අදීශ් දුටු විට මුණිවර ගේ මූණ වෙනස් වේවියි මට සිතිණි. නමුත් එවැන්නක් පෙනෙන්නට තිබුණේ නැත. පුරුදු අහංකාරකමෙන් යුතුව ම රියෙන් බට හෙතෙම, පිටුපස දොර හැර ඉතා විශාල වූ මල් කළඹක් පිටතට ගත්තේ ය. ඒ දුටු මතින් මගේ මුහුණ මලක් සේ විකසිත වූයේ ය. අදීශ් ඉතා උවමනාවෙන් මගේ මුහුණ දෙස බලා සිටි බවක් මට දැනිණ. මල් කළඹ ඔසවා ගෙන මවෙත ආ ආඩම්බරකාරයා එය මා අතට පත් කොට උපන් දිනයට සුබ පැතුවේ ය.
“තෑන්ක් යූ මිස්ට මුණිවර. මේක හරිම ලස්සනයි”
මගේ සිනහව ටික වෙලාවක් යන තෙක් මුහුණ අතැර ගියේ ම නැත. ඒ මල් කළඹ විවිධ වර්ග වල හා වර්ණ වල රෝස ද බේබිස් බ්‍රේත් ද මුසු කොට නිමවූ ආකර්ෂණීය වූවකි. නංගී ද මල් කළඹට සමීප ව විශ්මිත ව සිටියේ විශාල සතුටකින් කියා සිතමි.
“ඌට ගේන්න බැරියැ ඉතිං උගේ උසට තරං බොකේස්…ෆ්ලවර් ෆාම් එකක ඕනර්නෙ. අපි එහෙමද..අපි මේ මල් ගාණට සල්ලි ගෙවලනෙ ගන්න ඕනෙ. අනේ මගෙ දුප්පත් මල් බොකේ එක”
අදීශ් ගේ කතාවට අපි කාටත් සිනහ නැගිණ.
“එහෙම නෑ. ඒකත් ලස්සනයි ගොඩක්…ලොකු නැති වුණාට”
මම ඔහු ගේ හිත හැදෙන සේ කීවෙමි. නමුත් ඇත්ත ම ඇත්ත නම් මා වඩාත් ප්‍රහර්ශයට පත් කරන්නට මුණිවර තිලිණ කළ මල් කළඹ සමත් වූ බවයි. මගේ පමණකුදු නොව අම්මා ගේ හා නංගී ගේ ද වැඩි සැලකිල්ල යොමු වූයේ ඒ කෙරේ ය.
“මොනා වුණත් මුණිවර සිං රාජ්පුත් තමයි වැඩිපුර ඔයාව සතුටු කරන්න දන්න කෙනා. හැබැයි අදීශ් විනාඩියක් හරි ඉස්සරහිං ඉන්නව”
නංගී මගේ කනට කොට කීවා ය. ඇය පෙර දා රාත්‍රියේ අදීශ් ට සේ ම මුණිවර ට ද මගේ උපන් දිනය ගැන දැනුම් දී තිබිණි.
අප කාගේත් උපන් දින වලදී අම්මා උදෙන් ම කිරිබතක් පිසින්නී ය. මේ උදයේ ද ඇය එසේ කොට තිබිණ. අප්පච්චි හා මල්ලී පාසල් යන්නට පෙර අපි කිරිබත් කෑවෙමු. අම්මා මුණිවර ට හා අදීශ් ට ද කිරිබතින් සප්පායම් වන සේ ඇරයුම් කළා ය. ඔවුන් දෙදෙනා ම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැත. කිරි බත් කා කෝපි බී යන්නට මිදුලට බට විට අදීශ් සිය අදහස කීවේ ය.
“මන්දාකිණීව මං මිස්ට් ෆීල්ඩ් එකෙන් ඩ්‍රොප් කරන්නයි හැදුවෙ”
“දැං ඉතින් මන්දාකිණීට මාත් එක්ක යන්න පුළුවන්නෙ”
මුණිවර මාන්නයෙන් හිස කෙළින් කොට ගෙන කීවේ ය. ඒ හඬෙහි වූ ඒකාධිකාරයට සියල්ල මොහොතකට නිහඬ වූවා සේ ය.
“මන්දාකිණී නගින්න”
යළිදු මුණිවර විධානයක් කළේ ය. මම අදීශ් දෙස බැලුවෙමි. ඔහු සිනහ වෙවී සිය මහපටැඟිල්ල ඔසවමින් හිස සැලුවේ ය.
“අපිට අද කැන්ඩි යන්න වෙනව අම්ම. ශොප් එකට”
රියට නැගෙමින් ම හෙතෙම අම්මා ට කීවේ ය. අම්මා මෘදු සිනහවකින් හිස සලා එකඟතාවය හඟවනු මා බලා ගෙන ය.
සුරුවම ළඟින් පහළට දමා මුණිවර වංගුව ගෙන රිය පාරට දැමුවේ හැල්මේ ය. ටික දුරක් නිහඬ ව ගමන් කළ හෙතෙම ඉන්පසු ඔහු ගේ ද මගේ ද ප්‍රියතම ‘රයිට් හියර් වේටින්’ ගී ඛණ්ඩයක් උරුහම් බාන්නට පටන් ගත්තේ ය.
“අපේ නංගිට පිස්සුනෙ…මිස්ට මුණිවරටයි අදීශ්ටයි දෙන්නටම කෝල් කරල කියල මගෙ බර්ත් ඩේ එක කියල”
නිහඬතාව බිඳිමින්, ටර්පන්ටයින් ගස් වල සුදු කඳන් පේලි දිගේ දෑස් දුවවමින් මම මිමිණුවෙමි. ඔහු ගේ තොල් කොනක් සාවඥ ලෙස ඇද වූයේ ය.
“නංගි කියන්න කලින් මං දැනගෙන හිටිය”
“ඒ කොහොමද…”
“ඔයාගෙ පර්සල් ෆයිල් එක චෙක් කරල මං දැනගෙන හිටියෙ”
මම වීදුරු කවුළුවෙන් ඉවත බලා ගෙන මඳහස සඟවා ගතිමි. මගේ දිවියෙහි උදා වූ සියලු උපන් දින අතරේ මෙය විශේෂ වූවකි. ඒ තරම් ලොකු මල් කළඹක් කිසි දා ක මා තිලිණ ලබා නැත. ඒ වගේ සුභ පැතුම් කරුවන් දෙදෙනෙකු මින් පෙර කවදාක හෝ උදයෙන් මගේ ගෙදොර දී මට හමු වී නැත. පවුලේ අය හැරෙන්නට මගේ උපන් දිනය මතක තබා ගෙන සිට සුභ පැතූ කෙනෙකු ද මින් පෙර මදිවියෙහි සිටියේ නැත. යෙහෙළියන් වුව මගේ උපන් දිනය බව දැන ගෙන කුඩා තිළිණයක් දුන්නේ මගේ උපන් දිනය බව කියා මා ඔවුන් ට කේක් කැබැල්ලකින් හෝ සංග්‍රහ කළ විට ය. අදීශ් ද අද මගේ උපන් දිනය බව දැන ගත්තේ නංගී කී නිසා ය. නමුත් මුණිවර කල් තියා ඒ බව සොයා බලා මතකයේ තියාගෙන තිබේ. විශේෂ වන්නේ අපට ද නො දන්වා අප ව මතකයේ තබා ගන්නා මිනිසුන් ය. අප ව විශේෂයක් ලෙස පිළි ගන්නා මිනිසුන් ය. අපට විශේෂයක් දක්වනා මිනිසුන් ය. අපව වැඩිපුර සිහිපත් වන්නේ ඒ අයට ය. අප ව වැඩිපුර ඕනෑ වන්නේ ද ඒ අයට ය.
මුණිවර ගේ රිය මිස්ට් ෆීල්ඩ් වෙත හැරුණේ හෝ නැත. අඹගස්දෝව හරහා ඔහු ගේ රිය නුවර එළිය දෙසට ධාවනය වෙමින් තිබිණ. ඔහු ට මතක අමතක වී ඇති සමයේ ඔහු මා කැටිව ගිය වැල් පාලම හදිසියේ ම මගේ නෙත ගැටිණ.
“අනේ නවත්තන්න නවත්තන්න”
යනුවෙන් කෑ ගසා මම රිය නතර කරවා ගතිමි. මේ පාලම මත්තේ දී ඔහු ට ඒ මතකය යළි ලැබෙනු නැති ද යන අවිහිංසක සිතිවිල්ල මා තුළ ඇති වූයේ ක්ෂණයකිනි. මම රියෙන් බැස පාලම තෙක් දිව ගියෙමි. එහා ඉවුරේ කුඩා බුදු පිළිමය නිසොල්මනේ මදෙස බලා සිටියේ ය.
“ආසද යන්න…”
මගේ පිටුපසින් මුණිවර ගේ හඬ ඇසිණ. පපුව ක්ෂණික දැවීමකට හසු විය. මා ඔහු දෙස හැරී බලන්නට ඇත්තේ වේදනාත්මක දෑස් දල්වා ගෙන ය.
“දවසක් මං මේකෙ ගියා”
මම කොඳුරා ගතිමි. ඒ හඬේ තැවරී තිබුණේ වචන කළ නො හැකි ශෝකයකි.
“ආ…ගිහින් තියනවද…”
“මිස්ට මුණිවර එක්ක ගියේ…පිරිමි ළමයි දෙන්නෙක් මේ පැත්තෙ ඉඳං පාලම හොලවල මං හොඳටම බය වුණා”
ඔහු මගේ අතින් අල්ලා ගෙන යළි පාලමෙන් මෙගොඩ කළ බව මම නො කියා සිටියෙමි. මුණිවර එහා ඉවුර දිගේ දෑස් දුවවමින් අතකින් නිකට පිරිමැද ගත්තේ ය. ඔහු ගේ හදෙහි අපමණ හැඟුමන් පිරී තිබෙන්නට ඇත. නමුත් ඒ කිසිත් එක සුසුමකින් හෝ පිට නො කරන්නට ඔහු වග බලා ගත්තේ ය.
“මන්දාකිණි යනවද පාලමේ….”
මා තව දුරටත් පාලමේ අත් වැට ලෙස යෙදූ කේබල් දෙක අල්ලාගෙන සිටියදී, මඳ වෙලාවකින් මුණිවර ප්‍රශ්න කළේ ය. මම යන්තම් හිස සලා නැති බව හැඟවීමි.
“එහෙනං අපි යං”
එහා ඉවුරේ මෝනිං ග්ලෝරියා මල් පිපී දම් පාටින් රටා මවා තිබිණ. නම නො දන්නා උස් තුරු මුදුන් කහ හා තැඹිලි පාට මල් දරා සිටියේ ය. මම සුසුම පපුවේ ම හිර කර ගෙන රිය වෙත පැමිණියෙමි.
අප මෙමග ගිය මුල් දිනයේ මතක මගේ සිහියට එන එක වැලකිය නො හැකි විය. එදා මා නො දැන සිටි, නමුත් ඔහු හඳුන්වා දුන් ඇපල පඳුරු, ඇපල කෝටු වාරු කොට ගෙන නැගී සිටිනා දම් පාට කුඩා මල් පිරිවරා ගත් බෝංචි වැල්, අර්තාපල් අල ගලවනා ගොවියන් මග දෙපස මට තනිව හැඳින ගත හැකි විය. අදත් ඔහු මා ළඟ සිටිනා බව පිලි ගත යුතු ය. නමුත් මතකය යනු ජීවිතයේ කොටසකි. එක අතකට එය ජීවිතයේ අයිතියකි. මතකය අහිමි ව ඇත්තේ මුණිවර ගේ වී ද දැන් ඒ අයිතිය අහිමි ව ඇත්තේ මට ය. හද පාරන රිදුමක් සන්තාන ගත ව තියෙනවා දැනුණේ ය.
අප අතරේ කතා බහ අඩු වූයේ දෙන්නා ම කල්පනා ලෝක වල නිමග්න ව සිටි නිසා යයි සිතමි. නුවර හෑන්ඩ්ලූම් පැරඩයිස් වෙත ගොස් ඔහු ඉක්මනින් ම ඉන් නික්මුණේ ය. මගේ අදහස් විමසීමක් හෝ නො කොට ඊළඟට මුණිවර ගියේ දළදා මාලිගයට ය. හිරු මුදුන් වෙමින් තිබුණෙන් යටි පතුල් පිච්චුණේ ය. අපි ඉක්මන් අඩි තබා මාළිගය තුළට ගියෙමු. පිටත දී පිළිස්සුණ දෙපා නිවා සනසාලන සිසිලසක් ඇතුළත විය. දොරකඩ දී මිල දී ගත් නෙළුම් මල් පූජා කොට අපි මාළිගය පුරාත් අවටත් හෙමිහිට ඇවිදින්නට වීමු. මුණිවර ගේ හිතේ කියා ගත නො හැකි යමක් හිර වී තිබෙනා බවක් මට දැනිණ. කෙසේ වෙතත් ඔහු කිසියම් සැහැල්ලුවකට පත් ව සිටියේ ය. ඒ නිසා මම මට නොතේරෙන දේවල් ගැන සිතන්නට නො ගියෙමි.
එදා දිවා ආහාර සඳහා ඔහු මා කැටිව ගියේ කුඩා කඳු බිමක වන මනරම් අවන්හලක් වෙත ය. එය නිදහස් ස්ථානයකි. අප වෙනුවෙන් එය වෙන් වී තිබූ බව මට දැනුණේ දම් හා රිදී පැහැති බැලූන් වලින් පිවිසුම් දොරටුව සරසා ‘හැපි බර්ත් ඩේ මන්දාකිණී’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් සැරසිලි කොට තිබූ නිසා ය. මම මුණිවර ගේ මුහුණ දෙස බැලුවෙමි. ඔහු මගේ බඳෙහි අත තබා මට ඇතුළට ඇරයුම් කළේ ය. මීට පෙර ඔහු ට මතක අමතක යුගයේ දිනෙක නුවර හෑන්ඩ්ලූම් පැරඩයිස් හි සමාරම්භයට පෙර ආ වතාවක ඔහු මා ක්වීන්ස් හෝටලයට ගෙන ගිය හැටි ඇසිල්ලකින් මට සිහි විය.
එය කදිම භෝජන සංග්‍රහයකි. මේ උපන් දිනයේ වන විශේෂත්වය සදහට මගේ මතකයේ තිබෙනා තරම් දේවල් ඔහු දිගට ම කරමින් සිටියේ ය. පරණ මුණිවර මා තුළ අතරමං ව හිටියත් මම හැකි තාක් සතුටින් සිටින්නට ද ඔහු ව සතුටෙන් තබන්නට ද උත්සාහ කළෙමි. ජීවිතය තුළ දී අපට යම් යම් කැපකිරීම් කිරීමට වන අවස්ථා උදා වේ. සමහර විට අපේ සතුට අපේ හිත් යට ඔබා ගෙන අනිත් අය ගේ සතුට වෙනුවෙන් සිනහ වී සිටින්නට සිදු වේ. මට මේ එවන් මොහොතකි. මා සොයමින් සිටියේ පරණ මුණිවර ව ය. නමුත් ඒ මුණිවර ආයේ කිසි දවසක මගේ ඇස් මානයෙහි හමු වේවියි සිතිය නොහැකි ය. නමුත් මේ ඒ මුණිවර නොවේ කියා කිසිවෙකුට කිව නො හැකි ය. එතැන්හිදී ඇති වන්නේ සිතිවිලි වල ඝට්ටනයකි. එය හරියට පුහුල්පොල ගැන මුණිවර එදා කළ විග්‍රහය වාගේ එකකි. පරණ පුහුල්පොල නගරය උමා ඔයට යට වී තිබේ. දැන් තියෙන්නේ ඒ පුහුල්පොල නොවේ. නමුත් ඒ පුහුල්පොල නොවේ කියන්නේ කෙසේ ද? අතීත පුහුල්පොල ගැන මතකය ඇති මිනිසුන් ට උමා ඔය වූ කලී ශාපයකි. නමුත් පරණ මතකයන් නැති මිනිසුන් ද සිටිති.
දිවා ආහාරයෙන් පසු අතුරුපස ලෙස මේසය වෙත පැමිණියේ රෙඩ් වෙල්වට් ස්ට්‍රෝබෙරි මිනි කේක් එකකි. එහි කුඩා හැපි බර්ත් ඩේ ටැග් එකක් සවි කොට තිබිණ. පසෙක වන රන් පැහැති ඉටිපන්දම නිවා මා ගෑරුප්පුවෙන් කේක් කැබැල්ලක් කඩත්දී මුණිවර ‘හැපි බර්ත් ඩේ’ ගීය හෙමිහිට ගැයුවේ ය. මම ඒ මුල් කේක් කැබැල්ල ඔහු ට කැව්වෙමි. ඊළඟ කේක් කැබැල්ලෙහි වූ ප්‍රණීත රසය කිසි දා මට අමතක නොවන්නකි. කේක් තුළ නිදන් කොට තිබූ ආශ්චර්යය ගෑරුප්පුවෙහි හැපුණේ ඊළග වර මා කේක් කැබැල්ලක් කඩා ගන්නට යත්දී ය. ඒ ලෝහමය හඬ නිසා මම විපරමින් ගෑරුප්පුව චලනය කොට එය පාදා ගතිමි. ඒ මුදුවකි. මම විශ්මිත ව මුණිවර දෙස බැලුවෙමි. ඔහු ආරාධනා දෑසකින් මදෙස බලා සිටියේ ය.