නිවසේ කටයුතු කෙසේ හෝ පිළිසකර කර ගන්නට මට හැකි වුණා.ඒ මා පදිංචිව සිටින මගේ නිවසයි.එවිට ඒ නිවසින් මා එළියට ඇද දමන්නට කාටවත් නොහැකි බව මම තරයේ ම තීරණය කළා.එනිසා මම සුදාරක සුව වී නිවසට පැමිණෙන තුරු අපේ නිවසේ ජීවත් වන්නට තීරණයක් ගත්තා.මේ නිවස මට හිමි නැති නම් එය නීත්‍යානුකූලව විසඳාගැනීම සුදාරකගේ ඥාතීන්ට බාර කළ මම පුරුදු පරිදි නිවසේ හිඳීමට අවසාන තීරණය ගත්තා.
ඉඩම අයත් සුදාරකටයි.නිවස ගොඩනඟන්නට ඔහු ණය විශාල ප්‍රමාණයක් ලබාගෙන තිබුණා.ඒ හැම කතාවක්ම මම ඔබත් සමඟ පෙරදී බෙදා ගත්තා ඔබට මතක ඇති.ඔහුගේ ඒ ණය මා පිය වූ නිසාවත් මේ නිවසේ බොහෝ අලුත්වැඩියා කටයුතු සහ ගෘහ භාණ්ඩ සඳහා මම ඉහළ මුදලක් වැය කර තිබූ නිසා වත් මෙයට අයිතිවාසිකම් කියන්නට මට උවමනා වූයේ නැහැ.එසේ තමන් වැය කළ දේට අයිතිවාසිකම් කියවමින් දඟලන්නට මට ජීවිතේ කිසිම දවසක උවමනාවක් තිබුණේ නැති බව මේ වෙද්දී ඔබත් හොඳින්ම දන්නවා ඇති.අනෙක් අතට දිල්හානි පවසනවාක් මෙන් මම යන්නට එන්නට තැනක් නැති ගැහැනියක් ද වූයේ නැහැ.මේ නිවස පිහිටා තිබෙනවාටත් වඩා අගනුවරට තදාසන්න නගරයක මගේ මහ ගෙදර පිහිටා තිබුණා.එය විශාල ඉඩමක් වූ අතර එහි මනරම් නිවසක් මගේ තාත්තා විසින් ගොඩනඟා තිබුණා.පවුලේ එකම දුව හැටියට ඒවා අයත් වන්නේ මට.වටිනාකම ලඝු කර බලනවා නම් සුදාරකගේ මේ නිවසට වඩා ඒ නිවසේ වටිනාකම බොහෝ වැඩි බව මම දන්නවා.අනෙක් ප්‍රධාන කාරණාව වන්නේ මම රැකියාව අතින් වටිනාකම උපයා ගත් කාන්තාවක්.මම මේ මොහොතේ මගේ රැකියා ස්ථානය අත්හැර දමන්නේ නම් ඒ ආයතනය සමඟ සමග තරගකාරී වෙනත් ආයතනයක් වැඩි වැටුපකට මා ලබා ගන්නා බවද මම දන්නවා.කන්නට බොන්නට ඉන්නට තැනක් නැතුව අසරණ වීමට මට කිසිම දවසක සිදුවන්නේ නැහැ.
ඔවුන් මා බිමට ඇද දමන්නට උත්සාහ ගත්තද මම ස්ථාවර ගැහැණියක්.මේ සටන තිබුණේ ආදරය දිනා ගැනීම වෙනුවෙන් මිස ජීවිතය පවත්වාගැනීම වෙනුවෙන් නෙවෙයි.
මම පසුවදා සුදාරක දකින්නට රෝහලට ගියා.ජීවත් වූ කාලයේ ඔහුගේ විවිධ අසනීප වලට සුදාරක මේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගෙන තිබුණා.ඒ හැම අවස්ථාවකම මම ඔහු සමග ඔහුගේ රෝහල් කාමරයේ රැඳී සිටියා.ඉතින් මට මෙතැන නුපුරුදු තැනක් නෙවෙයි.නමුත් මා එදින රෝහලට යද්දී නිළධාරින් මාවෙත ආවේ යමක් කියන්නටයි. නමුත් එය ඉතා අකමැත්තෙන් ප්‍රකාශ කරන ගතියක් ඔවුන්ගේ මුහුණේ දකින්නට තිබුණා.
“මෙහෙම කියන්න උනාට සමාවෙන්න මැඩම්. ඇතුලට යන්න දෙන්න බෑ.ඉහළ නියෝගයක් තියනවා මැඩම්ට ඇතුළට යන්න දෙන්න බෑ කියලා.”
එවැනි කතාවක් ඇසුණු විට රණ්ඩු කිරීම හෝ කම්පාවීම මගේ සිරිත නොවෙයි.කාන්තාවක සෑම විටම දෙයක් පිළිගත යුත්තේ සොයා බලා මිස කලබල වීමෙන් නොවන බව මම මගේ ජීවිතෙන් උගත් පාඩම් වුණා.තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට කැපවී සිටින මේ ළාබාල නිලධාරින් සමඟ ගැටුම් ඇති කර ගැනීම කිසිම පලක් නැහැ.මම ඔවුන්ගේ තීරණයට එකඟ වුණා. නමුත් එතැනම නතර වී සුදාරකගේ ප්‍රධානියා ව ඇමතුවා.මේ සිදුවන්නේ කුමක් දැයි එතුමාගෙන් දැනගන්නට මට උවමනා වුණා.නියෝගය නිකුත් කර ඇත්තේ එතුමා නම් එයට හේතුව මම දැනගත යුතුයි.
“අයියෝ මිසිස් අනුරාධා.මම ඇයි ඔයාට සුධාරකව බලන්න නොදී ඉන්නේ? ඇත්තටම මට එහෙම උවමනා නෑනේ, ඔයා දන්නවද මොකක්ද උනේ කියලා.”
එතුමා බොහෝ කාරුණිකව සහ මිත්රශීලීව මගෙන් විමසුවා.කුමන්ත්‍රණ දිගින් දිගටම ක්‍රියාත්මක බව වටහාගත් මම සිදුවී ඇති දෙය තුමාගෙන් විමසුවා.
දිල්හානි සුදාරක සම්බන්ධ ඇගේ සියලුම අයිතීන් ලිපියක් මගින් ඔහුගේ අම්මට පවරා තිබෙනවා.ඇයට මව් රට තුළ ජීවත් වීමට නොහැකි නිසා ඔහු සම්බන්ධයෙන් තීරණ ගැනීම මවට පැවරීම සුදුසු බවයි ඇය පවසා තිබුණේ.සුධාරකව පවුලේ අය හැරුණු විට පිටස්තර කිසිවෙකුට බලන්නට ඉඩ දිය යුතු නැති බවට ලිපියක් සකසා පාලනාධිකාරියට භාර දී තිබුණේ සුදාරකගේ අම්මා විසින්.
ඔහුව කිසිසේත්ම බලන්නට ඉඩ නොදිය යුතු පුද්ගලයෙකු බවට මගේ නම ඉහළින්ම සඳහන් වී තිබුණා.
සුදාරක සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නට නොහැකි ව සිටි,ඔහුගේ සෑම අයිතියක්ම අහිමි වී සිටි,ඔහුගේ ආදරය අහිමිකරගත් ගැහැණිය ඔහු පියවි සිහිය අහිමිව රෝගීව සිටින මේ අවස්ථාවේ ඔහුගේ අයිතිය සම්පූර්ණයෙන්ම භාර ගන්නට උත්සාහ දරමින් සිටිනවා.තමන් තවමත් ඔහුගේ විවාහක බිරිඳ බවට මට හඟවමින් ඔහු සම්බන්ධ සියලුම තීන්දු තීරණ ගනිමින් සිටිනවා.
දැන් මට කරන්නට ඉතිරි වී ඇත්තේ විසඳුම් දෙකක් පමණයි. පළමුවැන්න ජීවිතයේ වැඩි කාලයක් දරාගෙන ආ මගේ ආදරය අමතක කර ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ ට පවරා නිහඬවීමයි.දෙවැන්න නීතියට ඉහළින් ආදරය ඇති බව සිතමින් මේ අකටයුතුකම්වලට එරෙහිව සටන් වැදීමයි.
මා සමඟ මගේ කතාව අසමින් මාස කිහිපයක් පැමිණි ඔබට මා තෝරා ගන්නට ඇත්තේ මොන පියවර දැයි සිතෙනවා ඇති.ඒ ගත් පියවර ගැන මම ඔබට ඉදිරියේදී කියන්නම්.