“මොකද ළමයො මේ ගෙදරක හැටි?”
නදීකා වතුර කේතලේ ලිප උඩින් තියලා චාමරගේ අම්මාගේ කියවිල්ල අහගෙන හිටියා.පිරිසිදුකම පරම සැපත කියලා හිතන නදීකාට චාමරගේ අම්මාට මේ කතා අහන්න හරිම අපහසුයි.විවිධ පිරිසිදුකිරීම් ක්‍රම,නිවස පිළිවෙලකට තියාගන්න ක්‍රම හොය හොයා අන්තර්ජාලය පීරන නදීකාට චාමරගේ අම්මා කියන දේවල් තේරෙන්නෙත් නෑ.ඒත් ඇය කියන විදියට මුළුතැන්ගෙයි පිළිවෙල හොඳටම මදි.
නදීකා ඒ කතාව නෑහුණා වගේ වැඩ කරන්න පටන් ගත්තා.
“ඔය වෑංජනවලට තුනපහ ටික හරියට දාන්න ළමයො.දියරහට කන්න පුලුවන්ද?”
චාමරගේ අම්මා ආයේ කියවනවා.දන්න කියන හැමෝම රසයි රසයි කියමින් කන නදීකාගේ කෑම චාමරගේ අම්මාට මෙලෝ රහක් නෑ.නදීකා ඒ වචන නෑහුණා වගේ උයන්න පටන් ගත්තා.
නදීකාගේ අලුත ගෙනා බඩු භාණ්ඩ සහ සමහර ඇඳුම් පැළඳුම් ගැන හාර හාර සෝදිසි කරන චාමරගේ අම්මා නදීකා බොරුවට සල්ලි නාස්ති කිරීම ගැන හරියට විස්සෝප වෙනවා.මේවා නොදැක්කා නොදැනුණා වගේ කොච්චර කාලයක් ඉන්න පුලුවන් ද කියලා නදීකා කල්පනා කළා.
“ලෝකෙ පටන් ගත්තු කාලේ ඉඳන් තියන ප්‍රශ්නයක්නෙ ළමයො ඕක.හිතන්නෙ නැතුව ඉන්න.වැඩිහිටි මනුස්සයෙක්නෙ.හා අම්මෙ ඔව් අම්මේ කියලා ඉන්නකො.”
නදීකාගේ අම්මා කියන්නේ ප්‍රශ්නය ගැන වැඩිය හිතන්නේ නැතුව.නොහිතා ඉන්න බැරිතරම් මේ මානසික පීඩාව වැඩියි කියලා කියන්න හිතුණත් මොකුත්ම නොකිය ඉන්න නදීකා හිතුවා.
“වෙලාවකට මට මේ කසාදෙත් එපා වෙනවා අම්මේ”
නදීකා එහෙම කියනකොට අම්මා කසාදයක් රැක ගැනීමේ වැදගත්කම විස්තර කරනවා.නදීකා කිසිවක්ම නොකියා දුරකථනය විසන්ධි කළේ තරහින්.”ඉවසන්න” සහ “ඔය හොඳටම ඇති” කියන වචන මහා විශාල පරතරයක් තියන වචන.ඒ වචන තමන්ගේ අම්මාගෙන් ඇසීම ඕනෑම දුවෙකුට තදින් දැනෙනවා.ඉතාම තදින් දැනෙනවා.බොහෝ වෙලාවට අසාර්ථක විවාහයක හිරවුණු තරුණ ගැහැනියක් ජීවිතය අත හරින්නේ ඇය වැළඳගෙන ඇය දරා ගන්න තමන්ගේ අය සූදානම් නැති නිසාමයි.
ඇත්තටම තමන්ගේ විවාහය අසාර්ථක ද?
නදීකා හිතන්න පටන් ගත්තා.අසාර්ථක ද නැද්ද කියලා හරියටම කියන්න බැරි වුණත් පුංචි වැරැද්දක් පවා මහා විශාලව දකිමින් දොස් නගන චාමරගේ අම්මාත් ඇය කියන දේවල් ඒ තරම් ගණන් ගත යුතු නැති බව කියන චාමරත් තමන්ගේ ජීවිතය මොනතරමට අපහසු කරනවද කියලා නදීකාට හිතා ගන්න බෑ.
“ඇත්තටම චාමර ඇයි ඔයාලගේ අම්මා මෙච්චර මගේ ඇද හොයන්නේ?”
නදීකා එහෙම අහනකොට දෙන්න උත්තරයක් චාමරට ඇත්තෙත් නෑ.
“ඕවා මේ චාරිත්‍රෙට කරන ඇද හෙවිලි නදී.සමහර නැන්දම්මලා හිතන් ඉන්නවා ලේලියෙක්ගෙ ඇද හොයන එක චාරිත්‍රයක් කියලා.”
මිතුරියන් කියන්නේ එහෙම කතාවක්.ඒත් මේ චාරිත්‍රය තමන්ව ගිනි තැබීම නවතින්නේ කවදද කියලා නදීකා නිතරම හිතුවේ වේදනාවෙන්.
ඒත් සමහර දේවල්වලට හේතු මුණ ගැහෙන්න වැඩි දවස් යන්නේ නෑ.
“මං ආයෙනම් ගෙදර යන් නෑ අම්මේ.අම්මත් යං අපේ ගෙදර”
චාමරගේ නංගි චමලී කඩාපාත් වුණේ එහෙම කියාගෙන.අම්මා දූ දිහා බැලුවේ පුදුමයෙන්.
“කෝ ළමයෝ ගයාන්?”
චමලී මුහුණ හතරැස් කරගත්තේ අම්මා වැරදි දෙයක් ඇහුවා වගේ.ඊටත් පස්සේ කඳුළු පේළියක් කම්මුල් දිගේ ගලාගෙන යන්න ඉඩ හැරියා.
“එයාගෙන් මට වැඩක් නෑ.”
තමන්ගේ සැමියා වැඩක් නෑ කියලා බිරිඳකට හිතෙන්න හේතු කොච්චරක්නම් තියෙන්න පුලුවන්ද කියලා නදීකා හිතුවේ නිස්සද්දව.ඊටත් පස්සෙ ඇය පිළිතුරක් බලාපොරොත්තුවෙන් චමලි දිහා බැලුවා.
“අනේ මොන කරදරයක්ද අම්මේ? මං කොච්චර බැනුං අහනවද එයාලගෙ අම්මාගෙන්.ඒත් එයාට වගක්වත් නෑ.”
චමලී එහෙම කියනකොට නැන්දම්මා පරල වෙන හැටි නදීකා බලාගෙන හිටියා.ඊටත් පස්සේ ඇය කියපු කතාවට නදීකාට නම් හිනාව පුපුරන්න ආපු තරම්.
“තමන්ගෙ ගෑනි වෙනුවෙන් කතා කරන්න බැරි මිනිහෙක් මොකටද ළමයො?”
අම්මාගෙ පුතාගෙනුත් ඒ ප්‍රශ්නෙම අහන්න පුලුවන් කියල කියන්න් හිතුනත් නදීකා මැදින් පැන්නේ නෑ.නැන්දම්මාට කතා කරන්න ඉඩ ඇරියා
“ඔයාව ඒ මනුස්සයට දුන්නේ හරියට බලා ගනියි කියල.දැන් එහෙම වෙන්නේ නෑනෙ.අනිත් එක ඔයාගේ හැම දේම හොයන්නේ ඇයි ගයාන්ගේ අම්මා? ඒ ගෑනු මනුස්සයට වයසට ගිහින් තියන එකේ බණක් බාවනාවක් කරගෙන ඉන්න බැරිද?”
අන්න ඒ වෙලාවේ කතා නොකරන වචනවලින් ජීවිත කාලෙටම වැඩක් නෑ කියලා නදීකාට හිතුණා.ඇය චමලී ළඟින් වාඩි වුණේ එයාගේ අතක් අල්ලා ගන්න ගමන්.
“ඕක මේ චාරිත්‍රෙට වගේ වෙන දෙයක්නෙ නංගි.ඒ නිසා අනුකම්පා කරන එක තමයි කරන්න තියෙන්නේ.”
නදීකා එහෙම කියනකොට චමලී විතරයි නෙවෙයි නැන්දම්මාත් තමන් දිහා විමසිලිමත්ව බලන හැටි නදීකා දැක්කා.ඒත් නදීකා දිගටම කතා කරන්න පටන් ගත්තා.තමන් වෙනුවෙන් තමන් පෙනී නොහිටියොත් වෙන කවුරු පෙනී ඉන්නද?
“සමහර නැන්දම්මලා ලේලියන්ට බනින්නේ එයාලගෙ වරදක් තිබිලා නෙවෙයි.පුරුද්දට.සමාජ චාරිත්‍ර ඉස්සරහට අරන් යන්න.”
නදීකා ඒක දිගටම විස්තර කළා.තමන්ගේ නොවන දූලා දිහා ආදරයෙන් නොබැලීම සමහර අම්මලාගේ සිරිතක්.ඇදේට බලනකොට ඕනෑම දෙයක් ඇදයි.මේ සිද්ධ වෙන්නෙත් එහෙම දෙයක්.එක්කෝ ඒ අසාධාරණයට විරුද්ධව කතා කරන්න ඕනෑ.නැත්නම් නිශ්ශබ්ද ම ජීවිතය දරා ගන්න ඕනෑ.තෝරාගැනීම තියෙන්නේ තමන් අතේ.
“පවුල රැකගන්න ඕනකමට හරි මොකකට ම හරි ගෑණු ළමයි තෝරා ගන්නේ නිශ්ශබ්ද වෙන එක නංගි.කාලෙකට කලින් තමනුත් නැන්දම්මා කෙනෙක් වෙලා හිටිය කියල අමතක වෙච්ච ගොඩක් අය අලුත් ලේලිලා පරණ වෙනකම්ම එයාලට කරදර කරනව.මිනිස්සුන්ට ශාරීරික පීඩා කරනවට වඩා නරක මානසික පීඩා කරන එක.ඒක තේරුම් නොගන්න තාක් ඔය නැන්දම්මා ලේලි අර්බුද විසඳෙන්නේ නෑ.”
චාමරගේ අම්මාගේ මුහුණ නරක් වෙනවා දැක දැක ම දිගින් දිගට ම නදීකා කතා කරන්න පටන් ගත්තා.
“අනේ ඇත්තම ඇත්ත අක්කේ.කිසිම හේතුවක් නැතුව ජීවිතේ එපා කරන්න කොහොම හිතෙනවද දන්නෙ නෑ.”
චමලී එහෙම කියන්නේ කල්පනාකාරී ව.ඊටවඩා කල්පනාවක හිටිය චාමරගේ අම්මා ගේ ඇතුළට යන හැටි නදීකා බලාගෙන හිටියේ ඇස් කොණකින්.
“දුව,මමයි නංගියි හෙට ගෙදර යනව.ගයාන් එක්ක කතා කරලා ප්‍රශ්නෙ විසඳලා මමත් ගමට වෙලා ඉන්නවා.”
ටික වෙලාවකින් ඇය එහෙම කතාවක් කියද්දී නදීකා ඉවසීමෙන් අහගෙන හිටියා.
“ඔයාලාගෙ විදිය අපිට හරියන් නෑ.අපේ විදිය ඔයාලට හරියන් නැහැ.ඕක තේරුම් නොගන්නකම් ප්‍රශ්න ඉවරයක් නැහැ දුවේ.”
චාමරගේ අම්මා එහෙම කියනකොට කියන්න දාහක් දේවල් ආවත් නදීකා කළේ හිනා වුණු එක.ඉදිරියට යන චාරිත්‍ර නැවතෙන්නම ඕනෑ.