සකී හැරී බැලුවේ නැවත වතාවක් ඇගේ නම ඇසුණු නිසා ය.ඇයට ඒ හඬ හුරුපුරුදු ය.ඒ ඇමතීම ද හුරුපුරුදු ය.ඒ හඬින් සකී යැයි කියැවෙන්නේ අන් කිසිවෙකු ඇගේ නම කියන ආකාරයට නොවේ. එය තමන්ගේ නම පැවසිය හැකි හොඳම ආකාරය බව ඇයට සිතිණ.මාර්ගය කොනක රැස්ව සිටි පිරිස දෙස ඇය බැලුවේ පුදුමයෙනි.
ඔහු එතැන විය.පය ඔසවා පය තැබීමේ අසීරුව ගැන සාහිත්‍යමය වැකියක එතරමට බරට ලියැවෙන්නේ ඇයිදැයි ඇය වටහා ගත්තේ එනිසා ය.ඇයට ඔහු වෙතට පය ඔසවා යන්නට එතරම් ම අසීරු විය.එය වටහා නොගත්ත ද ඔහු ඇය වෙත ආවේ ය.
මේ ඇය ය! අනුමානය නිවැරදි ය.අහස්ට ද තමන් දරා ගත නොහැකි තරම් ය.සිහිනයෙන් දකින වරලස හිමි ඇයට ය.ඇය තමන් දකින සිහින සිතුවම් කරන්නිය ය.
එකම සිතුවිලි ගොන්නක් හදවතෙහි දරා ගත් යුවළ එකිනෙකා දෙස බලා සිටියේ ගල් ගැසී ය.ඇය වැළඳ ගන්නට සිතට ආ අදහස අහස් වාවා ගත්තේ ය.මේ යුවතියකි.ඉතා සාමාන්‍ය ජීවිතයක් ගෙවන යුවතියකි.ඇගේ ජීවිතය අතිශය අසාමාන්‍ය වන්නට තමන් මෙතැනි එහා පවසන සෑම වචනයක් ම පමණක් නොව බලන බැල්මක් පවා හේතු වන බව ඔහු තමන්ගේ හිතට තරවටු කර ගත්තේ ය.
“මට චිත්‍ර එවන ගොඩක් අය ඉන්නවා.ඒ හැමෝම මට මුණ ගැහිලත් තියනව.ඒත් මට නංගිව මුණ ගැහුණේ නෑනෙ.වැඩ නිසා මඟ ඇරුණට සොරි කියන්නයි නවත්තා ගත්තේ.”
අහස් එය පැවසුවේ සකීට ම නොවේ.එතැන රැඳුණු තරුණ තරුණියන් ට ය.ඔවුන්ට වඩා විශේෂ සැලකිල්ලක් ඇයට හිමි වන එකම හේතුව ත්‍යාග ලැබූ සිතුවම් ය.වෙන හේතුවක් නොවේ.
සකී ඒ ස්තූතිය සහ සමාව මන්දහාසයකින් පිළි ගත්තා ය.ඔහුට කියන්නට උවමනා එය නොවන බව නමුත් ඇයට වැටහේ.ඔහුට කියන්නට මොනවා හෝ දෙයක් වූව ද ඔහු සිතුවම වෙනුවෙන් ස්තූති කරමින් සිටී.
“අපි සෙල්ෆි එකක් ගමුද?”
ඒ යෝජනාවට සකී සසැලුණා ය.පසෙකින් බලා සිටින තරුණ පිරිසට ඇසෙන්නට හේතු ඉදිරිපත් කරන්නට අහස්ට නැවත වතාවක් උවමනා විය.
“මට පුලුවං මගේ ඉන්ස්ටා එකවුන්ට් එකෙයි පේජ් එකෙයි ඔයාව මෙන්ෂන් කරන්න.එතකොට නංගිට ඕඩර්ස් එයි.මේ අමාරු කාලේ තමන්ගෙම කියලා පාර්ට් ටයිම් බිස්නස් තියන එක වැදගත්නෙ.”
සියල්ලන්ම ඔහු හා එකඟ වූ බව පෙනිණ.නමුත් ඔහුට අවශ්‍ය වන්නේ තමන්ගේ කුඩා ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම නොවන බව වැටහුණේ ඇයට ය.ඔහු පවසන්නේ සැබෑවටම හදවතේ ඇති දේ නොවේ.තමන්ව ආරක්ෂා කර ගන්නට ඔහුට ඕනෑ වී තිබේ.ඔහුගේ දෑසේ බොහෝ කතන්දර කියැවෙන බවක් ඇය නිරීක්ෂණය කළා ය.ඇයට එය කියවා ගන්නට ද උවමනා විය.මේ උරහිසේ හැපෙමින් එහෙමෙහෙ යන කලබල සෙනඟ අතර පවා ඇයට “නිවසක්” බඳු හැඟීමක් දැනේ.බොහෝ දවසක් දැවෙමින් සිටි අහස් ද සිටියේ නිවෙමිනි.මේ නිවීමේ හැඟීම ඇත්තේ ඇය අසල බව ඔහුට ද වැටහේ.
එහෙත් පුදුමාකාර සිහිනය ගැන එකිනෙකාට පවසා ගැනීම පහසු නොවේ.එය අසීරු හැඟීමකි.අනෙකා එය වටහා ගන්නට ඇති ඉඩ වැඩි බව කවුරුන් හෝ හදවතට තරයේ ම කියන බව ඇසෙද්දී පවා නිහඬ වන්නට දෙදෙනා දෙදෙනාටම පිළිණ දී ගත් හ.ප්‍රතික්ෂේප කිරීමක් හෝ විනිශ්චයක් වන්නට ඇති ඉඩ අල්ප බව හැඟෙන්නේ ඇයිදැයි දෙදෙනාටම වැටහුණේ නැත.නමුත් එක් දෙයක් පැහැදිලි ය.
ඒ සිහිනය ගැන නිවී සැනසිල්ලේ කතා කළ හැකි දිනයක් පැමිණීමට නියමිත ය.
සකී අහස්ගෙන් සමු ගත්තේ සිනා දහසක් සහ වචන කිහිපයක් මුදා හැරීමෙන් අනතුරුව ය.ඇය නික්මුණු පසු තවදුරටත් පිටතට වී තාරකාවක වේශයෙන් දිදුලන්නට ඔහුට වෙහෙසක් දැනිණ. කතාබහ කරමින් සිටි යෞවනයන් පිරිසද සමු ගත් හන්දා අහස් මෝටර් රථය තුළට පිවිසියේ ය.සියුම්ගේ විනාඩි දෙක තවම ගෙවී ගොස් නැත.අහස් ගීයක් වාදනය වෙන්නට ඉඩ හැරියේ ය.
“අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන්
සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම්”
මිහිඳු ආරියරත්න හැඟීම් පිරුණු කටහඬකින් ගයයි.ඔහු අමතා ක්‍රිකට් ගැන කතා නොකරන්නැයි තරවටු කර මේ ගීය ගැයුවේ තමන් වෙනුවෙන්දැයි අසන තරමේ හැඟීමකින් අහස් පිරී ගියේ ය.
ගීතය නිම ව යන තුරුම ඔහුට සකීව මැවී පෙනිණ.වරලසෙන් නොනැවතී ඇගේ දෑස ද සිහිනයට පැමිණෙන්නේනම් සියල්ල දරා ගත හැකි බව ඔහුට දැනෙයි.ඇය සමඟ දරා ගනිමින් මේ ගමන යන්නට හැකි ය.
“සොරි ඕයි.වැඩේ ටිකක් වෙලා ගියා.”
අසභ්‍ය වචන වැස්සක නැහැවෙන්නට බලාපොරොත්තුවක් සහිතව සියුම් මෝටර් රථයට ගොඩ වූයේ ය.අහස් සිටියේ කල්පනාබරව ය. ඔහුගේ මුහුණේ කුමක්දෝ තනිකමක් දැනේ.
“උඹට අපේ ක්‍රිකට් ඔස්තාර්ලා ටික ක්‍රිකට් ගහන හැටි කියා දුන්නද මචං?”
මිතුරා මෙතැන තනිකර යාම ගැන ළතැවිල්ලෙන් සියුම් විමසී ය.අහස් ඔහු දෙස බැලුවේ බොර පැහැති දෑසකිනි.මෙතරම් සංවේදනාවට පත් වීමට හේතුව ඔහුට නොවැටහේ.
“මං සකීව දැක්කා මචං.අපි කතා කළා.”