මම ඒ මුදුව ගෑරුප්පුවෙන් ගෙන,මේසය මත වූ කුඩා දිය බඳුනකට දැමුවෙමි. ඇඟිලි තුඩින් අයිසින් සෝදා හැර එය දෑගිලි වලින් දෑස් ඉදිරියට ගෙන බැලුවෙමි. එය සුදු ගල් අල්ලා හැඩ කළ රැජිනක ගේ ඔටුන්නක කුඩා අනුරුවක් දරන්නා වූ මුදුවකි.
මගේ ඇස් මුණිවර දෙසට හැරිණ. ඒ ඇස් දිළිසෙමින් තිබුණේ ය. ඔහු මුලින් ම බොරලන්දේ අවන්හලක දී නෙත ගැටුණ දා පටන් නොයෙකුත් සිද්ධි මගේ මනසේ මැවි මැවී පෙනෙන්නට විය. කැන්ඩි සිටි සෙන්ටර් හි මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස් හි රිබන් එක මගේ අතින් කැපුණාට පස්සේ ඔහු මා වැළඳ ගත් මොහොත, එදා මිස්ට් ෆීල්ඩ් පිරිත් රාත්‍රියේ ඔහු මගේ අතක් තද කොට අල්ලා ගත් නිමේශය, ගාල්ලේ වෙරලබඩ හෝටලයේ සයුරට මුහුණ ලෑ කාමරයේ සඳැල්ලෙහි බිම හිඳ එකිනෙකාට තුරුලු ව ගෙවී ගිය රාත්‍රිය සේ ම පුහුල්පොල උමා ඔයේ සුළං රැලි මගේ මුහුණේ හැපෙනවා ද මට දැනිණ. ඔහුත් එක්ක ගෙවුණ, ඔහු සමග බැඳුණ මහා දිග අතීතයක කුඩා කුඩා සිදුවීම් අටෝරාසියක් ඒ අතරේ විය. මගේ හිත උණුහුම් වෙමින් මුණිවර කෙරේ උමතුවෙන් ඔහු පසු පස වැටී උන් මන්දි යළි පණ ගසා නැගිටිනවා මට දැනුණේ ය. නමුත් අවාසනාවක මහත! ඒ කිසිත් මුණිවර දන්නේ නැත!
“අම්…මට මතක නැති අතීතයක් තියනව තමයි. ඒත් මේ වර්තමානෙත් අපි ඉස්සරහ තියන අනාගතේ පුරාමත් ඔයාව මට ඕන. මට මතක නැති වෙලා ගිය ටික ගත්තොත්…අම්…ඇත්තටම එතනයි මෙතනයි කනෙක්ට් කර ගැනීමේ අවුලක් තියනව තමයි. මොකද ඔයා එක්ක හිටිය අතීතයෙන් දශමයක්වත් මගෙ මතකෙ නැති නිසා. ඒත් ඒ කොටස අයිංම කරල…අලුතෙන් පටන් ගන්න බැරි කමක් නෑ නේද…”
ඔහු ගේ වචන අතරේ එහෙව් අසරණකමක් තැවරි දවසක් මගේ මතකයන් අතරේ නොවේ. නමුත් ඔහු අත් හැර දමමු කියා කියන්නේ මගේ ජීවිතයේ සුන්දරතම දවස් ටික ය. එය වූ කලී පෙම් කතාවක් පාදක කොට ගත් සිනමාවක ප්‍රේමණීය ම ජවනිකා කිහිපය කපා කොටා සංස්කරණය කිරීම වාගේ දෙයකි.
මම එහෙම ම මුණිවර ගේ අත් ගොබයක මගේ මුහුණ හොවා ගතිමි. මට ම කීකරු කර ගත නො හැකි කඳුළක් ගිලිහී ගියේ ය. මේ ලෝකයේ කිසිම කිසිවෙකු මා වටහා නො ගන්නා බව මම දනිමි. ඔවුන්ට අනුව මේ සිටින්නේ ඒ මුණිවර ම ය. අනතුරින් ඔහු ගේ අතක් පයක් අහිමි වූයේ නම් මා ඔහු ප්‍රතික්ෂේප කරන්නේ දැයි වරක් හංසිකා පවා ඇසුවා ය. අතක් පයක් නැති වූවා නම් මට ඔහු අහිමි වන්නේ නැත. නමුත් මා උන් මතකය එහෙම පිටින් නැතිව යාම තුළ මට දැනෙන්නේ ඊට වඩා අතිශය හිස් කමකි.
කඳුළක සීතල මුණිවර ගේ අතට දැනෙන්නට ඇත. ඔහු කැළඹීමෙන් යුතුව සිය අවංක හැඟීම ප්‍රකාශ කළේ ය.
“ඔයා මට වැඩිය අදීශ්ට කැමතිනං…අම්… ප්‍රශ්නයක් නෑ”
කොහොම පහදා කියන්න ද? මා වඩාත් සංවේදී වූයේ මට අපමණ අහංකාර පෙන්වත්දීත් මා ප්‍රේමණීය වූ ජූජක බමුණාට ය.
“සමහර විට ඔයා එක්ක ජීවත් වෙද්දි මට හෙමිහිට හැමදේම මතක් වෙන්න ගනී කියල ඩොක්ටර් කිව්ව. මං ඒ බලාපොරොත්තුව එක්ක ඉන්නව මන්දාකිණී”
“ඒ චැප්ටර් එකෙත් කවදාවත් ඔයා මට ආදරෙයි කියල කටින් කිව්වෙ නෑ. ඒක දැනෙන්න ඇරිය විතරයි. දැනුත් එහෙමයි. ඒ නිසා මේ මුණිවර ම තමයි කියල මන් දන්නව. ඒත් මට මේක දරාගන්න හරි අමාරුයි. විශ්වාස කරන්න අමාරුයි. මේ ඇත්තට ෆේස් කරන්නත් අමාරුයි. ඒකයි මං ඔයාගෙං ඈත් වෙලා හිටියෙ. ඔයාට මාව මතක නැති වුණ වෙලාවෙ…මට ඔයා දැනෙන්න ගත්තෙ වෙන කෙනෙක් වගේ. වෙනදට මං දිහා බලපු ඇස් දෙකෙන් ඒ විදිහට බලන්නෙ නැති වෙනකොට…මට ආදරේ කළා කියල පිළිගන්නෙ නැති වෙනකොට…ඒ දුක කොහොමද දරා ගන්නෙ මුණිවර…එතකොට මං කළේ ඒ වේදනාවෙන් පිච්චෙන එකෙන් මිදෙන්න ඔයාගෙන් ගව් ගාණක් ඈත් වෙන එක. ඉස්සර බලෙන්ම ඔයාට ලං වෙච්ච මං…ඔයා බණිද්දි කෑ ගහද්දි පවා ආදරේ කරපු මං…ඔයාට වශී වෙලා හිටිය..ඔයා නිසා පිස්සු හදාගත්ත මං…පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තාමත් ඔයා ආදරෙයි කියල හිතාගෙන ඊරිසියා කරපු මං..ඔයාගෙන්ම එහෙම ඈත් වෙද්දි…ඒක කොහොම තත්වයක්ද කියල මේ ලෝකෙ කවුරුවත් කවදාවත් තේරුං ගන්න එකක් නෑ. ඒත්..ඒත් ටික ටික ඔයා ආයෙ ආදරේ වෙනව මට දැනුණා. අදීශ්ට ඔයා ඊරිසියා කරන හැටි මං දැක්කා. මං හිතුව එතකොටවත් ඔයාට ඒ අමතක ටික මතක් වෙයි කියල. ඒත් ඉරණම ඇයි මට ඒ තරං ලොකු පනිශ්මන්ට් එකක් දුන්නෙ කියල මං තාම දන්නෙ නෑ. මට හරියට රිදෙනව මුණිවර. හරියට …කෙනෙක්ට වටිනම දෙයක් හොරු අරං ගියා වගේ…ආයෙ අලුතෙන් ගත්තට ඒ පරණ එක නෙවෙයි කියල දැනෙනව වගේ…කවදාවත් ඒ කම්පෙයා කිරිල්ල නතර කරන්න බෑ වගේ…මාත් ඉන්නෙ හරි අමාරු තැනක. ආයෙ ඔයාට ලං වුණත්…මන්ද…ඉස්සර ඔයා ඉස්සරහ හිටිය මන්දි වෙන්න මට පුළුවන් වෙයිද කියල හිතා ගන්න බෑ. මට ඕනෙ ඒ මන්දි වෙන්න. ඒත් ඒ මන්දිව අමතක මුණිවර කෙනෙක් ඉස්සරහ ඒ මන්දි මැරෙන එක නතර කරන්න හරි අමාරුයි. මට ජීවත් වෙන්න ඕන මුණිවර. ඒත් මට හිත ගන්න බෑ. කෙනෙකුට ආදරේ කරල තව කෙනෙක් මැරි කරන්න සිද්ද වෙන ගෑනු ළමේක් වගේ…අපි දෙන්න අතරෙත් මට කවදාවත් පියවගන්න බැරි පරතරයක් දැනෙයිද කියල මට බයයි”
ඔහු ගේ අත දෑතින් ම වැළඳ මම ඉකි බිඳින්නට පටන් ගතිමි. මුණිවර සිය නිදහස් අතින් මා වැළඳ මගේ හිස මුදුණ සිප ගන්නවා දැනිණ.
“මං කාටවත් වරදක් කරල නෑ කියල මන් දන්නව. ඒක නිසා අපිට වැරැද්දක් වෙන එකක් නෑ මන්දි. අම්..හිත් රිදෙන තැන් තියෙයි. මං නෑ කියන්නෙ නෑ. අපි ඒ තැන් වලදි ඉවසන්න බලමු. ඒ ඇරෙන්න අපි වෙනුවෙන් දැනට වෙන කරන්න දෙයක් නෑ”
ඒ උපන් දිනය මගේ දිවියෙහි අමතක නොවන උපන් දිනය වන්නේ එසේ ය. මුණිවර ගේ රාජකීය හදවතෙහි මට හිමි රැජිණ ගේ සලකුණ සේ, ඒ ඔටුන්නෙහි අනුරුව දැරූ දියමන්ති මුදුව මට දැනිණ. නමුත් හදවතේ වූ හිස් තැන ඒ කිසිවකින් සපුරාලිය නො හැකි බව ද මම ඉඳුරා දැන සිටියෙමි.
වාර්ෂික ආදි ශිෂ්‍ය සුහද හමුවට තිබුණේ දෙදිනක කාලයකි. ඉනික්බිති මුණිවර සේ ම අදීශ් ද ඒ වෙනුවෙන් කාර්ය බහුල වූයේ ය. ගුරුතලාව විදු බිමෙහි කුඹුරු යාය අසලදී එක වරක් ඉන්පසු අදීශ් මට හමු විය.
“මුණිවරයට තමයි පුළුවන් ඔයාව රැජිණක් වගේ බලාගන්න. ඌට විතරයි පුළුවන් ඔයාගෙ හිත නිදහස් කරල ඒ නිදහස් හිතෙන් ආදරේ අරගන්න. පුළුවන් කමක් තියනවනං ඔයාට ඕනමයි කියන ඒ මතකය ගෙනත් දෙන්න…මගෙ මතකය සම්පූර්ණයෙන් නැති කර ගෙන හරි මං ඒක කරනව”
අදීශ් මගේ ඇඟිල්ලක් වැළඳ සිටිනා මුදුව දෙස බලමින් තෙපළේ ය. ‘අනේ’ කියා මට කියවිණ.
“ඔයා සතුටෙන් ඉන්නයි ඕනෙ. කා ළඟ හරි…”
“මාව අඬවන්නෙපා දෙයියනේ”
“ඔයා හිනා වෙලා ඉන්නයි ඕනෙ”
“ඔයා දන්නව මට හිනා වෙලා ඉන්න පුළුවන්…සතුටෙන් ඉන්න පුළුවන් කා ළඟද කියල…මන් දන්නෑ ඉතුරු ජීවිත කාලෙම ආපහු එයා මුණගැහෙයිද කියල. ඒත් මුණිවර මට ආදරෙයි. මට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙවේ”
“ඒ මතකෙ ආයෙ එන්නෙම නැති වුණත් මුණිවරය ඔයාට අඩුවක් දැනෙන්න ඉඩ තියන එකක් නෑ”
ජීවිතයේ හතර මායිම් දැන හැඳින ගැනීම කවදාවත් මුළුමනින් කළ හැකි දෙයක් නොවනු ඇත. සමහර අවස්ථා වලදී අඳුරේ අත පත ගානවා වැනිව අපට දැනෙන්නේ එනිසා විය යුතු ය. මම, අප්පච්චිලා දෝතෙහි තැබූ දේ ජීවිතය සේ භාරගෙන සැහැල්ලුවෙන් හුස්ම ගත් ගෑනු ළමයෙකු වෙමි. ඒ නිසා ප්‍රේමය වෙසින් පැමිණි සියල්ල මට බර වැඩි වූයේ ය. සංකීර්ණ වැඩි වූයේ ය. නමුත් දුෂ්කරයි කියා ජීවිතය හැර යා නොහේ.
ඒ වතාවේ ආදි සිසු හමුව ගැන අපේ ගෑනු ළමයින් ගේ උනන්දුව ගිය වතාවේට වඩා වැඩි වූයේ ය. ක්‍රිකට් තරගය බලන්නට ගිය ගෑනු ළමයින් හතර දෙනාව ගිය වර දැන සිටි අයට වැඩි පිරිසක් දැන හැඳින සිටියහ. විශේෂයෙන් ම ආදි සිසුන් ගේ අවධානය මා කෙරේ යොමු විය. මුණිවර ගේ හැසිරීමෙන් සේ ම දසුන් අයියාගේ විහිළු තහළු වලින් ද අදීශ් ගේ හිතවත්කම් නිසා ද අනිත් ආදි සිසුන් ද මා කෙරේ ආදර ගෞරවයක් දක්වන්නට වූහ. පසු ගිය වසරේ මා අතට අයිස්ක්‍රීම් හතරක් පත් කළ හැටි මුණිවර ට අමතක වී ද මට මතක තිබුණේ ය. හිත රිදුණේ ඔහුත් එක්ක ඒ අතීතය වැළඳ ගත නො හැකි වූ හෙයිනි.
“එහෙනං ගිය අවුරුද්දෙ මැච් එක ඉවර වෙලා අයිස් ක්‍රීම් අරං දීපු කෙල්ලව මේ සැරේ උඹ අයිතිම කර ගෙන නේ”
ඒ අයිස්ක්‍රීම් සිද්ධිය සිහිපත් කොට මා නම නො දන්නා ආදි සිසුවෙක් මුණිවර ට විහිළුවක් කළේ ය. ඒ වෙලාවේ ඔහු අසරණ ව මදෙස බැලුවේ ඒ සිද්ධිය මතක නැති නිසා ය. මම ඇස් දෙක බිමට හරවා ගතිමි.
දසුන් අයියා අපට අයිස් ක්‍රීම් ගෙන දුන්නේ ය. ඒ අතර වාරයේ මුණිවර හෙමිහිට මට ළං විය.
“සොරි”
ඔහු මිමිණුවේ අසරණ ලෙස ය. මම ඊටත් වඩා අසරණ වී සිටියෙමි. නමුත් ඒ වෙලාවේ මා උත්සාහ කළේ ඔහු වෙනුවෙන් සිනහවක් නගා ගන්නට ය.
“එක අතකට මං කළේ වැරැද්දක්ද කියල හිතෙනව”
“ඒ කිව්වෙ…”
“ඔයාට තව කල් දෙන්න තිබුණා. හිත හදා ගන්න බැරිනං ආයෙ කැමැත්තක් හිතෙන තැනක නවතින්න”
“ආයෙ කා ළඟවත්…එදා හැඟීමෙන් නවතින්න මට බෑ”
“අම්…මං ළඟවත්. මට දැන් ඒක තේරෙනව”
“මට ටිකක් කල් දෙන්න”
“ඔයා පව්”
“අපි දෙන්නම”
බාස්කට් බෝල් තරගයෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයට අප්පච්චි ද සහභාගී විය. මුණිවර ඇරයුම් කළ ද මම එහි යාම ප්‍රතික්ෂේප කළෙමි. රාත්‍රියේ දී ගුරුතලාවේ තැන් තැන් වල ඔවුන් ගී ගයත්දී නම් ගිය වර වාගේ ගෙතුළට වැදී නිදා නො ගෙන,ගෑනු ළමයි අපි සිව් දෙනා මිදුලේ බංකුව මතට වී රංචු ගැසී සිටියෙමු. වරින් වර මුණිවර ද දසුන් ද අදීශ් ද අප වෙත විත් මඳක් කතා කොට ගියෝ ය. මුණිවර ට ‘මේ ගී කාටදැයි’ගයන ලෙස ඇරයුම් කළේ නංගී ය. ඔහු වහා මගේ මුහුණ දෙස බැලුවේ ය. එහි ලියැවී තිබි කතා ඔහු කොහොම තේරුම් ගත්තා දැයි නො දනිමි. ඉන් පසු අප වෙතින් ඉවතට ගිය හෙතෙම මට දුරකතන ඇමතුමක් දුන්නේ ය.
“ස්පෙශලි ඒක කියන්න කියල නංගි කිව්වෙ ඇයි…”
මට සිනහ ගියේ ය. නමුත් හිත යට ගින්දරක රස්නය ද විය.
“ගිය සැරේ ඔයා ඒක කියනව ඇහෙද්දි අපි නිදියන්න ගිහින් හිටියෙ. ඒ සින්දුව කියන සද්දෙට මං ගැස්සිලා ඇහැරුණා. ඒක කියන්නෙ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි කියල හිතිල මට හොඳටම ඇඬුණත් එක්ක. ඊට පස්සෙත් මං හිතං හිටියෙ ඔයා ඒක කිව්වෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියල. අනේ ඔයාට මේව මතක නෑ කියල දැනෙද්දි…මට මැරෙන්න හිතෙනව දෙයියනේ”
මුණිවර ඒ ගීය ගැයුවේ නැත. එය මට සැනසීමක් වූවා ද අලුත් දැවීමක් වූවා ද කියා හරියට ම කිව නො හැකි ය. ඔහු ගැයුවේ මගේ ළය පසාරු කරනා ශෝකී හඬකින් කපුගේ ගීයකි.
“ඔබට යන්න ම ඕනෑ නම් ඔබ යන්න ඉතින් නික්මී..මේ කාමරයේ පුරා රැඳුණ සුවඳත් අරගෙන…ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි..ඔබට යන්න ම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී…”
මට දැනුණේ ඔහු එය මට ම කියනවා සේ ය. මට කොහොම දැනුණත් ඒ දැනුණ දේ මුණිවර ට රිදුමක් ව තිබුණේ ය.
“පුර හඳ දිය වෙනවා සේ කළුවරටත් නො කියා..ඔබ යන්න කලා සොලස ම සපුරා..හෙට මළ ගම දා දියවක වී හිඳින්න සුදු ඇඳලා…ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී මේ කාමරයේ පුරා රැඳුන සුවඳත් අරගෙන…ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි..ඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් නික්මී…”
කෙල්ලන් මුහුණෙන් මුහුණ බලා ගනු මට දැනිණ. මුණිවර ගේ හඬෙහි වූ කපුගේමය ශෝකය අප ගොළු කරන්නට සමත් වී තිබිණ.
“තරුවක් බැස යනවා සේ පා සලකුණු නොතියා..ඔබ යන්න පාළු අහසින් බැසලා..හෙට මළ හිරුගේ ඉහ ඉද්දර ඉන්න ඇවිත් පායා..ඔබට යන්නම ඔනෑනම් ඔබ යන්න ඉතින් නික්මී මේ කාමරයේ පුරා රැඳුණ සුවඳත් අරගෙන..ඒ සුවඳ ඇවිත් මගෙ හිත පාරයි…ඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් නික්මී…”
මුළු රෑ පුරා මට ඒ හඬ ඇසෙන්නා සේ විය. ආගන්තුක විප්පයෝගී ශෝක රසයක් මහද ශේෂ කොට තබන්නට ඒ හඬට ද ඒ වචනාර්ථයට ද හැකි වූයේ ය. එදා සේ ඔහු ‘මේ ගී කාටදැයි’ ගැයුවා නම් හොඳ ය යන හැඟීම මා තුළ හොල්මන් කරන්නට වූයේ ය. මේ ගීතයෙන් ඔහු සංකේතවත් කරන්නට හැදු අදහස කුමක් ද? මගේ මේ මට ම වුව නො වැටහෙන හැසිරීම ඔහුට ද දැන් ප්‍රමාණවත් බව ද?
ඉනික්බිති මුණිවර මා මගහැරීමේ උත්සාහයක් ගත්තා කියා සිතමි. ඉරිදා නික්ම යාමට සූදානම් ව දසුන් අයියා මට යනවා කියා යන්නට ගුරු නිවාසය ඉදිරියට ආවේ තනිව ය.
“එන්න අයියෙ ගෙට. තේ එකක් එහෙම බීල යමු”
මම ඇරයුම් කළෙමි.
“නෑ මන්දාකිණී. අපි එළියෙ ඉඳන් කතා කරමු. මේ සැරේ තෙල් ප්‍රශ්න නිසා මගෙ කා එකේ නෙවේනෙ ආවෙ. කොල්ලො ටික සෙට් වෙලා බස් එකක් හයර් කරගෙන. දැන් කට්ටිය යන්න ලෑස්ති වෙනව”
“ගිය සැරේනං අයිය මන්ඩේ ගියෙ”
“ඔයාට වැඩකුත් බාර දීල. මේ අවුරුද්දෙ එනකොට කරල තියන්න කියල”
මට බිම බැලිණ. මගේ උගුර රිදෙමින් තිබුණේ ය.
“දැන් ඔන්න ඕව අතෑරල දාන්න. මට තේරෙනව ඔයාට දැනෙන හිස්කම. ඒත් අරූත් දැන් ඉන්නෙ අවුලෙන් වගේ. වෙන්න තියන දේ නතර කරන්න බෑ. මොනා නැති වෙලා හරි අපි ඉතුරු වුණ එක ගැන සතුටු වෙන එකයි ඇත්තටම දැන් කරන්න තියෙන්නෙ. මං ඊළඟට එන්නෙ වෙඩින් එකට. දෙන්නත් එක්ක ඒකට ලෑස්ති වෙන්න”
මම සිනහවකින් එකඟතාවය හැඟවීමි. නමුත් මුණිවර මා මගහරින බවක් වඩාත් පැහැදිලි ව මට දැනුණේ පසු දා මිස්ට් ෆීල්ඩ් වෙත ගිය විට ය.