන්න ඕන” වැනි කතාවක් කියයි. 

“පහක්…”

මම ඇස් ලොකු කර ගෙන විමසමි.

“අම්…ඔව් නේද…නැත්තං මදි…ගෙයක් වුණාම ළමයි කෑ ගගහ දුවල පැනල සෙල්ලං කරන ගෙයක් වෙන්න ඕනෙ”

“මං කොහොමද බලා ගන්නෙ…එච්චර ගොඩක්…”

“මාත් ඉන්නෙ”

මා කෑම කෑවේ ඒ මතකයේ ජීවත් වෙමිනි. ලොකු තාත්තා ඉක්මනින් කෑම කන කෙනෙකි. ඔහු කෑම නැගිට්ටේ 

“දුවට කාල එන්න පුළුවන්නෙ..”

යි විමසමිනි. මම හිස සැළුවෙමි. වෙනදා තරම් හෝ කෑම රුචියක් මට ද වූයේ නැත. තවත් ටික වෙලාවක් බත් පත අනමින් සිට මම අත සෝදා ගන්නට සේදුම් කාමරයට ගියෙමි. අත සෝදා ගෙන හිස නගා බලත්දී මුණිවර දොරකඩ හිටගෙන බලා සිටියේ ය.

“බො..රු..මයි..කියල තියෙන්නෙ පරක්කු වෙනෝ කියල..හරි නරකයි..හ්ම්..මං තරහයි”

මම උළුවස්ස හරහා නැවත භෝජනාගාරයට එන්නට හැදුවෙමි. නමුත් මුණිවර මා මැදිවන සේ අත් දෙක බිත්තියට තබා ගත්තෙන් නතර වන්නට මට සිදු විය. ඒ ඇස් වල වූයේ හිතුවක්කාර කමකි. 

“මො..කද..මේ..”

සිනහ වෙමින් මා අත යටින් රිංගන්නට හදත්දී ඔහු ඒ අත පහත් කළේ ය. ඉතින් මම ඒ හිතුවක්කාරකමට ඉඩ දී බිත්තියට හේත්තු වුණෙමි. ලොකු තාත්තා භෝජනාගාරයට ඇතුලු වූයේ ඒ මොහොතේ ම ය. අප දුටු ඔහු එසැනෙන් ආපසු හැරුණේ ය. නමුත් ඔහු අප දුටු බව ඉඳුරා විශ්වාස ය. මුණිවර කට ඇද කර ගෙන හිස කැසුවේ ලැජ්ජාවක් ආරූඩ කර ගනිමි.

“හරිනෙ…ඕක කර ගන්නනෙ ඕන වුණේ”

මගේ ඇස් වල ආදරය ද තරවටුව ද සම අනුපාත වලින් මුහු වී තිබෙන්නට ඇත. 

“ලොකු තාත්ත දැක්ක..මං ගැන මොනා හිතයිද දන්නෑ”

“මොනා හිතන්නද ඉතිං..ඒ අහිංසකයව අල්ලගෙන කියල හිතයි”

ලොකු තාත්තා පැමිණි නිසාවෙන් දී ගන්නට බැරි වූ හාදුව මගේ කොපුලක් මත තබමින් ඔහු දෑත් සෝදා ගන්නට ගියේ ය. අප්පු ගෙනා බත් පත නිම වන තෙක් මම ඔහු ළඟ හිඳ ගෙන උන්නෙමි. 

ඊට පස්සේ තිබුණේ ලොකු තාත්තා ට මුහුණ දී ගත නො හැකි කම ය. නමුත් හැන්දෑවේ තේ කෝප්පයත් ගෙන ලොකු තාත්තා මගේ මේසය ළඟට ආවේ ය.

“දැං ඉතිං මට සැනසිල්ලෙ ඇස් දෙක පියා ගන්න පුළුවන්”

ඔහු ගේ දෑස් මත්තෙහි වූයේ පීතෘ ස්නේහයකි. නමුත් මට බිම බැලිණ. මේ වගේ කාරණාවක් ගැන වැඩිහිටියෙකු ඉදිරියේ කතා කිරීම ලැජ්ජාවක් සේ තවමත් දැනෙන්නේ අපේ ළමා විය ගොඩ නැගී තිබූ ආකාරය නිසා යයි සිතමි. 

“රජ්ජුරුවන්ව බලා ගන්න ඕනෙ කෙල්ල. ඒකට හරියන වෙන කෙනෙක් නෑ ඔයා තරං..”

මම ප්‍රතිඥා දෑසකින් ලොකු තාත්තා දෙස බැලුවෙමි. ඔහු ගේ ඇස්  සන්තෝස විල් දෙකක් සේ එළිය වී  තිබිණි.

“අර කා ල කන් නි සද්දයක් නැත්තෙ අපි පොලීසි ගිය නිසාමත් නෙවෙයි. මං උංගෙ දොරකඩට ගිහිං සද්දයක් දාලයි ආවෙ”

“ලොකු තාත්තෙ…”

“මං කිව්ව මට දැන් නැති වෙන්න දෙයක් නෑ බොලව්…හැබැයි කොල්ලට මොකෙක් හරි මොකක් හරි කරල තිබුණොත් තොපි එකෙක් ඉතුරු කරන්නෑ ඉවරයක් කරල එල්ලුංගස් යනව කියල කියලයි ආවෙ. අම්මප මං එහෙම කරනව”

“අනේ ලොකු තාත්තෙ”

“රජ්ජුරුවන්ට උගෙ තාත්තටත් වඩා මං ආදරේ කරන්න ඇති දුව. ඒකාත් එහෙමයි. දවස් දෙකකට සැරයක්වත් මාව බලල යන්න පුහුල් පොල එනව. මාව ගෙදර එක්ක යන්නමයි දැඟළුවෙ. මං ගියෙ නෑ. මොනා වුණත් මල්ලි මැරුණට පස්සෙ..තරුණ ගෑනියෙක්නෙ එතන හිටියෙ. දරුවො දෙන්නෙක් එක්ක ජීනිතෙත් එක්ක ඔට්ටු වෙන ගෑනියෙක්ට වචනයක් අහගන්න තියන්න බෑ. ඒක පව්. ඊට සෑහෙන කාලෙකට පස්සෙ වුණත්…මහ ගෙදර මං තනියම ඉන්නෙ ඒකයි. ඒත් උඹල බැන්දට පස්සෙ මං උඹල දෙන්න ළඟට එනව. රජ්ජුරුවො කරේ තියං පුහුල්පොල ඇවිද්ද විදිහටම මගෙ උගෙ පැටවුනුත් හුරතල් කරන්න ආසයි”

“අනේ ලොකු තාත්ත. ඔයා මාව අඬවනව”

“හුස්ම විතරක් අර ගත්ත අපේ ජීවිත වලට ආයෙ ජීවිතයක් වුණේ දුව. මන් දන්නව මට මුණුපුරො වටකර ගෙන සතුටෙන් මැරෙන්න පුළුවන්…”

ලොකු තාත්තා ඇස් දෙක මිරිකා හළේ ය. මම ඔහු ගේ අතක් පිරිමැද්දෙමි. මිනිස් බැඳීම් කියන්නේ පුදුම සහගත දෙයකි. හිතට වදයක් වන මිනිසුන් වෙතින් දුරස් වී හිතට සුවයක් වන මිනිසුන්ට ලං වූ කලී ජීවිතය කියන්නේ දෙවියන් වෙතින් ලද තිලිණයක් බවට පත් වේ. 

“ආ..මේ මොකෝ මේ..”

කියා ගෙන මුණිවර අප වෙත ආවේ මා ලොකු තාත්තා ගේ අතක් පිරිමදිමින් සිටියදී ය. ඔහු විත් මගේ මේසය ඉදිරියේ වන අනිත් අසුනේ හිඳ ගන්නවා වෙනුවට, ලොකු තාත්තා හා මා අතරින් මට වඩාත් සමීප ව මේසයට බර වූයේ ය. ඔහු ගේ මන්මත් කරවන සුවඳ මට ළඟින් ම දැනිණ. 

“ලොකු තාත්ත මොනාත් දැක්කෙත් නෑ…ලොකු තාත්ත මොනාත් දන්නෙත් නෑ..නේද..”

මට පමණක් නොව ලොකු තාත්තා ට පවා සිනහ නැගිණි. 

“මං මුකුත් දන්නෑ නේන්නං”

ඔහු ඒ සිනහවෙන් ම නැගී සිටියේ ය.

“මේ කෙල්ල නොවෙන්න දනී මං උඹට කරන දේ”

මම දෙතොල් තද කර සිනහ වෙන ගමන් හිස නගා මුණිවර දෙස බැලුවෙමි. ඔහු සන්සුන් ඇස් දෙකකින් මදෙස බලා ගෙන ම හිටියේ ය. 

“තෑන්ක් යූ…”

පුටුව වෙත ගොස් එහි හිඳ ගන්නා ගමන් විටත් ඒ ඇස් බැල්ම එසේ ම විය.

“මාව හම්බ වෙනකල් කාගෙවත් නොවී හිටියට”

“මමයි එහෙම කියන්න ඕන”

“මන්දි”

“ම්..”

“මට හිතෙනව මෙහෙම දේකුත්”

“කොහොමද…”

“මේ හැම දේටම වඩා මට ඔයාව වටිනව”

මම මේසය මත කම්මුල තියා ගෙන ඔහු දෙස බැලුවෙමි. මේ ජීවිතයේ සුන්දර ම සුයාමයයි. ආදරයේ හැඩ රුව වෙනස් වී තිබිණි ද තව වසර කිහිපයකින් වුව මේ දැනෙනා වූ බැඳීම අපට අප ගැන දැනුණොත් ඒ ඇති ය.

“…මට ඔයත් එක්ක සැනසීමෙන් ඉන්නයි ඕනෙ. කාට හරි ඕනෙ මං මේ බිස්නස් කරං ඉන්න එක නතර කරන්නනං…මට හිතෙනව මේ හැම දේම විකුණල දාල ඔයත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් කොහෙට හරි ගිහින් අලුතෙන් ම ජීවිතේ පටං ගන්න…”

හදවත හෙලවී ගිය බව සහතික ය. මිස්ට් ෆීල්ඩ් යනු ඔහු ගේ ජීවිතය බව මම දනිමි. මා වෙනුවෙන් එය විකුණා දමන්නට ඔහු සැලසුම් හදමින් සිටිනා බව දැන ගැනීම ම කෙතරම් වේදනාවක් ද? මා නො දැන ම මම ද මිස්ට් ෆීල්ඩ් වෙත හදවතින් ම බැඳී සිටිමි. මේ සියල්ල අහිමි කර ගෙන මාව හිමි කර ගැනීම තුළ ඔහු ට ඔහු පතනා සතුට සදාකාලිකත්වයට පත් කර ගත හැකි වනු ඇත් ද? මේ පරිසරයේ දී තරම් නිදහසකින් ඔහු වෙන කිසිදු තැනෙක හුස්ම ගනු ඇත්ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles