“මං හිතනව මට දැන් දිගටම සූරියකාන්ත මල් හීනෙන් පෙනේවි.මං ඒ ඔයාට කිව්වේ රහසක්.ඒත් මගේ ජීවිතේ පහසු කරාට ස්තූතියි.”
සකී ඒ හැම පණිවිඩයක් ම කියවූවා ය.සෑම අකුරක්ම පාහේ හදවතේ ලියා ගත්තා ය.නමුත් ඔහුට ලියා යවන්නේ කුමක්දැයි ඇයට සිතා ගන්නට නොහැකි ය.සැබෑවටම ඔහුට කියන්නට දෙයක් ඇයට තිබේ.නමුත් එය කියන්නේ කෙසේදැයි ඇය නොදන්නී ය.කහ පැහැති හදවතක් සහ සූරියකාන්ත මලක් පමණක් පිළිතුරු ලෙස යවන්නට ඇය ප්‍රවේසම් වූවා ය.
දෛවය සියල්ල යහපත් ලෙස විසඳන්නේ නම් ඔහු නොපැවසූ සිහිනයක් ගැන ඔහුගෙන් අසන්නට දවසක් උදා වනු ඇත.
“ආ නංගි..ඕඩර්ස් එන්න පටන් අරන් වගේ.”
පසුදා රාත්‍රියේ පාඩම් කිරීම පසෙක තබා කහපැහැති සූරියකාන්ත මල් චිත්‍රයට නඟමින් සිටි සකීගෙන් රන්මිණි ඇසුවා ය.නමුත් මේ සකී අඳිමින් හිඳින්නේ ඇණවුමක් වෙනුවෙන් සිතුවමක් නොවේ.ඇය වෙනුවෙන් සිතුවමකි.අහස් ඔහු දකින සුන්දරම සිහිනය ගැන කියද්දී ඇයට ද අදහසක් පහළ වූවා ය.ඇතැම්විට බියපත් කරන නපුරු සිහිනයෙන් මිදෙන්නට මේ සිතුවම හේතු වනු ඇත.
“මේක මට”
සකී එසේ කියද්දී නිම්නා උස් හඬකින් හිනැහුණා ය.ඒ කුමක් හෝ සරදමක් වෙනුවෙන් බව සකී දන්නී ය.
“ඔයාගේ කිව්වට මේ රූම් එකේ නම් තියෙන්නේ ඕක අපේ.දැන් බලන්න ඔයාගේ ක්‍රශ් එක වුණත් රටෙන් බාගයක්ම කෙල්ලන්ගෙ ක්‍රෂ් එකනෙ.”
නැවත නැවතත් තර්ක නොකල යුතු මාතෘකාවක් වෙනුවෙන් තර්ක නොකරන්නට සකී තීරණය කළා ය.මල් පෙත්තක් මත ලෝකයේ ඇති ලස්සනම කහ පාට තවරමින් ඇය හිනැහුණේ ඒ නිසා ය.
“මට ෆේස්බුක් එකෙන් මාර පෝස්ට් එකක් කියවන්න හම්බුණානෙ.”
නිම්නා කියන්නේ ඇඳ මත හරිබරි ගැසී හිඳ ගන්නා අතරේ ය.ඒ කුමක් හෝ ඕපාදූපයක් වීමට ඉඩ ඇති බව සකී සිතී ය.නමුත් ඒ අහස් ගැන හැරුණු විට වෙන ඕනෑම කෙනෙකුගේ ඕපාදූපයක් වූවාට ඇයට කමක් නැත.
“මං ට්වින් ෆ්ලේම් කියලා එකක් දැක්කනෙ.”
රන්මිණි පොතෙන් හිස ඔසවා මිතුරිය දෙස බැලුවේ සමච්චල් බැල්මකින් ය.රටේ තත්ත්වය ද විශ්ව විද්‍යාලයේ ගතවන කාලය ද නිසා විවාහ වී දරුවකු සෑදීම තවත් අවුරුදු දහයකට වත් එහා යනු ඇතැයි ඈ අනාවැකි කියන්නට ගත්තා ය.ඉතින් නිවුන් දරුවන් පවා එක් දරුවෙකු ද සිහිනයකි.
“ඒ කියන්නේ ට්වින් කෙනෙක් ගැන නෙමෙයි මෝඩ තඩියෝ.”
විශාල මානසික පීඩාවක හිඳින මොහොතක පවා දෙමිතුරියන්ගේ කතා අසා හිඳීම සිනා උපදවන බව සකීට සිතෙයි.ඇය කිසිවක් නොපවසා සිතුවම අඳින අතර ඔවුන්ට ඇහුම්කම් දුන්නා ය.
“ඒක හරි ඉන්ටරෙස්ටින් හලෝ.”
නිම්නා යමක් කියන්නට ප්‍රථම එයට ආටෝප දමමින් හැඩවැඩ කරන්නට හපනියකි.නමුත් රන්මිණිට ඉවසීම ඇත්තේ ම නැත.ඒ සම්බන්ධව විශාල ගැටුමකින් පසු නිම්නා ඇගේ අලුත්ම මාතෘකාව විස්තර කරන්නට පටන් ගත්තා ය.
“ට්වින් ෆ්ලේම් එක කියන්නේ අපේ අනිත් කෙනා ලු.ඒක මේ සංසාරේ ඉවරවෙන්න කලින් එක පාරක් හරි අත්විඳින්න ඕනි එකක් කියලා මම දැක්කා.හරියටම කිව්වොත් අපේ අනිත් බාගෙ හම්බවෙනව කියන්නේ අන්න ඒකටලු.ගතිගුණ විතරක් නෙමේ සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ රූප පවා එක වගේලු.ඒ කියන්නේ මෙන්න මෙහෙම යි.එක පවුලෙ නොවුණට සමහර වෙලාවට ඒ දෙන්නගෙ ඇස් දෙක,හිනාව එහෙම එක වගේලු.”
නිම්නා එසේ කියවාගෙන යද්දී ඇගේ කතාව සරදමකට ගත් රන්මිණි මහ හයියෙන් හිනැහෙන්නට ගත්තා ය.මීට වසර කිහිපයකට එහා දවසකදී හදවත අකුණු ගැසූ දවසක් සකීට සිහිපත් වෙන්නට වූවා ය.ඇය ක්‍රිකට් ලෝලියෙකු වූයේ කුඩා කාලයේ පටන් ම ය.එය තාත්තාගේ ආශාවන් පෙරට ගෙන යාමක් බව අම්මාට සහතික විය.එදා සකීගේ සිත කොහොමටත් සසැලෙමින් තිබුණු දිනයකි.ක්‍රිකට් තරග නොබලන අම්මා ඇගේ ප්‍රියතම ටෙලි නාට්‍ය බලන්නට නොලැබෙන ශෝකයෙන් සාලය හරහා යන අතර හිටි හැටියේ රූපවාහිනිය අසල නැවතුණා ය.
“අර කොල්ලා කවුද අනේ.අපේ සුදූගේ මූණ කටමයි.මගෙ පුතෙක් වගේ.”
අම්මා එසේ කියද්දී ඒ අද මුල්ම වතාවට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන අහස් ඉලංගසිංහ නම් යෞවනයා බව පැවසුවේ තාත්තා ය.
එදින ද සකී සිටියේ ගල් ගැසී ය.නිම්නාගේ මේ කතාව ඇසෙද්දී ද ඇය සිටියේ ගල් ගැසී ය.
“තව මොනවද ඒ ගැන තියෙන්නේ?”
සකී වහා හිස හරවා නිම්නාගෙන් ඇසුවා ය.රන්මිණිගේ විහිළුවට ලක්වීම ගැන කෝපයෙන් සිටි නිම්නා සකී කරන්නේ ද සරදමක්දැයි විපරම් සහගතව බැලුවා ය.නැත! සකීගේ මුහුණේ ඇත්තේ කුතුහලය ය.
“අපිට එහෙම කෙනෙක් දැක්කම මාරම ෆීලින් එකක් එනවලු.හිතට දැනෙන්නේ නිකං ගෙයක් ලැබුණා වගේ හැඟීමක්ලු.හිතින් හරි තද සම්බන්ධතාවයක් හදා ගන්නවලු.වෙන එකක් තියා ටෙලිපතිත් තියෙනවලු හලෝ.දැන් ඔයා හිතන්නකො,මායි මලිඳුයි අතරෙ ඔය මොන බක්කක්වත් නෑනෙ.මාව සෑහෙන්න අවුල් උනා ඒක අහලා.”
වචනයෙන් විස්තර කරන්නට නොදැන සිටි බැඳීමකට නමක් ලැබී තියේ.ඒ කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය පමණක් දෙන බැඳීමක් බව නිම්නා කියන හඬ සකීට ඇසුණේ සිහිනයකින් වාගේ ය. ඒ ගැන අන්තර්ජාලයේ තවත් සෝදිසි කර බලන්නට ඇයට සිතේ.නමුත් එයට හෝ සිත කරගත නොහැකිව ඇය කාමරයේ එහෙම හේ විදින්නට පටන් ගත්තා ය
රාත්‍රිය සෞම්‍ය යැයි සකීට සිතිණ.ඇය සඳැල්ලට වී අනන්තාපරිමාණ තාරකා දිදුලන අහස දෙස බලා සිටියා ය.ඔහුට කතාබහ කරන්නට ඉඩ ලැබී තිබියදී පවා සෑම අවස්ථාවක්ම මඟ හරින තමන් ගැන ඇයට කෝපයක් නොදැනේ.ඒ වෙනුවට මහත් පුදුමයක් දැනේ. බොහෝ කණගාටුවකින් සිටි ඔහුට ඈ ලබාදුන් තිළිණය සහනයක් ගෙන ආ බව නම් සහතික ය.ඒ ගැන සිතමින් සතුටු වූ ඇය එක්තරා සිතිවිල්ලක් සිතට නැඟෙන්නට ඉඩ හැරියා ය.
“අපි දෙන්නම මේ අහස යට ජීවත් වෙන්නෙ.අපි මුණ ගැහෙන්න ඕන නම් ඒකත් මේ අහස යට වුණාවේ.නැත්නම් දවසක මේ අහසින් එහා ලෝකෙක හරි ඒක වෙයි.”
ජයග්‍රහණය සැමරීමේ සාද මඟ හරිමින් අහස් ද ඒ මොහොතේ රැඳී සිටියේ නිවසේ සඳැල්ලේ ය.කණ්ඩායමක් ලෙස ලැබූ ජයග්‍රහණය සමරන්නට තමන්ට සැබෑ අයිතියක් නැතැයි ඔහු සිතී ය.මේ හිඳින්නේ සහෝදරයන් පිරිසක් බව සිතන කණ්ඩායම් අංගයන් ඔහුගේ දුර්වලතා කිසිම අවස්ථාවක විවේචනයට හෝ සරදමට ලක් කළේ නැත.ඔහු ද ජයග්‍රහණය සැමරෙන තැනක සිටිය යුතුම බව ඔවුහු නිරන්තරයෙන්ම පැවසූ හ.
“කණ්ඩායමෙන් අසාර්ථක වුණේ අහස් විතරයි.එයා ගැන අදහස මොකක්ද?”
ඕනෑම තැනක ගැටලුවක් ඇති කරන්නට කැමති මාධ්‍යවේදියෙකු එසේ අසද්දී පවා කණ්ඩායම් නායකයා කළේ ඔහුගේ ලස්සනම සිනහව මවා ගැනීම ය.
“ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ඒ වගේ අවස්ථා වෙනවා.අහස් ඉන්නෙත් ඒ ඕනම කෙනෙක් ඉන්න තැන.එයාට අපි ඔක්කොම ඉන්නව.ඊළඟ ටුවර් එකේ වැඩියෙන්ම සාර්ථක වෙන්නෙ අහස් කියල මං හොඳටම දන්නව.”
ඒ කතාව අහස්ට නෙත කඳුළු ඉනූ කතාවකි.නායකයා වැඩිමහල් සහෝදරයෙකුගේ ප්‍රේමයෙන් තමන්ව විශ්වාස කරමින් සිටී.ඒ විශ්වාසය රැක දිය හැකි දැයි ඔහු සිතුවේ ය.
“හෙට අපි කොහෙද යන්නෙ?”
අහස්ගේ කල්පනාව බිඳ දමමින් පණිවිඩයක් එවා තිබුණේ සාරණ්‍යා ය.ඇයට දිය යුතු පිළිතුර දෙන්නට ප්‍රමාද විය යුතු නැතැයි අහස් සිතී ය.ඔහු වේගවත් පිළිතුරක් ලියන්නට පටන් ගත්තේ ය.
(ප්‍රතිචාරවලට ස්තූතියි.ඔබේ අදහස ලියා යන්න.)