රාත්‍රිය මැදියම් යාමය පසු කරමින් තිබිණ.මැදියම නිශ්චල ය.සන්සුන් ය.ඒ නිහඬ බව බිඳී ගියේ හදිසියේ ය.සකී පුරුදු සිහිනයම දුටුවා ය.ඇය ඒ සිහිනයෙන් අවදි වූයේ දහඩියෙන් පෙඟී ගිය සිරුරින් ය.රාත්‍රිය මෙතරමට බියපත් බව ඇයට සිතෙන්නේ එකම සිහිනය නැවත නැවතත් පෙනෙන්නට ගනිද්දී ය.එකම සිහිනය නැවත නැවතත් ඇයට හිරිහැර කරද්දී ය.
“සකී..සකී..”
නිම්නා වහා අවදි වූවා ය.කාමරයේ විදුලි බුබුල දැල්වුණේ ඈ අතිනි.ඇය වතුර බෝතලයක් ද රැගෙන මිතුරිය වෙත වහා පැමිණියා ය. සකී සිටියේ එළඹි සිහියට පත්වෙමිනි.එකම සිහිනය නැවත නැවතත් දුටු බව කියන්නට ඇය අකමැති ය.”සෙලිබ්‍රිටි ක්‍රෂ්” පසුපස ඕනෑවට වඩා නොයන්නැයි නිම්නා බැන වැදීම හැරෙන්නට වෙනත් දෙයක් සිදු වන්නට ඉඩක් නොවේ.
“පාන්දර තුනයි සකී.ඇයි මේ? හීනෙන් බය වුණාද?”
පාඩම් කරන්නට අප්‍රමාණ දේ තිබියදී නින්දට වැටීම ගැන මුලින්ම නිම්නා තමන්ටම දොස් පවරා ගත්තා ය නමුත් ගෙවී ගියේ පොත් බදාගෙන හිඳින්නට සිතෙන රාත්‍රියක් නොවේ.කාලාන්තරයකට පසු ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කළ සතුට හන්දා හදවත ඉපිල ගිය රාත්‍රියකි.කෑගසමින් දඟලමින් රූපවාහිනිය ඉදිරිපිට ගත කළ හෝරා කිහිපයට පසු නිම්නා පැමිණ ඇඳට වැටුණේ යහනේ කොනකට වී කල්පනාබරව හිඳින සකී දෙස නෝක්කාඩු බැල්මක් හෙළමිනි.
රතිඤ්ඤා සද්දෙ ඇහිලද ඇහැරුණේ.අනේ ඉතිං උඹටත් දිනන මැච් එකක් බලන්න පිනක් නෑනෙ.කොහෙන් හරි ඔලුව කැක්කුමක් හදා ගන්නව.ඇඳ බදා ගන්නව.”
සකී ඒ කතාවට දුන්නේ මන්දස්මිතයකි.රටම ප්‍රීතියෙන් ඉපිලෙන මොහොතක පවා ඇයට හිනැහෙන්නට සිතක් නොවේ.ඇය නින්දට නොවැටී ඒ කාරණාව පසුපස ඕනෑවටත් වඩා ගමන් කළා ය.
“හීනෙන් බය වෙන්න ඔයා නිදාගත්තද සකී.මට නින්ද යනකොටත් ඔයා ඇහැරලනෙ.මට කියන්නකො,මොකක්ද ඔයා දැක්ක හීනෙ.මහසෙන් අංකල් ගැන ඕනවට වඩා හිතන්න ගිහින් ඔයා නිදාගන්නෙත් නැද්ද මන්ද.”
සකී ඒ කතාවට පිළිතුරු දෙන්නට නොගියා ය.සැබෑවටම මේ දකින සිහිනය මිතුරිය සමඟ බෙදා ගන්නා සිතක් ඇයට වේ.නමුත් ඒ සිහිනය ගැන විස්තර කිරීම ම ඉතා විශාල ප්‍රශ්න තොගයක ඇරඹුම බව සිතද්දී සකී තීරණය කරන්නේ නිහඬ වන්නට ය.
“ඔයා ඉන්නේ මහා විශාල ප්‍රශ්නෙක.ඒ ප්‍රශ්නෙ මහසෙන් අංකල් කියලා මම දන්නවා.ඒත් සකී,දැන් ඔයාට විසිතුනක්.ඇත්ත පිළිගන්නත් අපට සිද්ධ වෙනවා.අංකල් පුළුවන් තරම් කැන්සර් එකත් එක්ක ෆයිට් කරයි කියලා අපි විශ්වාසෙන් ඉමු.ඔයා අවුල් වෙන්න වෙන්න ගීතානි ආන්ටි අවුල් වෙන්නේ නෑ කියලා අපට කියන්න බෑනෙ.”
මිතුරිය මෙපමණ සංවේදී මාතෘකාවක් ගැන කතා කරද්දී රාත්‍රී සිහිනයෙන් අවදි වීම ද බියට පත් වීමද පසුපස ඇත්තේ තාත්තාගේ රෝගී තත්ත්වය නොවන බව කියන්නට සකීට සවියක් නොවේ.ඇය නිම්නාගේ වචන මඟ හරිමින් හොඳටෝම නිදමින් සිටි රන්මිණිගේ චලනයන් ගැන විමසිලිමත් වූවා ය.රන්මිණි අවදිවීම යනු ටොනාඩෝ සුලි සුලඟක් පතිත වීමකි.හොඳ සනීපයට නිදා ගන්නට ඇති රාත්‍රියක අවදි වී විකාර කිරීම ඇගෙන් හොඳ දෙකක් අසා ගන්නට හේතුවන බව සකී හොඳින්ම දැන සිටියා ය.
“මොකද වුණේ හලෝ?”
රන්මිණි අවදිව යහන මත හිඳගත්තේ එසේ අසමින් ය.සකීගේ තාත්තා දරුණු ලෙස රෝගාතුර වී රෝහල්ගත වූ බව කියන ඇමතුම් ද සාමාන්‍යයෙන් ලැබෙන්නේ රාත්‍රියේ ය. එනිසා පෙරදී මෙන් මහා රාත්‍රියක කාමරයේ විදුලි ආලෝකය දැල්වීම ගැන දෙමිතුරියන්ට දොස් නැඟීම සම්බන්ධයෙන් දැන් ඇය ප්‍රවේසම්සහගත ය. අනෙක් කාරණාව අද හිඳින්නේ නිම්නාගේ නිවසේ ය.බෝඩිමේ දී මෙන් මෙතැන මහ හයියෙන් බැන වදින්නට නොහැකි ය.
“සකී හීනෙන් බය වුණා.කෙඳිරි ගාගෙන කෑගහන නැගිට්ටෙ.”
නිම්නා සිදු වූ දේ විස්තර කළා ය.ඒ සිහිනයට තමන් ඒතරමට කලබල වන්නේ ඇයිදැයි සකීට වටහා ගන්නට නොහැකි ය.රිදුම් දෙන වම් අත පිරිමදිමින් ඇය ඊළඟ මිනිත්තු කිහිපය ගත කළා ය.
“අත තාම රිදෙනවද? ඉන්න මම බාම් ගාන්නං”
සකී දකුණතින් වමත පිරිමැද ගනිද්දී රන්මිණිට දුක හිතෙන්නට විය.ඇය වහා නිම්නාගේ කණ්නාඩි මේසය වේදනානාශක ආලේපයක් ඇත්දැයි විපරම් කරන්නට වූවා ය.
“එපා රන්මි.මේක ඇරිලා යයි.”
සකී ළතැවෙන්නේ ප්‍රශ්නයක් ඇසීමේ අපේක්ෂාවෙනි.කල්පනාවට වැටී ඔහේ සිටීම නිසැක සමාජ ජාලා පිරික්සීමට හෝ ඇයට උවමනාවක් නොතිබිණි.අනෙක් අතට සමාජජාලාවල සැරිසැරීම ම වේදනාව අලුත් වන්නකි.අවසානයේ ඇය හදවතට ආ වේදනාව පැනයක් කර මිතුරියන් හමුවේ තැබුවා ය.
“කප් එක ගන්න වෙලාවෙවත් එතන අහස් හිටියා ද?”
සකී සිහිනයෙන් බිය වී අවදි වූ පසු ඇය වඩාත් ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩකයා ගැන විමසීම ගැන නිම්නාට ඇති වූයේ අමනාපයකි.කුමක් හෝ ගැටළුවක් සඟවා ගන්නට සකී මේ වැඩකට නැති ප්‍රශ්නය ගැන විමසන බව නිම්නාට සහතික ය.ඇය මුහුණ හකුලුවා මොහොතක් නිහඬව හුන්නා ය.
“අහස නෙවෙයි පොළොවත් කම්පා වෙනව ඒ යකාගේ මූණ දැක්කම.දාහට අරන් සත පනහට දීලා වගේ මූණ පශ්චාත් බාගෙ කරගෙන ඉන්න ඕනවට ඔහේ හිටිය. කොහොමත් ඔය යස්සයා ඔය විදියට දිගින් දිගටම ෆේල් වෙන්නයි අඬු කඩා ගන්නයි ගත්තම එයාට ටීම් එකේ ප්ලේස් එකක්නම් නැති වෙනව සහතිකයි.අන්න එදාට තමයි මට නම් වැඩියෙන්ම සන්තෝස.”
නිම්නා කියවාගෙන යද්දී මේ පිටස්තර නිවසක් බවත් මැදියම ගෙවී හෝරා කිහිපයක් ගතව ඇති බවවත් නොසිතා රන්මිණි උස් හඬකින් හිනැහුණා ය.
“අවාසනාවට කියන සමාන පද තියෙනවද?මට දැන් මතක නම් නෑ.හැබැයි ඉස්කෝලේ පෙල පොත් වලට හෙම අවාසනාවට සමාන පදේ අහස් ඉලංගසිංහ කියල දාන්න ඕන. පුදුම අවාසනාවක් තියෙන මනුස්සයෙක්”
රන්මිණි එසේ කියද්දී නිම්නා පසුගිය දින කිහිපයක් තිස්සේ අහස් සමග වූ අමනාපය අලුත් කර ගන්නට වූවා ය.
“අනේ හා.මේ ටුවර් එකේ යන්තන් ඔලුව උස්සා ගත්තා.එතකොටම අන්ඩක් කඩා ගත්ත.ඇත්තටම ඔය වගේ තැනකට යන්න මනුස්සයෙක් දක්ෂ වෙලාම මදි.වාසනාවත් තියෙන්න ඕන.මෙයාගෙ ක්‍රෂ් එකට නැත්තෙම ඒක”
වහාම මිතුරියන්ට විරුද්ධ වන්නට සකීට උවමනා විය.සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක් යන කාණ්ඩයට අහස්ව ඇතුළු කරන්නට නොහැකි බව ඇයට මිතුරියන්ට හෙළි කරන්නට උවමනා ය.නමුත් ඒ කතාව කිසිවෙක් පිළිගන්නා කතාවක් නොවේ.
“ඔයා දන්නවද? මෙයා අද මැච් එක බලන්න නාවෙත් ඔය අහස පොලොවට කඩා වැටිලා තිබ්බ හින්දා.මෙයා හිතන්නෙ ටීම් එකේ ඉන්න අනිත් ඔක්කොම කොල්ලන්ට ක්‍රිකට් බෑ ඒක පුලුවන් ඔය අහස්ට විතරයි කියල.”
තමන් එසේ නොසිතන බව සකී පවසන්නේ නොමනාපයෙනි.එයට නිම්නා කළේ උස් හඬකින් හිනැහීම ය.
“ඔය එක අහසකින්වත් පොළොවකින්වත් අපිට ඇති වැඩකුත් නෑ බං.අපි මේ මැච් බල බලා ජොලියෙ හිටියට එක්සෑම් අනිද්දා.”
රන්මිණි කියන්නේ බියපත් ස්වරකිනි.අවසානය ඒ අකුරකින් කෙළවර වීම වෙනම කතාන්දරයකි.නමුත් විභාගයක් කියන්නේ බියට පත් වීමට කාරණාවක් බව ඇදහීමට රන්මිණි කැමති ය.බිය වෙමින් වෙව්ලමින් ගොස් ඇය ලියන විභාග එතරම් ඉහළ ප්‍රතිඵල වලින් අවසන් වන්නේ කෙසේ දැයි අසමින් නිම්නා නිරන්තරයෙන්ම ඇය හා වාද ඇති කරගන්නට අමතක කරන්නේ නැත.නමුත් රන්මිණිට ඉහළ ප්‍රතිඵල ලැබීම තරමටම බියට පත් වීම ද සාමාන්‍ය දෛනික පුරුද්දක් වී තිබේ.
“මං මේ එක්සෑම් එක නොලියා ඉන්න හිතුව”
සකී වැනි බරපතල ප්‍රකාශයක් සිදු කළේ නිම්නා රන්මිණිට බනින්නට ගොනු කරමින් සිටි වචන ඇය වෙත දමා ගසන්නට ඉඩ සලසමිනි.
“ඒ මොන මෝඩ වැඩක් ද? මං ඔයාගෙන් අහන්නේ ඒක තමයි මොකක්ද ප්‍රශ්නේ කියල.අංකල්ගෙ අසනීපෙ ඔයාට දරා ගන්නත් අමාරු දෙයක් බව ඇත්ත.ඒ වුණාට ඔයාට අංකල්ව සතුටු කරන්නත් තියනව කියල අමතක කරල හරියන්නෙ නෑ.”
මේ මොහොතේ තමන් අසමත්වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව සකී හොඳින්ම දන්නී ය.සැබෑවටම අසීරු වෙතැයි සිතූ පසුගිය විභාගයට සකී හිස කෙලින් තබාගෙන ගිය අන්දම ද ඉහළ සාමාර්ථ ලැබූ අන්දමද සිහි කරද්දී ඇය ගන්නට යන තීරණය ගැන නිම්නාට දැනෙන්නේ අප්‍රසාදයකි.ජීවිතය ඔය තරමට පහසුවෙන් අතැර දැමිය යුතු නොවේ.
“මෙයා කලින් සෙමෙස්ටර් එකේ එක්සෑම් එකට බය වුණේ නෑනෙ.මං ඔයාට කිව්වේ ඒ කාලේ හීනෙන් හිනා උනා.දැන් හීනෙන් බය වෙන්නත් පටන් අරන්.මෙයාගෙ ඔය බයවිල්ලයි හිනාවිල්ලයි මාරුවෙන් මාරුවට බලලා මට ඇත්තටම වෙලාවක හොල්මන් චිත්‍රපටියක් ඇතුළෙ ජීවත් වෙනවා වගේ හැඟීමක් තියෙනවා.”
රන්මිණි කාමරයේ විදුලි ආලෝකය නිවා දැම්මේ එසේ පවසමිනි. නිම්නා එයට පිළිතුරු ලෙස මොනවාදෝ කියන අන්දමට අවධානය යොමු කරන්නට සකීට උවමනා වූයේ නැත.බියකරු සිහිනය සහ සුන්දර සිහිනය වරින්වර තමන් අසල දැවටෙන බව ඇය හොඳින් දන්නී ය.ඒ සිහිනයෙන් අනතුරුව සිදුවන බොහෝ දෑ දැන් ඇයට හුරුපුරුදු ය.වේදනාවට කාරණාව වන්නේ එය කිසිම කෙනෙකු සමග විවෘතව කතාබහ කරන්නට නොහැකි වීම ය.
(ප්‍රබන්ධ කතාවක් මිස සත්‍ය කතාවක් ඇසුරෙන් ලියවෙන්නක් නොවේ)