අපේ සබඳකම ගැන මගේ දෙමව්පියන්ටත් ඔහු ගේ අම්මා ටත් එක දවසක කියන්නට මුණිවර ට අවමනා විණි. මේ වෙත්දී මේ ගැන මගේ නංගී ද ඔහු ගේ ලොකු තාත්තා ද දැන සිටියා වී ද ඔහු ට මුළුමනින් ගෙවල් දැනුවත් කිරීමට ඕනෑ වී තිබිණි. නමුත් ඒ ගැන මා තුළ එතරම් කැමැත්තක් වූයේ නැත. අප ට දැනෙමින් තිබුණා වූ ප්‍රේමයේ සුන්දරත්වය, දෙමාපියන් දැනුවත් වූ පසු මීට ද වඩා වෙනස් හැඩයක් ගන්නා බව මා ඉවෙන් වාගේ දැන සිට නිසා ය.
“අම්මලට කියන්න හදිස්සියක් නෑනෙ ඉතිං”
මම එහෙම කියමින් අදිමදි කරන්නට වීමි.
“ඔයාට හිතා ගන්නත් බැරි තරං තනි කමක් ජීවිතේ පුරා විඳපු මිනිහෙක් මන්දාකිණී මං. මට ඕනෙ පුළුවන් තරං ඉක්මනට ඒ තනි කමෙං මිදෙන්න. ගෙවල් වලට කියල ටික දවසකින් ම අපේ වෙඩින් එක අරං ඔයාව මගෙ ළඟම තියා ගන්න. මාත් වැඩිපුර එක දවසක් හරි සතුටෙන් ජීවත් වෙන්න ආසයි මන්දි. ඒකයි මේ හැම දේම විකුණල දාල කොහෙට හරි යන්න වුණත් මං හිත හදා ගත්තෙ”
ඒ වෙලාවේ අප හිටියේ බණ්ඩාරවෙල ගොස් පැමිණෙන ගමන් රිය තුළ ය. හෑන්ඩ් ලූම් සාප්පුවේ ආරම්භක කටයුතු එහි සිදු වෙමින් පැවතිණ. එදා ලොකු තාත්තා අප සමග නොවීම නිසා මට තරමක නිදහසක් දැනිණ. මම මුණිවර ගේ වමත් බාහුව මගේ සුරතින් වැළඳ ගෙන ඔහු ගේ මූණ බැලුවෙමි. ඔහු මගේ හිස් මුදුනේ ඉක්මන් හාදුවක් තැවරුවේ ය.
“මිස්ට් ෆීල්ඩ් කියන්නෙ ඔයාගෙ හුස්ම. ඒක විකුණන්න හිතන්න එපා. දවසක ඔයා ඒ ගැන හුඟක් දුක් වෙයි”
ඈත නිම්නයට හිරු එළිය වැද හරිත වර්ණයෙන් බබළනා අයස්කාන්ත දර්ශන තලයක් පෙනෙනා තැනෙක පසෙකට කොට ඔහු රිය නතර කළේ ය. අපි අතිනත් තදින් අල්ලා ගෙන ඒ නිම්නයට සම්මුඛ ව හිටගෙන බලා සිටින්නට වීමු. සදෙව් ලොවක් කියා වෙනම තැනක් තිබෙනවාද කියා මා දන්නේ නැත. නමුත් කඳුකරයට පැමිණි පසු මා දුටු ඇතැම් දර්ශන අයත් සදෙව් ලොවටය කියා හිතෙනා එක තවමත් මට නතර කර ගත හැකි වූයේ නැත.
“මං ඔයා ගැන කොච්චර පිස්සුවකින්ද මිස්ට් ෆීල්ඩ් එකට ආවෙ…ඒ හැම මතකයක් ම තියෙන්නෙ එතන. මං ඔයා ගැන හිතපු තරං…මං ඔයා දිහා බලං හිටපු තරං..මං ඔයාට ආදරේ කරපු තරං..ඒ හැම මතක සටහනක් ම තියෙන්නෙ මිස්ට් ෆීල්ඩ් ඇතුළෙ. ඒක ඔයාගෙ විතරක් නෙවෙයි මගෙත් ජීවිතේ කොටසක් වගෙයි. වයසට ගිය කාලෙක වුණත් එතනට ඇවිත්..එතන ඇවිදල..ඒ මතක අස්සෙ කිමිදෙන්න පුළුවන්නං…ඒක ජීවිතේ වෙනම සතුටක් වෙයි. මගෙනං ආදරෙත් එක්ක..ඒත් ඔයාගෙනං ජීවිතෙත් එක්කම බැඳුණු තැනක් මිස්ට් ෆීල්ඩ්. මේ වෙලාවෙ හිතේ ආවේගෙට ඒක නැති කර ගන්න වුණත් හිතුවට..සල්ලි වලට ඒ මතක ගන්න බෑ මුණිවර. සල්ලි වලින් ජීවිතේ ඒ සතුට මනින්න බෑ. මං ළඟ හිටියත් මිස්ට් ෆීල්ඩ් ගැන ඔයා හූල්ලන දවසක් එන්න පුළුවන්. ඔයා පසුතැවෙන දවසක් එන්න පුළුවන්. සමහර දේවල් තියෙනව ඒවයෙ වටිනාකම් මුදල් වලින් තක්සේරු කරන්න බෑ. සමහර තැන් තියෙනව ඒව නිකංම තැන් නෙවෙයි…ජීවිතේ මතක ගොඩවල්. ඒව නැති වුණහම අපිත් නිකං හුස්ම ගන්න මිනිස්සු විතරයි. මොකද අපේ ආත්මය තියෙන්නෙ අතන. නැති වෙලා යද්දි අපිට අමතක වෙනව. අපේ ආත්ම තියෙන්නෙ ඒ තැන් වල කියල. ඊට පස්සෙ අපිට ජීවත් වෙන්න වෙන්නෙ ආත්මයක නැති මිනිස්සු වගේ. ඊට පස්සෙ අපිට රිදෙන තරං දැන් අපිට දැනෙන්නෙ නෑ. එග්සාම්පල් එකක් විදිහට පුහුල්පොල ගන්න. එදා ඔයා දැකපු පුහුල්පොල. ඔයාගෙ ළමා කාලෙ මතක වලින් පිරුණ පුහුල්පොල. අද ඒ පුහුල්පොල නෑ. දුක හිතෙන මතක ගොඩක් විතරයි ඔයා ළඟ තියෙන්නෙ. ඔයාට කොචචර සල්ලි තිබුණත් ඒ සල්ලි දීල ආයෙ ඒ පුහුල්පොල ගන්න බෑ. මිස්ට් ෆීල්ඩ් කියන්නෙ ඔයාගෙ තරුණ කාලෙ මතක ගොඩට මුණිවර. ඔයාගෙ තරුණ කාලෙ හීන අහුරට. ඒකෙ හැම වැලි කටයක් ගානෙම ඔයා දන්නව. ඔයාව දන්නව. ඔයා නො හිතුවට ඒක ඔයාගෙ ජීවිතෙත් එක්ක තදට බැඳිල තියෙන්නෙ. මට දැනෙනවනං මෙච්චර බැඳීමක්…ඔයාට කොහොම දැනෙන්න ඕනද…ඒක නිසා…මේක මට හිතෙන දේ. ඔයාව සජීවී ස්වභාවික පිරිමියෙක් විදිහට ගොඩනගපු තැන…ඔයාගෙ ජීවිතේ පුරාම ඔයාට එතන ඕන. මිස්ට් ෆීල්ඩ් නැති වුණොත්..ඒකෙ හිලව්වට ලැබෙන සල්ලි ඔයාව කවදාවත් ඒ මුණිවර විදිහට ඉතුරු කරන්නෙ නෑ. මට ඒක සහතික කරල කියන්න පුළුවන්”
ඈත නිම්නය දිගේ හමා ආ සුළඟක් මා වටා වෙළුණේ මා ආදරයෙන් වැළඳ ගන්නට මෙනි. මුණිවර මගේ අත අතහැර, බඳ වටා අතක් දමමින් මාව සිය සිරුරට වඩාත් ලං කොට ගත්තේ ය.
“ඔයා මට මාවම කියෝල දෙනව”
“අපි වෙන විදිහක් බලමු. ලොකු තාත්තනං ටිකක් විශ්වාසෙං ඉන්නෙ..ආයෙ ඒ මිනිස්සු කරදර කරන්න එන එකක් නෑ කියල. ඒත් අපිට ඒව ශුවර් කරන්න බෑ. මොන දේ වුණත් ඔයාගෙ පැත්තකින් මං ඉන්නව. ඔයාට ඕනෙ අපි ගැන ගෙවල් වලට කියල ඉක්මනට මැරි කරන්නනං..හරි මං ඒකටත් ලෑස්තියි”
මම හිස නගා ඒ මූණ දෙස බැලුවෙමි. මුණිවර ගේ මා වසඟ කරනා සිනහව ඒ මොහොතේ මා බලාපොරොත්තු වූ පරිදි ම මලක් සේ පිපිණි.
“ආදරේ කියන්නෙ කොන්දේසි නැතුව අනිත් කෙනා වෙනුවෙන් ඉන්න එකටනං…මං එහෙම කරන්න ලෑස්තියි”
“ඔයාට ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වැඩිය ආදරේ ලැබෙයි”
විවාහයක් තුළ දී ආදරයේ හැඩය තව තවත් වෙනස් වනු ඇත. මා ඔහු නො දැන ම ඔහු ට පෙම් කළ අයුරුත්, අප දෙදෙනා ම හිතේ ප්‍රේමය සඟවා ගෙන සිටි අයුරුත්, ප්‍රේමය ප්‍රකාශ වීමෙන් පසු තත්වයත් කටපාඩමින් මතක වුවද, මම කොන්දේසි විරහිත ව ඔහු ගේ මුළු ජීවිතය ළඟ නතර වීමේ තීරණය ගතිමි.
ඒ අනුව ඔහු අපේ ගෙදර විත් අම්මා අප්පච්චිට ඉරිදා දිනයේ දී දිවා ආහාරයකට මිස්ට් ෆීල්ඩ් වෙත ආරාධනා කළේ ය.
“අනේ ඉතිං මේ හදිස්සියෙ කරදර වෙන්නෙ මොකද පුතා..අපි පිරිත දවසෙ කාල බීල සැලකුම් ලබල ආවනෙ”
අප්පච්චි ඉතා සරල මිනිසෙකු ගේ ස්වරයෙන් නිරහංකාර ලෙස කීවේ ය. මුණිවර ගේ මුහුණ දෙස බලා ගෙන ම සිටියෙමි.
“ඔය කොල්ලව ගිලින්න වගේ බලන එක දැංවත් නතර කරල නැද්ද..”
නංගී මගේ කනට කොට මිමිණුවා ය.
“මැරෙනකල්ම ඒ හිනාවට වශී වෙලා ඉඳී”
“එක අතකට ඒක හොඳයි. ඉක්මනට හැම දේම සාමාන්‍ය වෙනවට වඩා”
“දෙන්න එකතු වුණොත් ඉතිං රහස් තමා”
අම්මා ඇනුම්පදයක් කීවා ය. මමත් නංගීත් ඔවුන් ගේ කතා බහ වෙත යොමු වීමු. එදාට දිවා ආහාරය සඳහා සිය පවුලේ අය ද සහභාගී වන බව මුණිවර කීවේ ය. ඔහු කෙරේ ස්නේහය දෝරෙ ගලා යන තරම් වැඩි වෙන බවක් මට දැනිණ. ඔහු සිටියේ දෝත පා ජීවිතය වැළඳ ගැනීමේ හදිසියකිනි. තාත්තා ඇතුළු පවුලේ අයගේ අකල් වියෝව ද වසර කිහිපයක් කඳුකරයෙන් ඈත් ව ගොස් කොළඹ ජීවත් වන්නට සිදු වීම ද නිසා ඔහු ගේ ජීවිතයේ ශෝකී පරිච්ඡේදයක් වන බව මම දැන සිටියෙමි. ඉනික්බිති සිය පෙම්වතිය ව පවුලේ සතුරන් විසින් ම මුලා කර ගැනීම මත ඔහු ඇතුළතින් ලාවා පැසවන පිටතින් දැඩි කන්දක් වන් මිනිසෙකු බවට පත් කරන්නට ඇත. මුණිවර ට දැන් අවශ්‍ය ජීවිතයේ මෘදු බව විඳිමින් ආදරය ජීවිතයට සමීපයෙන් ම ඇසුරු කරන්නට ය.
ඉරිදා උදා වූයේ මගේ හදවතේ ගැස්ම නම් වැඩි කරමිනි. ඔහු ගෙන් රාත්‍රියේ පටන් ම කෙටි පණිවිඩ සිය ගණනක් ලැබී තිබිණ. මුණිවර ගේ හිතේ තිබෙන ගැස්ම ගැන අනුමාන කරන්නට ඊට වැඩිය සාක්ෂි අවශ්‍ය නැත.
“අම්…සර් මට කැමති වෙයිද…”
උදේ ම දුරකතන ඇමතුමක් දී ඔහු එහෙම අහන විට මා තවමත් නිදි යහනේ ය. මම නංගී දෙස බැලුවෙමි. ඇය නිදි ඉරියව්වේ සිටියා ය.
“ඇයි අකමැති වෙන්නෙ…මං හිතන්නෙ අප්පච්චි මටත් වඩා ඔයාට වශී වෙලයි ඉන්නෙ. අර ඒජීඑම් එක දවස් වල…මට මතකයි ගෙදර ඇවිත් වර්ණනා කරපු හැටි. කොහොමත් ඔයා දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ගෙ අම්ම කෙනෙක්ගෙ හිතේ වදින කොල්ලෙක්”
“ඒ වුණත් ඉතිං මේ රන්මුතුගේ සර්ගෙ දුව ගැන ප්‍රපෝසල් එකක්නෙ. සර්ගෙ හිතේ දුව ගැන මොන බලාපොරොත්තු තියෙනවද දන්නෑනෙ”
“අප්පච්චි එයාගෙ බලාපොරොත්තු කවදාවත් අපි ලවා ඉෂ්ට කරවගන්න හදල නෑ. අපේ බලාපොරොත්තු වලට අත්තටු දුන්නා මිසක්”
“අයියෝ..තමුසෙල දෙන්නා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා නිදිපෙති ටිකක්වත් ඉල්ලගන්නවලකො නින්ද යන්නැත්තං”
නංගී යහනේ ඇඹුරෙමින් කියවත්දී ය මට වැටහුණේ ඇය අවදි වී ඇති බව. මුණිවර ට ඇගේ හඬ ඇසී දෝ සිනහවක් පෑවේ ය.
“මේ හොඳට නින්ද යන වයසෙ ඉන්න අපිටත් නිදා ගන්න දෙන්නෙ නෑනෙ ඇත්තට…එක්කො ගෙදර එක්කං ගිහිං ළඟින් තියා ගන්න ඕන නිදියන ටිකටත්…දවස පුරාම කතා කරලත් මදිනෙ අප්ප…”
එවර මුණිවර හඬ නගා සිනහ වූයේ ය. මම නංගි ගේ කනක් මිරිකුවෙමි.
අප පතනා අයුරින් ම ඉෂ්ඨ සිද්ධ වත්දී ජීවිතය කියන්නේ කෙතරම් මහිරි වූ ගමනක් දැයි සිතෙනා එක වැළැක්විය නො හැකි ය. උදේ දහය පමණ වන විට අපි, ගෙදර අය අප්පච්චි ගේ මෝටර් රථයෙන් මිස්ට් ෆීල්ඩ් වෙත ගියෙමු. මුණිවර කසුනි හා හංසිකා ට ද අපේ මිතුරන් වශයෙන් ඇරයුම් කර තිබිණි. විදුනි හා ඔහු ගේ සැමියා ද අම්මා හා පොඩි නංගී ද ලොකු තාත්තා ද ඔහු ගේ පවුලෙන් එහි විත් තිබිණ. දසුන් ට ද එන්නට හැකි වී නම් ඒ අපට වැඩියෙන් ම ආදරය කරන පවුලේ සමීපතමයන් ගේ හා අපට නොමඳ ආදරයක් හා ආශිර්වාදයක් ලබා දුන් ළඟ ම මිතුරන් ගේ ද සුහද හමුවකි.
එදා මම මුණිවර ව වඩාත් කඩවසම් ව දුටිමි. ඔහු හිටියේ තද නිල් හා සුදු කොටු වැටුණ අත් දිග කමිසයක් හා තද නිල් ඩෙනිම් කලිසමක් හැඳ අත් දෙක දෙවැලමිට සන්ධි තෙක් නවා ගෙන ය. පුරුදු රැවුල් කොට අතරෙන් වුව ඒ වත වෙනදාට වඩා පැහැපත් බවක් දිස් විය. අපේ ඇස් වෙනදාටත් වැඩිය කතා කළේ ය. ඔහු වෙනදාටත් වැඩිය සිනහ වූයේ ය.
“දැන්නං මෙයා පොල්තෙලුයි බණ්ඩක්කයි නැතුවම ජූජකස්ව ගිලී වගේ”
කසුනි කී කතාවට කෙල්ලෝ හඬ නගමින් සිනහ වූහ. අම්මා නංගී දෙස රවා බලනු මම දුටිමි. තේ පැන් සංග්‍රහය අතරේ ලොකු තාත්තා උගුරේ රැල් බුරුල් හරිමින් කතාව ඇරඹුවේ ය.
“ඇත්තටම ඉස්කෝලෙ මහත්තය…අද විශේෂ හමු වීමක් කියලයි මට හිතෙන්නෙ. අපේ රජ්ජුරුවන්ට ඉස්කෝලෙ මහත්තයට කතාවක් කියන්න තියනවලු”
“කතාවක්…”
අප්පච්චි ට ඒ කතාව නොතේරුණා ද ඔහු නොතේරුණා සේ එහෙම රඟපෑවාද කියන්නට මා දන්නේ නැත.
“සර්…ඇත්තටම…අම්..මං මන්දාකිණීව මැරි කරන්න කැමතියි. ඒ ගැන සර්ලටයි අපේ අම්මටයි කියන්න තමයි මං අද…කට්ටියව එකට මුණ ගැස්සුවෙ”
ඔහු එය කියා ගත්තේ කට පාඩම් කර ගෙන උදෑසන රැස්වීමේ දී කතාවක් පවත්වන සිසුවෙකු සේ කලබලයෙනි. හැම කෙනෙකු ට ම සිනහ ගියේ ඔහු ගේ කතා විලාශයට ය.
“ඇත්තටම..අම්..මන්දාකිණීගෙ නංගියි අපේ විදුයිනං මේ ගැන දැනගෙනයි හිටියෙ..”
“මාත් දන්නව ඉතිං…එදා පිරිත වෙලේ දසුන් අයියත් එක්ක මාත් ඕවට දරදිය ඇද්ද”
පොඩි නංගී නෝක්කාඩුවකින් කීවා ය. මුණිවර ඇගේ ගෙල වටා අතක් යවමින් ඇය ව ඔහු වෙතට වඩාත් සමීප කර ගත්තේ ය.
“ඒ වුණාට මං නැත්තං ඕව කෙරෙයි. මන්දිව මිස්ට් ෆීල්ඩ් එකට එව්වෙ කව්ද දන්නෑ”
“හරි හරි. ඔය දෙන්න තමයි එතකොට කපුවො දෙන්න”
ඒ අප්පච්චී ය.
“ආ..එතකොට අපි කවුද…විදුනිගෙ බබා මගෙ එලකියුශන් ක්ලාස් එකට එනෝ කියල මන්නෙ මුලින්ම මන්දිව ක්ලාස් එකට එක්කං ගියේ”
ඒ නෝක්කාඩුව කසුනි ගෙනි.
“මුණිවර සිං රාජ්පුත් ව දැකපු දවසෙ ඉඳං කන්දොස්කිරියාව අහං හිටියෙ මන්නෙ. ඇහැරං ඉද්දි විතරක් නෙවෙයි නින්දෙන් හීනෙනුත්…”
නංගී ද සිය අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වූවා ය.
“මුණිවර කවුරු…”
ඒ මුණිවර ගේ අම්මා ය. කෙල්ලන් ගේ සිනහව පුපුරා ගියේ ය.
“නම් නං කීයක්ද…වැඩක් නෑ දැං ඒවනං කියලත්”
“බලාගෙන යනකොට අයියල අක්කල නංගිල යාළුවො හැම දේම කරගෙන අන්තිමට මේ අපිට යුතුකමක් විදිහට විතරක් කියනව නේද නංගි…”
“මොකට කියනවද ඒ හරිය”
“කමක් නෑ ඉතිං යුතුකමට හරි අපිවත් මතක් වෙච්ච එක ලොකු දෙයක්නෙ”
“මොකෝ දැං අපි කැමති නොවුණයි කියල මේගොල්ලො අත්ඇරල දාන එකක්යැ මේව…”
“වැඩේ කියන්නෙ ලොකු තාත්ත ඔක්කෝටම වඩා සපෝට් කරපු එකනෙ”
“මන්දාකිණී අයියටත් කලින් අල්ල ගත්තෙ ලොකු තාත්තවනෙ. ලොකු තාත්තත් මේ අපි කොච්චර කිව්වත් පුහුල් පොලින් එළියට අඩියක් තිබ්බෙ නැති මනුස්සය. මන්දාකිණී කිව්ව විතරයි මිස්ට් ෆීල්ඩ් එකේ සුපර්වයිසර් වෙලයි නතර වුණේ”
ආදරේ ම කරන මිනිසුන් අතරේ දී ජීවිතය මොන තරම් සුන්දරද හා පහසු ද කියා මා හරියට තේරුම් ගත්තේ එදා ය. ඒ සන්ධ්‍යාව සතුටින් ගත ව ගියේ ය. තවත් හෝරා කිහිපයකින් එහෙව් ආරංචියක් සවන් වැකෙතැයි අප කිසිවෙකු සිහිනයෙන් හෝ සිතුවේ නැත. ජීවිතයක් මත්තේ ඉරණම එහෙව් සරදමක් කරන්නේ කොහොමද කියා මම තවමත් සිතමි.