ඒ වෙලාවේ මිස්ට් ෆීල්ඩ් වෙලා ගත් මන්දාරම් අඳුරක් වූයේ ය. මීට මොහොතකට පෙර වූ සූර්ය රශ්මි ධාරා හදිසියේ ම වලා පටල විසින් වලකා ලූවා සේ ය. කඳුකර කාලගුණය එහෙම ය. මොහොතක් ගානේ වෙනස් වන සුළු ය. මේ මන්දාරම් අඳුර විනිවිදගෙන තව මොහොතකින් අව් රැල්ලක් තැවරී ගන්නට වුව බැරි නැත.
මම මුණිවර ගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ දෑස් අඳුරේ දිළෙනා තාරකා යුග්මයක් සේ නිවෙමින් දිළෙමින් තිබිණ. මුණිවර මගේ ඇස් මගහැරියා කියා සිතමි. සුසුමක් අත්හරිමින් හෙතෙම එසැනෙන් අසුනෙන් නැගිට කලිසම් සාක්කු වල දෑත් ඔබා ගෙන හෙමිහිට කුටියෙන් පිටතට අඩි තැබුවේ ය. ඔහු ගේ දේහ ලක්ෂණ වලට අනුව මට දැනුණේ මට ද ඔහු සමග එන ලෙස ඇරයුම් කෙරෙනා බවකි. මා නැගී සිටියේ සිහිනයකින් සේ ය. හුරු පුරුදු මතක මහෝඝයක් විත් මා පිස හමා යන්නා සේ දැනෙන්නට විය. එය පෙර සංසාරයට අයත් ප්‍රේමයක් ද නැත්නම් මේ භවයේ ම අත් විඳි ප්‍රේමයක් ද කියා වෙන් කොට හැඳින ගන්නට පහසු වූයේ නැත. කොහොම වුණත් ඔහු පසු පසින් ඉතා මුදු අඩි තබා යන මගේ හද මහ මෙරක බර දරා සිටියේ ය. මුණිවර වෙතින් හැමූ සුවඳ පොදක පවා මට දැනුණේ පපුව හිර කරනා විදිහේ ලෝභ කමකි.
හාත්පස මිහිදුම් පටලයකින් නැහැවී යමින් තිබිණ. සීතල මා හැඳ උන් ලා රෝස පාට ශීත කබාය විනිවිද දැනුණේ ය. මම දෑත් පපුවෙහි බැඳ ගනිමින් සීතල තුරුලු කොට ගතිමි. මිස්ට් ෆීල්ඩ් මැදින් වැටුණ පෙත් මග දිගේ මුණිවර හෙමිහිට පිය නැගුවේ ය. මම ඔහු ට වඩාත් සමීපයෙන්, ඔහු පසෙකින්, අඩියක් ඔහු ට පසු වී ගමන් කළෙමි. එතකොට මට මුළු දෑසින් ම ඔහු දැක ගත හැකි ය. විඳ ගත හැකි ය.
“මන්දාකිණි”
ඉතා මන්ද්‍ර වූ ස්වරයකින් ඔහු මගේ නම කීවේ ය. මම සීතලට තෙත් වී ඇති ඇස් පියන් විවර කොට බැලුවෙමි. උස් ස්ථානයක යකඩ වැටක් වට කිරීමෙන් ඉදි කොට තිබූ නැරඹුම් මැදිරියට ඔහු ගොඩ වූයේ ය. මම එහි ඇන්දට බර වී ගතිමි.
“සමහර වෙලාවට මට මොකද්දෝ මතක් වෙන්න හදනව. ඒත් ඊළඟ මොහොතෙ ඒක අමතක වෙලා යනව. ආයෙ කොච්චර මතක් කරන්න හැදුවත්…මතක් නොවී ඈතට ඈතට යනව. අල්ල ගන්න හදන මීදුමක් කඳුකර හුළඟට වේගෙන් ගහගෙන යනව වගේ. ඒ ඔයා ගැන මතකයද කියල මට හිතෙනව. ඒ වෙලාවට පපුවට දැනෙන්නෙ මහ දුකක්. අපිට ඕනම දේවල් සමහර වෙලාවට ඉරණම අපෙන් ඈතට අරං යනවද කියල මන් දන්නෑ. ඒක හරි හිස්කමක් ඉතුරු කරල යන හීනයක් වගේ දෙයක් මන්දාකිණී. මේ දේවල් කොහොම ඔයාට තේරුං කරන්නද කියල නෙවෙයි මං කොහොම තේරුං ගන්නද කියලවත් මං දන්නෑ”
ගුම් හඬ නගමින් මේ මොහොතේ ද හමා ගිය සීතල හුළඟක තිබී මට ද ඒ හිස් හැඟීම දැනුණේ ය. මා පෙම් කළ මිනිසා ළඟ ම හිඳීමින්, මා පෙම් කළ මිනිසා සමග අතීත මතක අතරේ සරන්නට වීම ද ඉරණම මට කළ සරදමක් වන්නට පුළුවන.
“මන්දාකිණී”
කියමින් ඔහු මා පසු පසින් සිට නැරඹුම් මැදිරියේ යකඩ වැට අල්ලා ගත්තේ ය. හද තුළ සීතල හිරි වැටීමක් ඇති විය. එය වචන කළ නො හැකි ස්නේහී හැඟීමකි. යන්තම් හිස ඇල කොට ඔහු ගේ වමත් බාහුවෙහි හිස තියා ගන්නට ඕනෑ යයි ආත්මය කෑ ගසා කියමින් මතුපිටට ආවේ ය. නමුත් මට ඕනෑ මට පෙම් කළ මුණිවර ට එසේ වාරු වන්නට මිස මා අමතක මුණිවරගෙන් ආදරය ඉල්ලා සිටින්නට නොවන බව හිත හදිසියේ ම මුමුණා කීවේ ය. මහත් අසරණ කමක් මා යට කර ගෙන මහ රළක් සේ මතු වූයේ ය. දරන්නට බැරි පීඩනය හෝ ආත්ම අසරණ කම කඳුළු බවට පත් වී කම්මුල් දිග ගලා ගියේ ය. නමුත් මම එක ඉකි බිඳුමකට හෝ ඉඩ නොදී දරා ගෙන සිටියෙමි. මා හඬනා බවක්, ඒ අතීතය ඉල්ලා සිටිමින් මගේ හද වැලපෙන බවක් ඔහු ට දැනෙන්නට හැරිය යුතු නැත. එය මුණිවර ට තව දුරටත් උහුලා ගත නො හැකි පසුතැවීමක් ඉතිරි කරනා බව මට නො රහසකි.
ඒ මොහොතේ අප වට කොට ගත් හැඟුම් රළ පහර ඔහු ට දැනුණා වන්නට පුළුවන.
“අම්..මං ඔයත් එක්ක කතා කරන්න ආවෙ වෙන දෙයක්”
මුණිවර වහා මාතෘකාව වෙනස කළේ ය. ඒත් ඔහු ට මා හඬනවාද කියා හෝ අසන්නට තිබුණා නොවේ ද? මට ඒ හැඟුමන් ගැන විග්‍රහයක් කළ නො හැකි ය.
“ලොකු තාත්ත ගැන”
“ලොකු තාත්ත ගැන…මොනාද..”
“ලොකු තාත්ත කියන්නෙ මට ඉතිහාසයක් මන්දාකිණී. අතීතෙ හැංගිලා යන්න තිබුණ ඒ ඉතිහාසය ආයෙ මගෙ ඉස්සරහට ගෙනත් තියෙන්නෙ ඔයා. ලොකු තාත්ත පුහුල් පොල පරණ මිනිහෙක් විදිහට මැරිල යන්න තිබුණ එක නතර වුණේ…අම්මල නංගිල කියන විදිහට ඔයා නිසා ලොකු තාත්ත මිස්ට් ෆීල්ඩ් වලට ආව නිසයි. ඔයා නිසයි එයා අපේ වර්තමානෙට එන්නෙ. එහෙම නොවුණනං අපි එතනිං යන එන ගමන් අපිට අයිති වෙලා තිබුණ දෙයක් බලල එනව වගේ ලොකු තාත්තව බලල එනව විතරයි. ලොකු තාත්තගෙ හැත්ත දෙවෙනි උපන් දිනේ එනව. අපි ඒක එයා කැමති විදිහට සමරන්න ඕනෙ. අපි ඇහුවට එයා කැමති විදිහක් දැන ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඒක නිසා මන්දාකිණී ලොකු තාත්ත එක්ක කතා කරල බලන්න. අනිත් එක…”
ඔහු එසේ කියා එතැනට පෙනෙන ඈත කඳු යාය දෙස බලා ගත්තේ ය. මම තත්පර ගණනාවක් ම ඒ පසුබිම තුළ ඔහු ගේ ශෝකී මුහුණ දෙස බලා සිටියෙමි.
“අනිත් එක මොකද්ද මිස්ට මුණිවර…”
මම මුදු භාෂිතයකින් ඔහු පිලිවිසීමි.
“අම්..නෑ. ඒක අපි පස්සෙ කතා කරමු. මට ඔයාව තේරෙන්නෑ කියල විතරක් හිතන්න එපා මන්දාකිණි. ප්ලීස්… “
ඔහු ක්ෂණික ව නැරඹුම් මැදිරියෙන් පහලට යන්නට හැරුණේ ය. ‘අනේ තව ටිකක් මෙහෙම ඉමු’ කියා අත දිගු කර ඔහු අල්ලා ගන්නට මගේ අතක් දිගු වූයේ ය. නමුත් ඔහු මගේ අතට හසු වන්නට පෙර මම අතැඟිලි ගුලි කොට ගතිමි. සුවඳ තියා මුණිවර එතැනින් නික්ම ගොස් තිබුණේ ය.
නිදහසේ කඳුළක් එක්ක තනි වන්නට මම ඇස් දෙකට ඉඩ දුන්නෙමි. නමුත් මා හඬන්නේ ඇයි දැයි සැබවින් ම මා වුව නිශ්චිත ව දැන සිටියෙම් ද?
තනිකමක් ඉතා තදින් හිතට කටු තුඩු ඇන්නේ ය. මුණිවර මගේ පිටුපසින් අත දිගු කොට මැදිරි වැට අල්ලා ගත් වේලේ මට ඔහු ගේ අත් බාහුවෙහි හිස හොවා ගන්නට හිතුණේ ඒ තනිකම දරා ගන්නට බැරි තැන ය. මේ දැනුත් ඔහු තදින් බදා හැඬීමේ උවමනාවක් මට දැනේ. ඒත් එසැනෙන් මොකක්දෝ බලවේගයක් විසින් මාව තිගස්වා වෙනතක විසි කරයි.
ඒ වෙලාවේ අදීෂ් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. තිරය මත ඔහු ගේ නම දකිත්දී මගේ මුවගට සිනහවක් එන්නට ඇත.
“හොඳ වෙලාවට ඔයා ගත්තෙ”
මම ඒ සතුට නො සැඟවූයෙමි.
“හැම දාම මං හොඳම වෙලාවටනෙ ඔයා ඉස්සරහට ආවෙ. ඉතිං කියන්නකො අද මොකද්ද කාරණේ කියල”
“මට දුකයි”
“හේතුව…”
“හේතුවක් හරියට කියන්න බෑ. ඒත්…මුණිවර දැන් මාත් එක්කකතා කර කර හිටිය. මිස්ට් ෆීල්ඩ් වල වීව් පොයින්ට් එකට අපි ඇවිදං ආව කතා කර කර. එයාට මොනාහරි මතක් වෙන්න හදනව. මට මොනාහරි කියන්න ඕන කියල දැනෙනව. ඒත් අපි දෙන්නම එක තැනක හිර වෙනව. මේක හරි අමාරුයි අදීශ්. ඕන කෙනෙක්ට කියන්න පුළුවන් අපිට මෙතනිං පටන් ගන්න පුළුවන්නෙ කිසි ප්‍රශ්නයක් නෑනෙ කියල. ඒත් කතාවක් මුලින් පටන් ගන්නව කියල හිතං මැදින් පටං අරං වැඩක් නෑ අදීශ්. ඒක තේරෙන්නෙ මේ තත්වෙට පත් වුණ කෙනෙක්ට විතරයි”
“ඉතිං අඬනවද ඔය..”
“කඳුළු එනව සමහර වෙලාවට නවත්ත ගන්න බැරුව…ඒත් මං අඬන්නෑ”
කඳුළු අතරින් ද සිනහ වෙන්නට හැකි සමීපතම මිතුරෙකු ළඟදී පමණකි. ඇකැම් විට මුණිවර ඉදිරියේ විවර කර ගත නො හැකි සිතිවිලි සමූහයා, අදීශ් ඉදිරියේ නිදහසේ තටු සලා ඉගිලෙයි.
“මොකද්ද මට කරන්න පුළුවන්…”
“ඔහොම ඉන්න. මට අඬන්න හිතෙනකොට අඬන්නයි…දුක කියවන්න හිතෙනකොට අහන් ඉන්නයි…හිනාවෙන්න ඕන වෙනකොට හිනා වෙන්නයි අතේ දුරකින් ඔයා ඉන්න එක සැනසීමක්”
“ඕන මගුලක් කියල එහෙනං මුණිවරයව බඳින්න”
මම මඳක් හඬ නගා සිනහ වීමි. මිහිදුමත් මන්දාරමත් දැඩි වී ඇති බව දැනිණ. හීන් පිනි පොදයක් ද ඉහිර යන්නට වූයේ ය. මම හෙමි හෙමිහිට යළි කාර්යාල පරිශ්‍රය වෙත ඇවිද ආවෙමි. ලොකු තාත්තා මගේ මේසය ඉදිරියේ හිඳ අප ගේ පාරිභෝගිකයන් වෙතින් හෙට දිනය සඳහා මල් ඇනවුම් ලබා ගනිමින් සිටියේ ය. ඔහු ගේ කාරිය නිම වන තුරා මම බලි කුරුටු ගසමින් ඇඳුම් මෝස්තරයක් මැවෙන්නට ඉඩ හළෙමි.
“දැන් බර්ත්ඩේ එකට ලොකු තාත්ත මට මොනාද දෙන්නෙ…”
ලොකු තාත්තා ඇස් හකුළා බැලුවේ ය.
“හුටා. දුවගෙ උපන් දිනේද…”
“මගෙ නෙවේ අනේ. මගෙත් ළඟ එනව තමයි. ඊට කලින් ලොකු තාත්තගෙ උපන් දිනේනෙ”
එවර ඔහු හඬ නගා හිනැහුණේ ය.
“එතකොට මේ මගෙ උපන් දිනේටද ඔයාට දෙන්නෙ මොනාද අහන්නෙ…”
“ඔව් ඉතිං…මට තෑග්ගක් දෙන්න වටින්නැද්ද…පුහුල්පොලට වෙලා තනියම බුලත් විටක් හප හපා හිටිය කෙනා අද මිස්ට් ෆීල්ඩ් වල මැනේජර් කෙනෙක්. හ්ම්”
“හරි හරි හරි…ඒක ඇත්ත. එතකොට දැං මොනාද මගෙං බලාපොරොත්තු වෙන තෑග්ග…”
“ම්..ටිකක් ලොකු දෙයක් ඉල්ලන්න ඕන නේද…හරි ඊට කලින් කියන්නකො උපන් දිනේට ලොකු තාත්ත මොනාද කරන්න යන්නෙ කියල…අපිට පාටි එකක් දෙනවද…”
“අනේ මොන පාටිද කෙල්ලෙ…මරණෙට තවත් අඩියක් ඉස්සරහට තියපු මේ නාකි මට…දැං ඉතිං යන තැනකට වැඩක් කර ගන්න තමයි තියෙන්නෙ. මව් දෙමව්පියොයි සහෝදරයොයි මතක් කරගෙන..මාත් ඒගොල්ලො ඉන්න දිහාකට එන්නයි ලෑස්ති වෙලා ඉන්නෙ කියල පණිවිඩේ දීගෙන…ඕන්නං ඔය පන්සලට දාන වේලක් ගිහින් පිළිගන්නන්න බැරියැ”
“දානෙ හොඳයි. හැබැයි අර කතාව හරි නෑ හරිද…ඒගොල්ලො ඉන්න දිහාට යන්න ළඟයි කියපු එක. ලොකු තාත්ත දන්නවනෙ…අප්පච්චි එහෙම යන්න ගිය වෙලාවෙ අපි කොච්චර අමාරුවෙන්ද ආයෙ ගෙන්නගත්තෙ කියල”
“හරි හරි හරි”
ලොකු තාත්තා මා ළඟට විත් මගේ උරහිස වටා අතක් දමා මා සිය සිරුරට ලං කොට ගත්තේ ය.
“පුහුල්පොල තියනව පරණ පන්සලක්. අපේ ගමේ පන්සල.ඉස්සර අපේ තාත්තල එළවළු බිස්නස් කරන කාලෙත් ඒ පන්සලට තමයි දාන මාන එහෙම දුන්නෙ. පරණ ස්වාමින් වහන්සෙල දැන් නෑ. අලුත් ලොකු හාමුදුරුවො ඔය අපේ රජ්ජුරුවොත් එක්ක සෙල්ලං කරපු කොල්ලෙක්. රජ්ජුරුවන්ට වඩා ටිකක් වැඩිමල් ඇති. පුහුල්පොල ආ වෙලාවට ඉඳහිට රජ්ජුරුවො ගිහින් හාමුදුරුවන්ව බලල කතා කරල එනව. අපි එහෙට දානයක් දෙමු. මං හාමුදුරුවන්ට කියල තියන්නං”
“එහෙම හොඳයි”
ඒ පන්සල හා බැඳුණු මතකයන් ගැන මුණිවර එදවස මට කියා තිබුණේ ය. පන්සලේ පඩි පෙළකින් වැටී ඔහු ගේ හිස පුපුරා ගොස් මැහුම් දමන්නට සිදු වූ ළමා වියේ මතකයන් ගැන ඔහු මා සමග මතක් කොට තිබුණේ ය. ලොකු තාත්තා ගේ දානය දිනයට එහි ගොස් මුණිවර ගේ ළමා විය හා බැඳුණු මතක සුවඳට ඉව කිරීමේ ආශාවක් හදිසියේ ම මා තුළ පහළ වූයේ ය. නමුත් ඊට පෙර මගේ උපන් දිනය එළඹෙමින් තිබිණ. සාමාන්‍යයෙන් අප්පච්චි සිය දරුවන් තිදෙනා ගේ උපන් දින වෙනුවෙන් සාද දැමූ කෙනෙකු නොවේ. පවුලේ පස් දෙනා ගේ ම උපන් දින වලදී උදයට හෝ වැඩ කරන දිනෙක නම් හවසට පන්සල් ගොස් වැඳ පුදා ආසන්න ස්ථානයකට ගොස් විශේෂ ආහාර වේලක් ගැනීම අප කර ගෙන ආ දේ ය. කඳුකරයට පැමිණි පසු නම් ගෙවුණු උපන් දින වල අපි නුවර එළියට ගියෙමු. හග්ගල උද්‍යානයේ හෝ ග්‍රෙගරි වැව් තාවුල්ලේ ඇවිද නගරයේ අවන්හලකින් ආහාර ගතිමු. මෙහි පැමිණ උදා වූ මගේ පළමු උපන් දිනයේ දී මුණිවර හා මා අතරේ ලොකු සබඳකමක් වූයේ නැත. මගේ උපන් දිනය ගැන ඔහු දැන සිටියේ ද නැත. නමුත් මේ උපන් දිනය දා මා මිස්ට් ෆීල්ඩ් වෙත යන්නට ගුරු නිවාසයේ පඩි කිහිපය බහිනා විට ම දොරකඩ නතර වූයේ අදීශ් ගේ කැබ් රථය ය. ඔහු මල් මිටියක් ගෙන සිනහ වෙවී මවෙත විත් මට සුබ පැතුවේ ය.
“කොහොමද දන්නෙ මගෙ බර්ත් ඩේ එක කියල…”
මම විශ්මිත වීමි.
“ඔයාගෙ නංගි තමයි ඊයෙ රෑ මෙසේජ් එක තියල තිබුණෙ”
පාසලට යාම ප්‍රමාද කරමින් උන් නංගී දෙස මම හැරී බැලුවෙමි. අදීශ් ට ඒ බව දැනුම් දීමෙන් ඇය කුමක් බලාපොරොත්තු වූවා දැයි මට වැටහුණේ නැත.
“යං. මං ඔයාව මිස්ට් ෆීල්ඩ් එකෙන් ඩ්‍රොප් කරන්නං”
එසේ කියා නිම වන්නටත් පෙර මුණිවර ගේ ජීප් රිය එතැන විත් නැවතිණ.