මිනිසුන්ට ඒ තරම් ඉක්මනින් වචන වෙනස් කළ හැක්කේ කෙසේ දැයි මට සිතා ගන්නට බැහැ.දිල්හානිව ඔවුන් කිසිවෙකුත් ප්‍රිය කරන්නේ නැති බව,ඇයට කිසිවෙක් සමග හොඳින් සිටින්නට බැරි බව මට පැවසූ සුධාරකගේ සහෝදරියන්ම දැන් “පවුල ගොඩ නගන මෙහෙයුමකට” සැරසෙමින් සිටියා.
“අයියා,දිල්හානිගේ වැරදි ඇති.ඒත් දැං ඔයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.මේ පවුල කඩා ගන්න බැහැ.අනුරාධා ඒ කාලේ වගේම තාමත් ඔයාට ආදරේ ඇති.ඒත් මේ වැඩේ හරි නෑ නේද? දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්න ඕනෑනෙ”
එවැනි වචන ඔවුන්ට පවසන්නට තිබූ බව මමද පිළිගන්නවා.සමාජ සම්මතය අනුව මා නිවැරදි ගැහැනියක නොවන තැන් ඇති බවද මා පිළි ගන්නවා.අප්‍රමාණ ප්‍රේමයකින් සුදාරකගේ ලෝකය යළි ගොඩනැගූ බවත්,ඔහු නිසා සතුටින් ජීවත් වූ බවත්,මේ මොහොතේ පවා ප්‍රතිචාර දක්වන්නේ මගේ සහ දියණියගේ කටහඬ වලට පමණක් බවත් මම හොඳින් දන්නවා.එනිසා මගේ හෘදසාක්ෂියට මා වැරදි කාරියක් වන්නේ නැහැ.නමුත් මේ සමාජ සම්මතය පෙරදි මතු වූවානම් මට ඔවුන්ට එකඟ වන්නට තිබුණා.
නමුත්,ලෙඩ ඇඳකට වී ජීවිතය සහ මරණය අතර සටන් කරන මිනිසෙකුට හදිසියේ ගොඩනඟා දෙන්නට සැරසෙන පවුල කුමක්දැයි මට වැටහුණේ නැහැ.තමන්ගේ තාත්තා පිළිබඳ අභූත චෝදනා කර පලාගිය වැඩුණු දරුවන්ට වඩා අප්පච්චිව තමන්ගේ ලෝකය බවට පත් කරගත් කුඩා දියණියකගෙන් ඔවුන් උදුරා ගන්නට සැරසෙන සතුට ගැන මට වැටහීමක් තිබුණේ නැහැ.
ඒ කුමක්දැයි මා වටා සිටි හිතවත් මිනිසුන් දැන සිටියා.නමුත් මට එය තේරුම් ගැනීමේ හැකියාවක් වත් ඒ මොහොතේ තිබුණේ නැහැ.
සුදාරක ලෙඩ ඇඳට වැටී කලක් නිසා ඔහු වෙනුවට අනුප්‍රාප්තිකයෙකු පත් වී ආවා. සුදාරකට දෙකෙන් එකක් වන තුරු පවුලේ උදවිය බලා සිටියාට ඔහු නිසා නිලයක් හිමි වූ මහත්මයාට පවා එහි සතුටක් වූයේ නැහැ.වැඩ බාර ගත් පසු ඔහු සුදාරක දකින්නට විත් තිබුණා.ඒ මොහොතේ මා එතැන නොවූවත් සුධාරකගේ අම්මා එතැන වූ බව මම දැනගත්තේ පසුව.
“මට මේ මිනිස්සුන්ව තේරෙන්නෙ නෑ.සුදාරකගේ ජීවිතය බේරෙන්න තියෙන්නෙ ඉතාම පොඩි ඉඩක් කියලා අද ඩොක්ටර් මට කිව්වා.ඒ ඉඩ සියයට දශම ගාණක්.ඒ දශම ගාන වැඩි කරගන්න නම් අපට කරන්න දේවල් ගොඩක් තියෙනවා.ඒත් ඒ මොනවද කියලා විලාප දීලා අහන්නේ නැතුව ඇහෙන් කඳුළක් වැටෙන්නේ වත් නැතුව සුදාරකගෙ අම්මා අහගෙන හිටපු විදිය මට හිතාගන්නවත් බෑ.අපිට ඒ මනුස්සය උවමනා තරමටවත් ගෙදර මිනිස්සුන්ට එයාව ඕනෑ නෑ.මිසිස් අනුරාධා පිස්සුවෙන් වගේ බෝධිපූජා තිය තිය ඇවිදිනකොට මේ මිනිස්සු හැමදාම වීදුරුවෙන් මෙහා පැත්තට ඇවිල්ල බලන්නේ පණ යන වෙලාව ද කියන එක මට සැකයි.”
අලුත් පත්වීම ලබා සුධාරක බලන්නට ආ ඔහුගේ මිත්‍රයා කණිෂ්ඨ සේවකයන් සමඟ එසේ පවසා තිබුණේ ඉතාමත් කෝපයකින්.නමුත් යථාර්ථය එය බව මා දැන සිටියා.
තමන් වටා විශාල කුමන්ත්‍රණ රැල්ලක් දියත් වීම ගැහැනියකට දරා ගැනීමේ හැකියාවක් නැහැ.මා විශ්වාස කළ මිනිසුන් මගේ ජීවිතය විනාශ කර දමන්නට අර අඳිමින් සිටියා.ජීවත්වන නිවස පවා මට අහිමි කිරීමේ මෙහෙයුමක ඔවුන් නිරත වී සිටින බව මට වැටහෙමින් තිබුණා.පවුලක් ලෙස එක්ව ජීවත් වීමට සුදාරක ට තිබූ ආශාව මල්ඵල ගන්වන්නට සෑම වෙහෙසක් ම දැරූ මට පවුල පමණක් නොව ජීවත්වන නිවස පවා අහිමි කරන සැලසුම් ගැන මා දැන ගන්නා විට පෙරහැර බොහෝ දුර ගොස් තිබුණා.
නමුත් සටන් කිරීම මට හැමදාම උරුම වී තිබූ දෙයක්.
ඉතා නිහීන ලෙස මගේ ජීවිතයේ අවම අයිතිවාසිකම් පවා මගෙන් උදුරා ගන්නට සැරසුණු මිනිසුන් පිරිසක් ගැන කතාවක් හෙට සිට ඔබට කියන්නට මම සූදානම්.
(අහිමි සිහින සැප්තැම්බර් පළමුවැනිදා සිට රාත්‍රී අටට බලාපොරොත්තු වන්න)