නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් සැකසේ.නම් ගම් මනඃකල්පිත වේ.
දේවිකා සහ මහින්ද ජයසිංහ යුවළ පනස් දෙහැවිරිදි යුවලක්.ඔවුන් දෙදෙනා සරසවි සමයේ ප්‍රේමය ආරම්භ කර ඉන්පසු ඉතාමත් උත්සාහයෙන් ජීවිතය ගොඩනඟා ගත් යුවලක්.මලිති සහ නිපුනි ඔවුන්ගේ දියණියන් වුණා.මලිති උසස්පෙළ හදාරා වෛද්‍ය පීඨයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි අතර නිපුනි සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය හැදෑරුවා.
“මම දන්න ගෑනු ලමයෙක් ඉන්නව අම්මා තාත්තා නැතුව අසරණ වුණු.මේ ළමයාට ඉන්න හිටින්න තැනක් නෑ.ඔයාලටත් ඉන්න දුවලා දෙන්නෙක් නිසා මෙයාව හදාගන්න බැරි වෙයිද?”
දේවිකාට සමාජ සේවා සංවිධානයක මිතුරියකගෙන් එවැනි ආරාධනයක් ලැබෙන්නේ ඒ කාලයේදී.උණුවන හදක් ඇති මිනිසුන්ට උදවු කිරීමට කැමති දේවිකා ඒ ඉල්ලීම ඉතාමත් කැමැත්තෙන් පිලිගන්නවා.ඇය ඒ තරුණිය වූ ශානිකා රැගෙන එන්නේ තමන්ගේ දියණියක ලෙස හදාවඩා ගැනීමට බලාපොරොත්තු ඇතිව.ශානිකා කෙට්ටු සිරුරැති මලානික පෙනුමක් සහිත තරුණියක්.නමුත් ජයසිංහ නිවසේ ආදරය මත ඇය සුන්දර පෙනුමක් සහිත තරුණියක් බවට පත් වෙනවා.දේවිකා ඇය පරිගණක පාඨමාලාවකට ද සම්බන්ධ කරනවා.
“දුවව කැම්පස් එකට ඇරලලා මං මාසයක් විතර මං ඕස්ට්‍රේලියාවේ පුහුණුවට ගිහින් එන්නම් මහින්ද.දැන් ශානිත් ඉන්නවනෙ.එයාට ඔයාගේ ඔෆිස් එකේම වැඩ පටන් ගන්න පුලුවන්.චූටි දුවටත් තනියක් නෑනෙ”
දේවිකා එසේ පවසා ශානිකාට නිවස භාර දී විදේශගත වන්නේ සැනසීමෙන්.නමුත් ඇගේ සැනසීම අහිමි වී යන්නට හේතුවක් සැකසෙමින් තිබූ බව ඇය දැන ගන්නේ නිවසට නැවත පැමිණි පසුව.මහින්ද සහ ශානිකා අතර සම්බන්ධයක් ගොඩ නැඟී ඇති අතර එය ඉතා දුරදිග ගිය සම්බන්ධතාවයක් වී අවසන්.ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාව කරන මහින්ද ඇය වෙනුවෙන් වියදම් කරමින් ඇයට දැඩි ලෙස බැඳී සිටියා.
“මේ විකාර බලාගෙන මට මෙහෙ ඉන්න බෑ.චූටි දුව ලෑස්ති වෙන්න ආච්චිගෙ ගෙදර යන්න.”
දේවිකා එසේ කියන්නේ සැරෙන් සහ කලකිරීමෙන්.ඇය නිපුනිවත් රැගෙන තමන්ගේ මහ ගෙදර යන්නේ කිසිම ඉතුරුවක් හෝ ආදායමක් නැතිව.හොඳ රැකියාවක් කරන ගැහැණියක වුවාට ඇයට පදිංචි නිවසේ හෝ වාහනවල අයිතිය නැහැ.ඒවා අයිති මහින්දට.තමන්ගේ මිල මුදල් වියදම් කර තමන්ගේ නමට ණය ලබාගෙන උපයා ගත් දේපල සැමියාගේ නමට ලියා තිබීම ගැන. ඇයට මුලින්ම වේදනාවක් ඇති වන්නේ ඒ මොහොතේ.දැඩි ගැටුමක් ඇති වෙන අවස්ථාවේදී දේවිකාගේ කටින් පිට වූ එක්තරා වචන කිහිපයක් නිසා මහින්ද ඇය සමඟ දැඩි වෛරයෙන් පසු වෙනවා.
නිපුනි අධ්‍යාපනය ලබන්නේ අම්මාගේ වැටුප නිසා.මලිති විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතරම අර්ධකාලීන රැකියා කරමින් තමන්ගේ එදිනෙදා කටයුතු වලට මුදල් සොයා ගන්නවා.සාමාන්‍ය පෙළ හොඳින් සමත් වන නිපුනි උසස් පෙළට ජීව විද්‍යා විෂය ධාරාව තෝරා ගන්නේ අක්කා සේම වෛද්‍යවරියක වීමේ දැඩි අධිෂ්ඨානයකින්.ඉතා සුවපහසු ළමා කාලයක් ගෙවූ ඇයට දැන් අප්‍රමාණ දුක් කම්කටුලු උරුම වුණත් ඇගේ සිහිනය බොඳ වී යන්නේ නැහැ.නිපුනි පළමුවැනි වතාවෙන් ම වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබනවා.
“ශානිකාට දරුවෙක් ලැබිලා.”
ඒ ආරංචිය නිපුනිගෙ ජයග්‍රහණයේ සතුට බොඳ කරන්නට සමත් වුණත් දේවිකා සහ දියණියන් හිත් හදා ගන්නේ වෙන් වූ රැවටිලිකාර පියකු සහ සැමියකු ගැන දුක් වීම අනවශ්‍ය නිසා.
ලෝකයේ බොහෝ දේ වෙනස් කරමින් වසංගතයක් පැමිණෙන්නේ ඔය කාලයේ දී.දේවිකාට රැකියාවෙන් සුපුරුදු වැටුප නොලැබී යන නිසා ජීවත් වීමේ දැඩි අපහසුතා නැගෙද්දී මහින්දගෙන් නඩත්තු ඉල්ලා නඩුවක් ගොනු කිරීමට ඇය තීරණය කරනවා.නමුත් දරුවන් දෙදෙනාම අවුරුදු 18ට වැඩි වැඩිහිටියන් නිසා ඒ නඩුවේ වලංගුභාවය ගැන මහින්ද ප්‍රශ්න නැගෙනවා
“අම්මගේ පැත්ත අරගෙන මට කුණු කතා කියලා බැනපු උඹලට මං සතයක්වත් දෙන්නෙ නෑ.ඉහළට ඉගෙන ගන්න ඕනනම් සල්ලි හොයාගෙන ඉගෙන ගනිල්ලා.”
මහින්ද දියණියන්ට එසේ පණිවිඩ එවනවා.
නඩත්තු නඩුව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා දේවිකා මා වෙතට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.නඩත්තු ආඥා පනතේ පවතින්නේ “තමාව පෝෂණය කර ගත නොහැකි”නම් නඩත්තු ඉල්ලා සිටිය හැකි බවයි.උසස් අධ්‍යාපනය හදාරන මේ දියණියන්ට තමන් හදාරන පාඨමාලාව අනුව රැකියා කරමින් ඉගෙනීමට හැකියාවක් ඇත්තේ නැහැ.අදාල නඩුවේ දී එය නිවැරදිව ඔප්පු කල පසු මහින්දට එක් දියණියකට සැලකිය යුතු මුදලක් බැගින් ගෙවීමට අධිකරණය නියෝග කරනවා.මෙය බොහෝ අය නොදන්නා කාරණාවක්.අවුරුදු දහ අටට වැඩි වුණත් දරුවන් තවම අධ්‍යාපනය හදාරන නිසා තමන්ට තමන් පෝෂණය කර ගන්නට අසීරු බව ඔප්පු කළ හැකිනම් නඩත්තු නඩුව අවාසිදායක වන්නේ නැහැ.
මේ අතර දික්කසාද නඩුව ද දේවිකා පවරන්නේ මහින්දගෙන් කිසිම වන්දියක් නොඉල්ලමින්. මහින්ද උසාවියට ද නොපැමිණෙන අතර ශානිකා සම විත්තිකාරියක කරන්නටවත් දේවිකා ක්‍රියා කරන්නේ නැහැ.නඩුව විභාග වන්නේ exparte හෙවත් ඒකපාර්ශවික නඩුවක් ලෙසයි.
මේ අතර දෛවය තවත් පුදුම සහගත දෙයක් සිදු කරනවා.මහින්ද හෘද රෝගියෙකු බවට පත් වෙනවා.ඔහුව ඇතුළු කරන්නේ මලිති සීමාවාසිකව සේවය කරන රෝහලට.මෙය දැනගත් දේවිකා නිපුනි ද සමඟ ඔහු දකින්නට යනවා.දැන් මහින්ද පෙරදී මෙන් කඩවසම් නැහැ.ඔහු ඉතාමත් දිරාගිය කයක් සහිත මිනිසෙක්.
“ශානිකාගෙ දරුවා මගේ නෙවෙයි කියල දැනගත්තට පස්සෙ මට ජීවිතේ එපා වුණා.ඒකයි තමයි මං අසනීප වෙන්න හේතුව පුතේ.”
තමන්ට වංචා කර තමන් වේදනාවට පත් කළ තාත්තාගෙන් එසේ අසන්නට සිදු වීම දියණියන්ට මොන අන්දමේ හැඟීමක් ඇති කළාදැයි සැබෑවටම මට වැටහෙන්නේ නැහැ.නමුත් මහින්ද බැගෑපත්ව ඉල්ලා සිටි නිසා දික්කසාද නඩුව ඉල්ලා අස්කර ගන්නට දේවිකා කටයුතු කරනවා.මේ ඉල්ලීම දිගින් දිගටම කල් යන අතර අවසානයේදී නඩුව ඉල්ලා අස් කිරීමට කළ යෝජනාව පිළිගන්නට උසාවිය තීරණය කරනවා.ඒ කාරණාව එසේ සිදු වී ඉතාම කෙටි කාලයකින් මහින්ද මරණය වැලඳගෙන තිබුණා.ඊළඟට බූදල් නඩුවක් පැවරෙන්නේ මහින්දගේ දේපල සම්බන්ධයෙන්.ඔහු හා ශානිකා අතර කිසිම නීතිමය බැඳීමක් නැති නිසා සියලුම දේපල දේවිකාට සහ දරුවන්ට ලබා ගන්නට අසීරු වූයේ නෑ. DNA පරීක්ෂණයකින් දරුවා තමන්ගේ නොවන බව ඔප්පු කරගන්නටත් මහින්දට මරණයට පෙර හැකි වී තිබුණා.එය එසේ නොවුණානම් DNA පරීක්ෂාවක් මඟින් මේ මහින්දගේ දරුවෙකු බව ඔප්පු කර බූදල් නඩුවේදී මහින්දගේ දේපල අයිතිය ලබා ගන්නට ශානිකාගේ දරුවාට ද හැකි වෙනවා.
වෛද්‍යවරියක වූ මලිති සහ වෛද්‍ය පීඨයේ උගන්නා නිපුනි සමඟ දේවිකා දැන් ගෙවන්නේ නිහඬ සන්සුන් ජීවිතයක්.මට ඉඳහිටක මුණ ගැසෙන සෑම අවස්ථාවකම ඇගේ නිවී ගිය මුහුණ පවසන්නේ දැන් ඈ අතීත වේදනා අමතක කළ බව මිස අන් කිසිවක් නෙවෙයි.
ප්‍රේමය සහ තෝරාගැනීම් මිනිසුන්ගේ හැඟීම් මත පදනම් වන දේ බව නොපිළිගන්නට අපට සිදුවන බව ඇත්තක්.නමුත් අපට අපේ වගකීම් අමතක කර හැඟීම්වලට වහල්වන්නට බැහැ.ඔබේ සමීපතමයෙකු හැඟීම් වලට වහල් වී ඔබට අසාධාරණයක් කරනවානම් ඔබ අසරණ නැහැ.සොබා දහම ගැන පමණක්ම විශ්වාසය තැබිය යුතුත් නැහැ.නීතිය සෑමවිටම පවතින්නේ ඔබට යහපත සැලසීම පිණිසයි.