මතක දිගහැරුම 78 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ අටවන දිගහැරුම ,

රාත්‍රී කාලයේ ගමන් කරන සෆාරි රථයේ රියදුරු සතුව විශාල විදුලි පන්දමක් ඇත.අතරමගදී හමුවන සතුන්ව එම විදුලි ආලෝකයෙන් අපට පෙන්වා ඔවුන් පිළිබඳව විස්තර කිරීමට ද ඔහු අමතක කරන්නේ නැත.Big Five , එනම් අලියා , දිවියා , සිංහයා , රයිනෝ සහ ජිරාෆ් යන සත්වයන් නැරඹීම ගමනේ ප්‍රධාන අරමුණ වේ .ගමනට පෙර අපට උපදෙස් දෙන ආකාරයට අප හැසිරෙනවා නම්, යම් සතෙක් අප ඉදිරියට පැමිණියත් අපට බිය වීමට කිසිදු හේතුවක් නැත.එම උද්‍යානයේ ජීවත්වන සෑම අලියෙක් ම දළ සහිත , දුටු පමණින්ම බිය උපදවන ආකාරයේ අයය.වරක් එවැනි ඇතුන් දෙදෙනෙක් අප අසලට පැමිණෙන විට හෂාන්ගේ අම්මා බොහෝ සේ බියට පත්වී වාහනය තුළ ගුලි වී සිටි ආකාරය මට මතකය.රථයේ රියදුරු සතුව තුවක්කුවක් තිබෙන බව මා මින් පෙරදී සඳහන් කළෙමි .එසේ තිබෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී අහසට වෙඩි තියා අදාල සත්වයා බිය වැද්දීමට පමණක් වන අතර කිසිම අවස්ථාවකදී කිසිවෙකුත් විසින් වන සතුන්ට හානි පමුණුවන්නේ නැත.

එදින රාත්‍රිය අප සියලු දෙනාම උද්‍යානය තුළ අප වෙන් කරවා ගත් නවාතැනෙහි නවාතැන් ගත්තෙමු. එහි අපට ආහාර පිස ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ඇති අතර ආහාර පිසීමට අවශ්‍ය බඩු බාහිරාදිය අප රැගෙන ගියෙමු.

පසුදින උදෑසනින්ම මා අවදී වී අපගේ නවාතැනෙහි වූ ලී වලින් නිම කල දොර විවෘත කළෙමි.දොර විවෘත කරද්දී ම මා දුටුවේ අප ගේ දොර ඉදිරිපසම සිටි සුදු පැහැති රයිනෝ සත්වයෙක්ව ය.ඊට අමතරව ඒ අවට ප්‍රදේශයේ මුවන් සීබ්‍රාවන් වැනි සතුන් වද මා හට දැකගන්නට ලැබුණි.අළුයම් කාලයේ එවැනි දර්ශනයක් දැක ගන්නට ලැබීම අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම එයින් සිතට ලැබෙන්නේ ඉතා සැනසිලිදායක හැඟීමකි.

අප එම ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල් වලට ද ගියෙමු.එහි විකිණීමට නොමැති මස් වර්ගයක් නොමැති තරම් ය.එක එක ප්‍රමාණයේ ඇසුරුම් කරන ලද මස් වර්ග විශාල ප්‍රමාණයක් අපට එහිදී දැකගන්නට ලැබුණි.ඊට අමතරව පැස්බරා බිත්තර ද විකිණීමට තිබුණු අතර අදටත් මගේ නිවසේ මා සතුව පැස්බරා බිත්තර දෙකක් මා ඉතා ප්‍රවේශමෙන් තබාගෙන සිටින්නෙමි.දකුණු අප්‍රිකාවේ මිනිසුන් විශාල ප්‍රමාණයේ එම පැස්බරා බිත්තර වලින් ඔම්ලට් සකස් කරගෙන ආහාරයට ගනිති.

එම පැස්බරා බිත්තර කටුවල විවිධාකාරයෙන් සුන්දර වූ සිතුවම් කර මාර්ගය දෙපස විකිණීමට ද තිබෙන ආකාරය අප දුටුවෙමු.ඒවාට අමතරව ලී වලින් නිම කළ කැටයම් , පිළිම ,මුහුණු ආදියද, පබලු වලින් නිම කල මාල වර්ගද මාර්ගය දෙපස විකිණීමට ඇත.ලී වලින් සකස් කළ ජිරාෆ් සත්ත්වයෙකු ද මා මිළදී ගත්තෙමි.

කෙසේ හෝ ඊළඟ තරඟය නැරඹීමට යන අතරතුරදී Sun city නැරඹීමට යාමට ද අප සැලසුම් කළෙමු.කිහිප දෙනකු විසින් අපට උපදෙස් දුන් ආකාරයට අප ගමන් ගත්තද මද දුරක් යනවිට අපට පාර වැරදුණු බව වැටහෙන්නට පටන් ගත්තේය. කැලෑ පාරක් ඔස්සේ දිගින් දිගටම අප ගමන් ගත් අතර සාමාන්‍යයෙන් පැයක් පමණ වන ගමනට ඒ වන විට පැය ගණනාවක් ගත වී තිබුණි.ඒ අතර අඳුර වැටීගෙන ආවේය.දිගින් දිගටම පැය ගණනාවක් වාහනය ධාවනය කිරීමෙන් මා අධික වෙහෙසට පත් වී සිටියෙමි.එම නිසා ඉතිරි දුර ධාවනය කිරීමට අප සමග සිටි චන්ද්‍රා ආන්ටි භාර ගත්තාය.ඒ වන විට අඳුර වැටෙමින් තිබුණි.චන්ද්‍රා ආන්ටි ඉතා වේගයෙන් වාහනය ධාවනය කරන අතරතුර මාර්ගයේ ඉදිරියෙන් ඇති විශාල වළක් මා දුටුවෙමි.එය දුටු පමණින්ම මා කෑගැසුවත් ඒ වන විට මා ප්‍රමාදය.වළට වැටුණු අපගේ වාහනයේ ටයරයක් ඉතා විශාල ශබ්දයක් නගමින් පුපුරා ගියේය.ඈතින් ඉන්ධන පිරහුම් හලක් දක්නට ලැබුණු අතර ඒ වන විට අප පසු කරමින් සිටියේ කළු ජාතිකයන් ජීවත්වන ප්‍රදේශයක් ය.

ටයරය පුපුරා ගොස් වාහනය නතර වූ සැනින් අවට සිටි කළු ජාතික මිනිසුන් ඉතා වේගයෙන් පැමිණ අපගේ වාහනය වට කරගන්නට විය.අප සතු සියලුම වටිනා බඩු භාණ්ඩ ඇතුළු සියලුම දේවල් ඒ වන විට අපගේ රථය තුළ තිබූ නිසා කිසිවෙකුටත් රථයෙන් පිටතට නොබසින්නැයි උපදෙස් දෙමින් මා රථයේ සියලුම දොරවල් අගුළු ලන ලෙසටද සියලු දෙනාටම උපදෙස් දුන්නෙමි.නමුත් අප කෙසේ හෝ ඒ මොහොතේදී වාහනයේ ටයරය සකස් කරගත යුතු විය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles