සීත මාරුතේ – 57

රිය තුළ උණුහුම තිබිණ. රිය වටා හැම වායු අංශුවක් ම පරිසමාප්ත ශීතලක් දැරුවේ ය. මම ඒ උණුහුම තුළ ශීතල වෙමින් ද ශීතල තුළ උණුහුම් වෙමින් ද විශ්වයෙහි ඔබ මොබ සරණා අංශුවක් ව සිටියෙමි. සන්තෝෂයේ පරමාණු වලින් ඒ අංශුව තැනී තිබුණේ ය. නමුත් අළු යට ගින්දර තිබිය හැකිවා සේ, සතුට කියනා පරමාණුක න්‍යෂ්ටිය වටා කඳුළු බින්දු නමැති ප්‍රෝටෝන කැරකෙමින් පැවතිය හැකි ය. මේ වෙලාවේ මට ඕන වුණේ කඳුළක් ගැන හිතන්නට නොවේ. සතුටක් ව වාං දමන්නට ය.

වැස්ස දිගට ම වැස්සේ ය. ගහ කොළ තෙත බරිත ව පොළොව දෙසට බර වී ගෙන තිබිණ. අහස මොන තරම් වැහි දුන්නත් පොළොව එපා කියන්නේ නැත. ප්‍රේමය මොන තරම් සිත් තැවුල් ළඟා කළත් බැඳීමක් අත් හැර පලා යාම පහසු නැත.

මේ මුණිවර ට මට පෙම් කළ බවක් මතක නැත. එතකොට මට දැනෙන්නේ මේ මා පෙම් කළ ඔහු නොවේ කියා ය. ඒ නිසා ම මම ඒ බැඳීමෙන් දුරස් වී ඉන්නට හැදුවෙමි. නමුත් වැඩි දිනක් එසේ කළ හැකි වූයේ නැත. මම මිස්ට් ෆීල්ඩ් වෙත යාමේ උමතුවකින් ආතුර ව සිටියෙමි. මුණිවර යක්ෂාවේශයෙන් ගුරු නිවාසයට ආවේ ඒ අතරේ දවසක ය. වැඩ කරවා ගන්නට සේවකයෙක් අවශ්‍යයි කියා තැවෙනා විදිහේ දුර්වලයෙකු නොවේ ඔහු. එක සේවකයෙකු වෙනුවට අලුතෙන් දහයක් ගත හැකි විදිහේ ගර්වයකින් පිරුණු මිනිසෙකි ඔහු. එසේ නම් කඩා බිඳ ගෙන ඔහු මා සොයා ආවේ, පරණ ආදරය කෙසේ වී ද අලුතෙන් ආදරය කරන්නට පටන් ගෙන ඇති නිසා නො විය හැකි ද? අදීශ් හා මා අතරේ වන ඇසුර ගැන ඔහු හැසිරුණ ආකාරයේ වන්නේත් ඒ ආදරය නිසා උපන් ඊර්ෂ්‍යාව නොවේ යි කිව හැකි ද? හිම තට්ටුවක් පලා ගෙන පූදිනා ටියුලිප් කැකුලක් වන් චමත්කාරයක් මා තුළ මෝදු වන බවක් දැනිණ. මොන තත්වයෙන් වී ද ඔහු පිළිගැනීම ප්‍රේමය විසින් බලාපොරොත්තු වන දේ යයි නො සිතිය යුතු ද? එදා රිය අනතුරෙන් මුණිවර ගේ මොළයට හානියක් නොවී අත පය අහිමි වී නම් මම ඔහු අතර පලා යන්නෙම් ද? මගේ මනසට අකුණු පහරක් වදිනා කම්පනය දැනිණ. කවරක් සිදු වී ද අත් හැර යාම ප්‍රේමය නොවන බව නොනැවතී වැහි වැටෙන අහස මට කියා දුන්නා සේ ය.

“අම්..දෙයක් කියන්නද…”

දෙවන වරටත් පිට පිට ම මම එක ම කම්පනයට ලක් වීමි. තිගැස්සී මා ඔහු දෙස බලත්දී මුණිවර නොදරු සිනහවක් රැඳි මුවින් වට පිට බැලුවේ ය. වැස්සට පාර ලිස්සනා සුළු ය. කඳු වලින් පිටතට පනිනා විශාල දිය පහරවල් තැන් තැන් වල දිස් වේ. හදිසියේ මට සිහි වූයේ ෆාම් එකේ වැඩට ඉන්නා ස්ත්‍රී පුරුෂයන් ගේ දුක් අඳෝනාවන් ය. වැස්ස මට මෙන් ඔවුන් ට සුන්දර වන්නේ නැත.

“මොකද්ද…”

මා ප්‍රශ්න කළේ මුණිවර කිසිත් නොකී නිසාවෙනි. 

“ම්..”

ඔහු සසල බවින් ඉක්මන් බැල්මක් හෙළුවේ ය.

“දෙයක් කියන්නං කිව්වෙ..”

“අම්..නෑ..වැස්ස නවතින එකක් නෑ වගේ…”

මම දෙතොල් තද කර ගෙන නැවත ද කවුළුවෙන් පිටත බලා ගතිමි. මුණිවර ඉන්නේ කැළඹීමෙනි. මගේ මුව මඳහසකින් උණුහුම් වේ. ඔහු ට කියන්නට තිබෙන කාරණය එය නොවන බව මට දැනේ.

“මං…මේ වගේ මෝටර් ඇක්සිඩන්ට්ස් වලින් බ්‍රේන් ඩැමේජ් වෙලා මෙමරි ලොස් එකක් වෙන ඉන්සිඩන්ට්ස් ගැන ටිකක් ස්ටඩි කළා”

මගේ අර සිනහව කොහෙන් වාෂ්ප වූවා ද කියා සිතා ගත නො හැකි විය. මොකක්දෝ බරක් පපුවේ හිර වී හුස්ම ගැනීම අසීරු කළේ ය.

“මට හිතෙනව…යන එන ගමන් කොහෙ හරි ජීප් එක හප්පගන්න..එහෙම නැත්තං ඔය කන්දකින් පෙරළෙන්න හරි…”

“පිස්..සු..ද..”

මටත් නො දැනී මගේ වමත ඔහු ගේ මුව වසා තිබුණේ ය. මුණිවර ඇස් පහළට හරවා මුලින් ඒ අත දෙස ද, අනතරු ව ඇස් කොනෙන් මදෙස ද බැලුවේ ය. මම වහා මගේ අත මුදා ගතිමි.

“ඒ වගේ කතා කියන්න එපා මිස්ට මුණිවර”

“අම්..නැති වෙච්ච මතකයක් ආයෙ එන්නෙ එහෙමලු”

“ඒ මතකෙ නැති වුණාට කමක් නෑ”

මා හුස්ම ගත්තේ වේගයෙනි. අප අවට වායු අංශු වල බරක් ගැබ් වෙමින් තිබිණ. මගෙන් කිහිප වරක් සුසුම් ගිලිහී ගියේ ය. අපි යම් කිසි තැනක සිර වී සිටින්නෙමු. එතැනින් නිදහස් වීමට තවමත් අපි දෙදෙනා ම අපොහොසත් ව සිටිමු. එසේ වූවා කියා ප්‍රේමය ක්ෂය වී ගොස් නැත. ප්‍රේමයේ අලුත් හැඩය තවමත් සිය නියම වේශයෙන් අප ඉදිරියට පැමිණියේ නැතිවා පමණකි. දැඩි කර ගෙන ඉන්නා හිත ලිහිල් කොට ඊට ඉඩ හසර තනා දෙන්නෙමැයි මම සිතා ගතිමි.

“දෙයක් කියන්නද…”

මුණිවර තිරිංග තද කරමින් ම රියෙහි වේගය බාල කළේ ය. මම සිනහවකින් වත සරසා ගතිමි.

“වැස්සෙ තෙමෙමුද…”

ඔහු හයියෙන් සිනහ වූවේ ය. ඊළඟට පසෙකට කොට රිය නතර කළේ ය. පාරේ දකුණු පැත්ත හෙළ ය. නමුත් එය වැහි දිය නිසා සුදු පාට හිම පොකුණක් සේ දිස් වේ. පාරේ අනිත් පස කුඩා ලෑලි කඩ ය. වැස්ස අතරින්, ඒ කඩ පිටුපසින් දුමක් ඉහළ යනු පෙනිණ.

“අසනීප වෙලා වැඩට එන්න බැරි වුණාම කවුද වැඩ කරන්න ඉන්නෙ…”

“ට්‍රේන් වෙන්නං කියපු ධාරාවත් පන්නගත්තා. තාම ට්‍රේන් කරවන්න නෙනෙක් ගත්තෙ නෑ”

“අම්..බලන්න ඕන ඇඩ් එකක්වත් දාල කෙනෙක් හොයා ගන්න”

ආඩම්බරකාරයා කවුරුවත් ඕනෙ වෙන එකක් නෑ කියා කියාවියි බලාපොරොත්තු වූ මම බලාපොරොත්තු බිඳ වැටීමෙන් නොරිස්සුමට පත් ව ඉවත බලා ගතිමි. වැහි දිය බිම සෝදා ගෙන පහළ නිම්න කරා ඇදී යමින් තිබිණ. 

“අම්…දෙයක් කියන්නද…”

මම හිස තබා ඇසක් හෝ හරවා නො බැලුවෙමි.

“උණු උණු පොල් රොටී කමුද…”

මා හා කියන්නටත් පෙර ඔහු රථය පෙට්ටි කඩයක් අයිනට ගෙන නැවැත්වී ය. වෛවර්ණ ලොකු කුඩයක් ඉහළා ගත් මිනිසෙකු රියදුරු අසුන වෙත පැමිණ බුලත් කහට බැඳුණ දත් පෙන්වා අහිංසක සිනහවක් පෑවේ ය.

“අපිට පොල් රොටී දෙන්න කට්ට සම්බල එක්ක”

“නෝනනං රොටි කාල ඉඟුරු තේ එකක් හරි කෝපි එකක් හරි බොන්න කැමති වෙයි”

කඩකරු මුහුණ රිය තුලට හරවමින් මදෙස බලා කීවේ ය. මම ඔහු ට සිනහවකින් සංග්‍රහ කළෙමි. ඒ තරම් රස පොල් රෝටී හෝ ලුණු මිරිස් මා ඊට පෙර කොහේදී හෝ රස බලා නැති බව විශ්වාස ය. රොටි වල උණු වැඩි කමට මම ඒවා අතින් අත මාරු කරමින් අත පිච්චෙන එක වලකා ගන්නට තැත් කළෙමි. මුණිවර සිනහ වෙවී රොටිය සියතට ගත්තේ ය.

“මං අල්ලං ඉන්නං. ඔයා කන්න”

හදවත් බිත්තියක් නාය යාමකට හසු විය. මම එය තනිව මා තුළ ම රඳවා ගතිමි. ලුණු මිරිසේ දැවිල්ල සහිත ව උණු ඉඟුරු තේ බොත්දී කට පිච්චීම තවත් වැඩි ය. නමුත් ඒ සියල්ල තුළ වන්නේ ජීවිතයේ කවදාක හෝ වළඳා තිබිය යුතු ම රසයකි.ජීවිතය වූ කලී අපට ටික කලකට ලැබෙනා යමකි. ඒ කෙටි කාලය තුළ එහි හතර මායිම ගවේෂණය කරමින් විඳ ගැනීම හෝ විඳවීම අපේ තෝරා ගැනීමකි. ඉරණම විසින් ජීවිතය කියන දේ අපට දෙන්නේ ම තෝරා ගැනීමක් ලෙසට ය. අප තෝරා ගන්නා දේ මත විඳීම හෝ විඳවීම තීරණය වේ. මේ කුඩා රිය තුළ ද ඉන් පිටත ද මා වඩාත් කැමති විදිහේ ලෝකයක් තිබුණේ ය. පවුලේ සාමාජිකයන්ගෙන් පරිබාහිර ව මෙලොව මා වඩාත් ම රුචි වූ මිනිසා මගේ පසෙකින් හිඳී. කැමති අය සමග කැමති ලෙස ක්‍රියාකාරකම් හි යෙදීම ජීවිතය නම් වේ. මේ මොහොත තුළ මම ජීවිතය තර කොට අල්ලා ගතිමි.

වැස්ස දිගට ම ඇද හැළුණේ ය. ඉනික්බිති මට කඳුකර වැස්ස වඩාත් ලස්සනට පෙනුණා කියා සිතමි. 

“හරි ඉතිං එහෙමමයි කියමු. හැබැයි ආයේ ඉතිං අලව්යූ කියන්න තව මාස හත අටක් යයි”

හැන්දෑවේ කෙල්ලෝ එසේ කියමින් සිනහ වන්නට වූහ. 

“මොනා වුණත් ඒ වගේ දිග වසන්ත කාලයක් තියන එකත් ජීවිතේට හොඳයි”

“මුණිවර සිං රාජ්පුත් ඔය වගේ ග්‍රීන් ලයිට් එකක් දුන්නෙ අදීශ් ගැන හිතන්න ඕන නෑ කියන්න කියලයි මටනං හිතෙන්නෙ”

මා විශ්මයට පත් කරමින් රෑ බෝ වත්දී මුණිවර අදීශ් සමගින් ම ගුරු නිවාසයට ගොඩ වූයේ ය. ඔහු අදීශ් කැටිව ආවේ ඇයි කියා මට සිතා ගත හැකි වූයේ නැත. මා අදීශ් ගෙන් ඇස් වලින් ඒ ගැන ප්‍රශ්න කළ ද ඔහු සිනහ වෙවී සිටියා මිස සතුටුදායක පිළිතුරක් දුන්නේ නැත. 

“මල්ලි බාබකිව් නයිට් එකක් ගැන කියෝන නිසා සර්..මං කල්පනා කළේ මිස්ට් ෆීල්ඩ් එකේ වැඩේ අරේන්ජ් කරන එක හොඳයි නේද කියල. මොකද..මේ වැස්ස එක්ක එහෙම දෙයක් කරන්න ෆැසිලිටීස් තියෙන්නෙ එතනනෙ…සර් අකමැති නැත්තං”

මට කාරණය වැටහුණේ එතකොට ය.

“මං අකමැති වෙන්නෙ මොකටද පුතා…ජීවිතේ තියෙන්නෙ සතුටෙන් ගත කරන්න. හම්බ වෙන හැම මොහොතක් ම සතුටෙන් ගත කරන්න ඉගෙන ගත්ත මනුස්සයට ජීවිතේ කියන්නෙ ගිෆ්ට් එකක්”

අප්පච්චි දේවදූත ස්වරයකින් අවසර දුන්නේ ය. ගුරුතලාවට පැමිණි මුල් යුගයේ හදවත වූ රසය මුසු ගැස්ම යළිදු මට දැනෙන්නට විය.

 මුණිවර අදීශ් ව ද මේ වැඩේට සම්බන්ධ කර ගන්නට ඇත්තේ මා ගැන ඔහු ට වන අයිතිය ගැන අදීශ් ට ඒත්තු ගැන්වීමට විය යුතු යයි නංගී කීවා ය. විශේෂ ම දේ වූයේ පසු දා හවස් වන විට දසුන් ද මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණ තිබීමයි. 

“මං මේ කල්පනා කරන්නෙ කවදාවත් නැතුව මුණිවරය මේ වගේ දේකට මට ඉන්වයිට් කළේ ඇයි කියලයි”

අදීශ් මා පසෙකට කැඳවා ගෙන, එකතක් පපුවෙහි බැඳ අනෙක් අතින් නිකට පිරිමදිනා ගමන් කීවේ ය. මම සිහින් සිනහවක් නගා ගතිමි. 

“මූ මට පරලොව යන්න ලේසි මාර්ගයක් අරේන්ජ් කරල වෙන්න බැරිද…මට මේ තියන කෑමක් කන්නවත් නිකං බයයි බයයි වගේ”

එවර මම හඬ නගා සිනහ වීමි. ඈතක සිටි මුණිවර හැරී බැලුවේ ය. ඔහු ගේ ඇස් මා ලුහු බඳින්නට පටන් ගෙන ඇති බවක් මට දැනිණ. විශේෂයෙන් ම මා අදීශ් සමග ගැවසෙන විට ඔහු ගේ විශේෂ අවධානය අප වෙත යොමු වේ.

“එකම කොල්ලා එකම කෙල්ලට දෙපාරක් ලව් කරන එකෙත් අමුතු මෙව්ව එකක් තියෙනව වගේ නේ බං”

දසුන් අප වෙත පැමිණ අදීශ් ගේ උරයක් මතින් අතක් දමා ගත්තේ ය. 

“ඒ වුණාට දසුන් අයිය…මටනං මූ ගැන ශුවර් නෑ. හීන් නූලෙන් වැඩේ දෙන්නෙ. මට සැකයි මූ මේ වැඩේට මාව ජොයින් කර ගත්තෙ මොකටද කියල”

ජීවිතය යනු හැම දවසක් ම අලුතෙන් පටන් ගත යුතු චාරිකාවක් බව මට පසක් වෙමින් තිබිණ. හැම මොහොතක ම තිගැස්ම ද උණුහුම ද පවත්වා ගත යුතු ය. මුණිවර ගේ අම්මා ද විදුනි ගේ පවුලේ අය ද රෑ වෙත්දී පැමිණියහ. පොඩි නංගී ගේ විභාගය නිසා ඇය විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයේ නතර වී පාඩම් කරමින් සිටියා ය. තරුණයන් තිදෙනෙක් ද මගේ මිතුරියන් දෙදෙනා ද සමග තරුණියන් පස් දෙනෙක් ද ලොකු තාත්තා, අප්පච්චි හා අම්මලා දෙදෙනා ද ලෙස වැඩිහිටියන් ද නියෝජනය වී තිබි නිසා එතැන වූයේ කදිම සංයෝජනයකි. තරුණයෙක් ද පොඩි දරුවෙක් ද නොවන අතරමගක සිටියේ මල්ලී විතර ය.

ගී සාජ්ජය ඇඳිරි වැටෙන්නට පෙර ම ඇරඹිණ. ආරම්භක ගායකයා වූයේ ලොකු තාත්තා ය. ඔහු ඩොල්කිය ගසමින් මිල්ටන් පෙරේරා ගේ ගීත කිහිපයක් ම ගැයුවේ ය. ඊළඟට අප්පච්චි ට ගීයක් ගයනා ලෙස මුණිවර ඇවිටිලි කොට සිටියේ ය. අප්පච්චි අම්මා සමගින් ‘මගෙ මන්ද්‍රි නම් බිසෝගේ’ නමැති නූර්ති ගීය ගැයුවේ ය. ඒ ගීය ගැයෙනා අතරේ ලොකු තාත්තා මාව පසෙකට කතා කරගෙන ගියේ ය.

“ඇයි ලොකු තාත්තෙ…”

මට වූයේ කුතුහලයකි.

“පොඩි කාරණයක් තියෙනව දුව කියන්න”

ඒ කුමක් දැයි නො දැන ම හද ගැස්ම වේගවත් වෙනවා මට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles