“එපා.එහෙම කියන්න එපා”
හිමාෂාට වහාම එසේ කියන්නට සිත් විය.දිනාරාට අනාගතයේදී තෝරාගැනීමක් තිබෙන්නට ඉඩ ඇති බවට රවිඳු පැවසූයේ දැනට පැය කිහිපයකට ඉහතදී ය.සමීප ඇසුරක් නොතිබිණ ද මේ පැමිණ සිටින්නේ දිනාරාගේ පියා ය.රවිඳුට තාත්තා කියන්නට පටන් ගත් අද මද්දහනට පෙර ඇය සෑම විටම තාත්තා අවශ්‍ය බව පැවසුවා ය. වඩා ප්‍රබල වන්නේ හදවතේ බැඳීම් වුවද ලේ බැඳීම් ද අත්හැර ගන්නට අසීරු බව හිමාෂා සිතුවා ය.
“පුතේ,තාත්තා ඇවිල්ලා එන්න අපි යමු.”
දිනාරාගේ දෑස දීප්තිමත් විණ.ඇගේ කුඩා වුවනට පැමිණි ආලෝකය සහන් දකින තුරුම එකම තරමට පැවති බව හිමාෂා හොඳින් දුටුවා ය.
“කෝ තාත්තා.”
සාලයේ අසුනකට බර ව සිටි සහන් දුටු ඇය හිමාෂාගෙන් විමසූයේ නොරිස්සුම් දෑසකින් ය.හිමාෂා පුදුමයටත් කලබලයටත් පත් වූවා ය.දියණිය අසන ප්‍රශ්නයේ අරුත ඇයට නොවැටහෙනවා නොවේ.
“තාත්තා ආවනෙ පුතේ”
සහන් දියණියට දෝත පෑවේ ය.නමුත් දිනාරාගේ දෙනෙත සොයන්නේ ඔහු නොවන බව හිමාෂාට සහතික ය.ඇය නරක් කරගත් මුහුණකින් නිවෙසේ දොර දෙස බැලුවේ වෙනත් කිසිවකු ම නැති බව තහවුරු කරගන්නට ය.
“බබාගේ තාත්තා ඇවිත් නෑනෙ”
දැරියගේ පියා තමන් නොවේදැයි හිමාෂාගෙන් අසන තරමේ කෝපයක් සහන්ට ඇති විය.නමුත් මේ වහල යට එසේ හිතට එන ඕනෑම දෙයක් අසන්නට නො හැකි ය.අතපැන් වත්කර භාර දුන් දියණියගේ ජීවිතය අතැර දැමූ සහන්ට හිමාෂාගේ අම්මා බොහෝ තදින් කථා කළ අතීතයක් වේ.අමායා ද දැන් ළාබාල දැරියක නොවේ. හිමාෂා සියල්ල දරාගන්න තරමටම ඒ අම්මා සහ දියණිය තමන් පිටුදකින වග ඔහු හොඳින්ම දැන සිටියේ ය.
“ඒ බබාගේ අලුත් තාත්තානෙ පැටියො.මේ ඇවිල්ලා ඉන්නෙ ඔයාගෙ නංගිගෙ තාත්තා.”
අමායා හැකි අයුරින් නෑකමක් සොයා දෙද්දී “අලුත් තාත්තා” යන යෙදුම සහන්ගේ හදවතෙහි ඊයම් බරුවකට වඩා තදින් ඇනිණ.ඔහුට කෝපය සහ ශෝකය මිශ්‍රිතව දැනෙන්නට විය.තමන්ට පිය පදවිය මුලින්ම උරුම කර දුන් දරුවා අලුත් තාත්තා කෙනෙකු සොයා ගෙන අහවර ය.කෝපය ඒ වෙනුවෙනි.ශෝකය එසේ වන්නට හේතු වූයේ දරුවාගේ අම්මාගේ හැසිරීම නොව තමන්ගේ හැසිරීම වීම ය.
“ඔයා මැරි කළාද? මම දන්නේ නෑනෙ”
සුහදත්වය මවා ගන්නට තැත් කරමින් සහන් එසේ අසන වග හිමාෂා වටහා ගත්තා ය.ඔහු කිසිදිනක තමන්ව කියවා නොගත්තද ඇයට ඔහු කියවා ගැනීම අපහසු නොවේ.
“තවම නෑ.ඉක්මනින්ම මැරි කරනවා.බබා රවිඳුට දැන් කතා කරන්නේ තාත්තා කියලා.එයාට තාත්තා කෙනෙක් නැති අඩුව දැනෙනවා.ඒ අඩුව පිරෙන නිසා එයා හැමවෙලාවෙම රවිඳුව හොයනව.”
අක්කා මේ තරම් නිදහසට කාරණා කියන්නේ කුමකටදැයි අමායාට නම් ඇතිවූයේ කෝපයකි.නමුත් හිමාෂාට කිසිම ගැටලුවක් ඇති කරගන්නට ඕනෑ වූයේ නැත.
“දූට නංගියෙක් ලැබුණා.”
සහන් ඒ වචන පැවසූයේ ඉතා ආඩම්බරයෙන් නොවේ.ඔහුගේ වචන වල කුමක්දෝ පසුතැවීමක් ඇති බව හිමාෂා හොඳින්ම වටහා ගත්තා ය.නමුත් ඇය ඔහුට සුබ පැතුවේ අහිතක් නොමැතිව ය.වසර කිහිපයකට පෙර ඔහු කුළුදුලේ තාත්තා කෙනෙක් වූ මොහොත ඇය තත්පර කිහිපයකින් සිහිපත් කළා ය.ඔහු සමඟ ජීවිතයේ ඇති එකම සුන්දර මතකය එය නොවේදැයි ඇය අනතුරුව සිතුවා ය. ජීවිතය එබඳු වේ.ඔහු නැවත පිය පදවිය ලබා ඇත.නව විවාහයෙන් පසු තමන්ට ද දරුවන් ලැබීමේ ඉඩක් පවතී.ඒ සෑම දරුවෙකුටම වැඩිමහල් සහෝදරියක් සිටිය ද ඔවුන් අර්ධ සහෝදරයන් වීම දෛවයේ එක්තරා ආකාරයක සරදමක් නොවේදැයි හිමාෂා සිතුවා ය.
“මට දුව එක්ක යන්න ඕන.එයාට චූටි දුව අඳුන්වලා දෙන්න ඕන.”
දියණිය මේ රාත්‍රියේ ඔහු සමග පැමිණෙන්නට ඇති ඉඩ අඩු බවත් හෙට දිනයෙහි ඇය සමඟ අනිවාර්යෙන් රෝහලට පැමිණෙන බවත් හිමාෂා පිළිණ දුන්නා ය.
“මං බබාව එක්කන් එන්නම්!”
අමායා වහා ඉදිරිපත් වූවා ය.කුඩා කිරිකැටියෙකු තුරුළු කරගත් මල්මිව අක්කාට මුණ ගැස්වීමේ කැමැත්තක් ඇයට නොමැත.ඒ නිසා සහන්ගේ ආශාව ඉෂ්ට කිරීම තමන් වෙත පවරා ගන්නට ඇය සිතුවා ය.
“මට රවිඳු එක්ක යන්න පුලුවන් නංගි.”
හිමාෂා තවදුරටත් තනි වූ ගැහැනියක නොවන බව වටහා ගත්තේ අමායා පමණක් නොවේ.එය වඩාත්ම තදින් වැටහුණේ සහන්ට ය. ජීවිතයේ දරා ගත යුතු අවස්ථා දරා ගන්නට දැන් ඇය තනිවම දරා ගන්නේ නැත.”ඔහු”ඇය සමඟ වේ.ගිලිහී ගිය මැණික රැඳුණු ඔටුන්න දැකබලා ගැනීමේ හදිසි ආශාව ඔහුට හටගත්තේ ඊළඟ නිමේෂයේදී ය.
“මම ආසයි දුවල දෙන්න ආදරෙන් ඉන්නවනම්.ඔයයි අමායයි වගේ.”
සහන් ඒ පවසන්නේ චාටු බසක් නොවන වග හිමාෂා තේරුම් ගත්තා ය.ඇය අහිතකින් තොරව හිනැහුණේ ඒ නිසා ය.
“අක්කා මැරි කරනවා නේ.දූට නංගිලා ලැබෙයි.”
අමායාගේ හඬ පිරී තිබුණේ සරදම් ස්වරයකින් ය.තමන් දෙස ඉතා පිළිකුලෙන් බලන්නට පුරුදුව සිටි මේ යුවතිය දෙස සහන් බොහෝ කාලයකට පසු සුහදත්වයෙන් බැලුවේ ය.
“ඇත්තටම මට ඕනේ ඔන්න ඕක.මොන කාරණාවකදී වුණොත් ඒ දෙන්නට දෙන්නා තනි නොකරන එක තමයි වෙන්න ඕන.”
නමුත් කිසිවක් ම ගැන ඕනෑවට වඩා විශ්වාසය තැබිය නොහැකි බව හිමාෂා නම් හොඳින් දැන සිටියා ය.මනුෂ්‍ය සම්බන්ධතාවලට පුරෝකථන දීම ඉතා අසීරු ය.බැඳීමක් තිබූ පළියට එය පවත්වාගෙන යාම ලෙහෙසිපහසු වන්නේ නැත.ඒ නිසා මව්වරුන් දෙදෙනකුගේ කුසින් මෙලොව එළිය දුටු දැරියන් දෙදෙනා යුවතියන් බවට පත්වූ පසු එකිනෙකා දරා ගනීවි දැයි අනාවැකි පළ නොකර සිටින්නට හිමාෂා තීරණය කළා ය.
“ජීවිතේ එන විදියකට බාර ගමු.මම හිතපු කිසිම දෙයක් මේ වෙනකන් ඒ විදියට සිද්ධ වුණේ නැහැ.ඒ නිසා අනාගතය ගැන ඕනවට හීන මවන්න ඇත්තටම ඕන නෑ සහන්.”
හිමාෂා එසේ පැවසුවේ අහිතකින් නොවේ.මේ මිනිසා සමඟ අමනාපයෙන් පසු වූ කාලය අවසන් කරන්නට දවස් එළැඹී ඇතැයි ඇය සිතුවා ය.