ප්‍රේමයේ අභිමන් -14

අපරාජිතා නැගී සිටියේ මුළු ආත්මය ම කලම්බා ගෙන නැගී ආ සුළි සුළඟක දැවැන්ත බලපෑමට ලක් වූ නිසා ය. ඇය යහන මත ම හිඳ ගෙන වේගවත් හුස්ම දෙක තුනක් ගත්තා ය. ළඟ පාතක විණි නම් අරවින්ද ගේ බොටුවෙන් අල්ලා සෙලවිය හැකි තරම් ආවේගයක් ඈ වෙව්ළුවන්නට විය.

“මොකද්ද ඒ කතාවෙ තේරුම…ආ…තමුන්ගෙන් දරුවව ඈත් කරන්න මං මොනාද කළේ…දරුවට තමුන්ව එපා වුණානං ඒ මගෙ වරදකින් නෙවේ”

“ඔයාට කලබල වෙන්න දෙයක් කිව්වෙ නෑ ඉතිං මං”

අරවින්ද පසුගාමී හඬකින් කීවේ ය.මේ මොහොතේ ඇය කාලි  බවට පත් ව හිඳින බව දෑසට නොපෙනුණත් අරවින්ද දනී. ඇගේ හඬ මේ විදිහට වෙව්ලන්නේ දුකකදී නොව වාවාගත නො හැකි කෝපයකදී බව ද ඔහු දහ අට වසරක යුග දිවියේ අත්දැකීම් ඇසුරෙන් දනී. කාලි ද දුර්ගා ද ශක්ති ද පත්තිනි ද එක ම ගැහැනියක ගේ විවිධ වේශයන් බව ඔහු ප්‍රත්‍යක්ෂ කර ගත්තේ අපරාජිතා වෙතිනි.

“දවස් දෙක තුනක්ම මං කතා කරද්දි අනන්‍යා ෆෝන් එක කට් කළා. එක්කො වැඩක ඉන්නෙ කියනව. හරි අපි ඩිවෝස් වුණා තමයි. ඒත් මගෙයි දුවගෙයි නෑදෑකම නැති වෙලා යන්නෑනෙ ඒකෙන්”

වේගවත් හුස්ම ගනිමින් වුව අපරාජිතා මුවින් නොබැන ඉන්නට දැඩි උත්සාහයක් දැරුවා ය. දැන් ඒ වාගේ රණ්ඩු ඇති කර ගන්නට තරම් සම්බන්ධයක් නීතිමය වශයෙන් පමණක් හෝ ඔවුන් දෙදෙනා අතරේ නැත්තේ ය. අනිත් අතට එවන් බහින්බස් වීමක් අරවින්ද වරදවා වටහා ගන්නට වුව පුළුවන. ඔහු ගේ විවාහය ගැන ඇය ඊර්ෂ්‍යාවෙන් හෝ කෝපයෙන් සිටිනවා යි අදහසක් කොහෙත් ම ඔහු වෙත පිවිසිය යුතු නැත. සැබවින් ම අපරාජිතා සිටින්නේ එහෙම තත්වයක නොවේ. ඇය සම්බන්ධය කඩා බිඳ ගෙන පිටතට ආවේ ක්ෂුද්‍ර වූ ලෝභී හැඟීමක් හෝ ශේෂ ව නොතිබියදී ය. 

“මං දුවට කියන්නං”

අවසන ඇය සුසුම හිර කර ගෙන කීවා ය. අපරාජිතා ට ඕන වුණේ ඉක්මනින් ඒ සංවාදය නිමා කොට නිදහස් වන්නට ය. දැන් මේ වගේ කතා ඇති කර ගැනීම පවා ඇයට වෙහෙසකි. ඇයට ඕනේ නිස්කාංසුවකි.

“අපූ”

අරවින්ද අලුත් ස්වරයකින් අලුතෙන් ම කතාව පටන් ගත්තේ ය.

“මට මේක ඔයාට කියල යන්න ඕන අපූ. ඇත්තට ම…ඔයා කියන්නෙ මේ ලෝකෙ ඉන්න හොඳම ගෑනි. මේක මූණිච්චාවට කියන කතාවක් නෙවේ. මීට කලිනුත් මං ඔයාට කියල ඇති. ඉස්සරහටත් කියනව. මට හම්බ වෙච්ච…මේ ජීවිතේදි හම්බ වෙන්න නියමිත හොඳම ගෑනි ඔයා. ඒත් අවාසනාවකට අපිට මෙහෙම වුණා. මන් දන්නව…මට සතුටෙන් තියන්න බැරි වුණාට…ඔයාව සතුටෙන් තියන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඇති. මට වගේ නෙවේ. එයාට ඔයා හොඳ වයිෆ් කෙනෙක් වෙයි”

අරවින්ද මේ කරන්නට හදන්නේ සිය ආත්මීය ගැලවීම පිණිස පාපොච්චාරණයක් බව දන්නා අපරාජිතා ගේ කට කොනකට සිනහවක් ආවේ ය.

“ඔයා තරුණ ලස්සන ගෑනියෙක්. ඔයාටත් ජීවිතයක් තියෙන්න ඕන. මං නිසා නොලැබුණ හැම දේම ඔයාට ලැබෙන්න ඕන. ඔයා හොඳ කෙනෙක්ව බඳින්න අපූ. ඔයාට තනියම ඉන්න තරං මේ සමාජෙ හොඳ නෑ”

ඉකි ගසා හඬන්නට ඕනෑ වී ද අපරාජිතා කළේ සිනහවක් නගා ගන්නා එක ය. හදවත එළියට ගෙන ඔහු ට පෙන්වන්නට පුළුවන් කමක් නැත. තවමත් අරවින්ද ඈ ඉන්නා තත්වය වටහා ගෙන නැතැයි අපූ සිතුවා ය.

“මොන හේතුවක් මත හරි මුහුදට වැටිල රැල්ලත් එක්ක පොර බදල බදල හෙම්බත් වෙලා…දෛවයේ හාස්කමකින් වගේ වෙරළට ගහං ආපු ගෑනියෙක්ට ඕනෙ කොහෙ හරි වැටිල ගිමන් නිවාගෙන නිවී සැනසෙන්න මිසක් ආයෙ රැල්ල පාගන්න නෙවෙයි. ඔයාගෙ අලුත් ජීවිතේට මං සුබ පතනව අරවින්ද. ඔයා මගෙ අකවුන්ට් එකට ඩිපොසිට් කරල තිබුණ ලක්ෂ පහ මං අනන්‍යාට යවනව. අපි අතරෙ ආයෙ ගනු දෙනු තියෙන්න ඕන අනන්‍යා සම්බන්ධ කාරණේකට විතරයි. මං එහෙනං තියන්නං”

අරවින්දට තව වචනයක් කියන්නට ඉඩක් නො තබා ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. පපුවට උල් ලෝහ තුඩකින් අනිනවා වන් තියුණු වේදනාවක් අරවින්ද ට දැනිණ. ඔහු ගේ හිතේ තියෙන කිසි දෙයක් ඇය දන්නේ නැත. ඔහු ගේ හිතේ ඇයට තිබෙන ආදර ගෞරවයවත් ඇය දන්නේ නැත. ඒවා ඒත්තු ගන්වන්නට බැරි තරම් වැරදි හා අතපසුවීම් ඔහු අතින් සිදු විය. ඒ අතපසුවීම් වල ප්‍රබල බව වැඩි වෙත්දී අපරාජිතා සිටියේ ඔහු ට ගව් ගණනක් දුරිනි.

නිරිත දිග මෝසම් වැස්සේ ආරම්භය සනිටුහන් කරමින් ඒ රාත්‍රිය පුරා ම වැසි ඇද හැළුණේ ය. අපරාජිතා මහ රැයේ අවදි ව දියතෙන් ගෙනා මල් පැළ තෙමෙන සේ බැල්කනියේ කොනකට කළා ය. රැයේ අවදි වූවාට පස්සේ නිදි මතක් නොවුණෙන් ඕ අන්තර්ජාලයෙහි වූ සේයා රුවක් ගුරු කොට ගෙන සිය ප්‍රථම පාරිභෝගිකයා වෙනුවෙන් ටෙරාරියම් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළා ය. ඇගේ සිත සමාධි භාවනාවක සන්සුන් බව අරක් ගනිමින් තිබිණ. ඉතාමත් ඉවසීමෙන් ඇය ඒ කාරියෙහි නියුතු වූවා ය. සසංක අසීරුවෙන් කාණුවට එපිට තාප්පයේ වූ පර්ණාංග ගැලවූ අයුරු, ඒ පර්ණාංග ටෙරාරියම් එක තුළ ස්ථාන ගත කරත්දී සිහි ව ඇගේ මුව සිනහවකින් විකසිත විය. 

මැදියමක් වන තුරු අවදියෙන් සිටිය ද මොකක්දෝ හේතුවක් නිසා උදේ හය වන විට ඇගේ නෙතු හැරිණ. මුහුණ සෝදා ගෙන කිරි කෝපි එකක් හදා ගෙන බිබී බැල්කනියට එත්දී සසංක ඊට ගොඩ වෙමින් සිටියේ ය.

“ගුඩ් මෝනිං”

මුලින් ම සුබ පැතුවේ ඔහු ය. සසංක ගේ මුහුණේ ස්ත්‍රීන් ආකර්ෂණය කර ගන්නා සිනහවක් තිබිණ. ටික දවසක සිට ආසාවට වවන කොණ්ඩය වුව ඔහු ගේ පෞරුශය උත්කර්ෂයට නංවා තිබිණ. මේ පිය ගැට පෙළ නැගෙන්නට පෙර හෙතෙම කිහිප විටක් කැඩපතින් බලමින් කොණ්ඩය අතින් සැකසුවේ ය. යන්තමින් විලවුන් ටිකක් ද ඉස ගත්තේ ය.

“ගුඩ් මෝනිං”

අපරාජිතා සන්සුන් ලෙස කිරි කෝපි උගුරක් තොල ගෑවා ය.

“තෙමුණද..”

“ආ..”

ඔහු ඇසූව ඇයට පැහැදිලි වූයේ නැත. 

“අ..වහලෙ..කලින් තෙමුණා. මේ සැරේ බාස් කෙනෙක් ගෙනල්ල හදෝලමයි මං ඇඩ් එක දැම්මෙ. අදනෙ මුලින්ම වැස්සෙ..ඒකයි මං ආවෙ පොඩ්ඩක් බලන්න”

“අ..ම්..තෙමුණෙනං නෑ..බලන්න..”

අපරාජිතා විනීත ලෙස ඇරයුම් කළා ය. ඒ අවසරයෙන් සසංක කුඩා ආලින්දයට එබුණේ ය. තරමක් විශාල වීදුරු බඳුනක නිමැවූ ටෙරාරියම් වනාන්තර උද්‍යානය ඔහු ගේ නෙත ගැටුණේ ඒ වෙලාවේ ය. සසංක ට ඔහු ගේ නෙතු අදහා ගත නො හැකි විය. ඇය නිමවා තිබුණේ වන පියසක දිය සෙවල බැඳුණ පඩි පෙළක් හා ඉන් නැගී එතෙර විය හැකි ඒදණ්ඩාකාර ගල් පාලමක අනු රුවකි.

“වාව්..”

සසංකටත් නො දැනී ඔහු ට එසේ කියැවී තිබිණ. අපරාජිතා ගේ මූණට ලස්සන සිනහවක් නැගුණේ ය.

“මාරයිනෙ”

ඔහු ඊට ලං වී වීදුරු බිත්තිය ඉදිරියේ දෑස් තබා බැලුවේ ය. කිසි සේත් එහි ආධුනික ලක්ෂණ වූයේ නැත. ඔහු ම ගලවා දුන් මීවන ශාක ඒ තුළ ඒ තරම් සෞන්දර්යාත්මක ලෙස ස්ථාන ගත ව සිටින බව සසංකට විශ්වාස කර ගත නො හැකි තරම් විය. ඔහු විශ්මිත ව අපරාජිතා දෙස බැලුවේ ය. ඇය තනිව කිරි කෝපි බොමින් හිඳිනා බව ද මේ මොහොතේ ඔහු සිය අමුත්තා බව ද ඇය ට වහා සිහි වූයේ ය.

“තේ බීලද ඉන්නෙ…”

සසංක සිනහවකින් කොණ්ඩය පිටුපසට කළේ ය.

“ඔෆිස් එකට ගිහින් තමා බොන්නෙ”

“ඇයි..තනියම හදාගන්න දන්නැද්ද..”

“හදාගෙන තියනව කීප සැරේ. හැබැයි බොන්න බෑ”

සසංක හඬ නගා හිනැහුණේ ය. 

“අම්ම නැති වුණාට පස්සෙ ඉතිං ඔහොම තමා”

“කන්නෙත් එළියෙන්ද..”

“ඔව් ඉතිං”

හෝස් ගා බඩ පපුව දැවී යනවා සේ ඇය ට දැනිණ.

“මං තේ එකක් හදන්නං”

කියා ඇය ඇතුළට ගියා ය. සසංක බැල්කනියට වූයේ ය. අද දවසේ ම අවු රැල්ලක් නො වැටේ ය කියා සිතෙන තරම් දැඩි මන්දාරමකින් අහස බුම්මා ගෙන හිඳී. නමුත් සසංක ගේ හදවත එක වර හිරු දහසක් පෑයුවා සේ ආලෝකමත් ය. තේ එකක් බොන්නට අපරාජිතා කළ ඇරයුම ඊට හේතුවයි. ඇය වගේ අහංකාර තැනැත්තියක ගෙන් ඔහු කිසි සේත් එවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. සසංක මතු මහලට පිවිසියේ වහලය නො තෙමෙන බව දැන දැන ම ය. නමුත් ඇය දකින්නට ඒ හොඳ හේතුවක් කර ගත හැකි බව ඔහු දැන සිටියේ ය.

වතුර තිබුණේ මීට මොහොතකට පෙර උතුරමින් නිසා පේනු ගත කොට විනාඩියක් යන විට යළි උතුරන්නට වූයේ ය. අපරාජිතා දේශිකා වෙනුවෙන් වෙන් කොට තිබූ මග් එකට කිරි කෝපි පුරවා දැමුවා ය. ඊයේ ඔහු මීවන ගලවා දුන් එකට ස්තූති හෝ නො කළ බව ඇගේ හිත කටුවකින් ඇන ඇය ට සිහිපත් කළේ ය. 

ගෙදර වෙනත් කිසිවෙකු නොමැති බව සසංක ට පෙනෙන්නට තිබිණි. නමුත් ඔහු ඇගේ සැමියා ගැන නො අසන්නට තීරණය කළේ ය. ඇය ඊට නිශ්චිත පිළිතුරක් නො දෙන්නේ කිසියම් හේතුවක් නිසා නම් හාර හාරා ඇගේ පෞද්ගලිකත්වය විමසන්නට යාම සදාචාරවත් මානුෂීය ගතියක් නොවේ කියා සසංක සිතුවේ ය. එදා ඇගේ ටෙරාරියම් නිර්මාණය දුටු දා ඔහු අපූ රත්මල්ගොඩ ගේ ෆේස් බුක් ගිනුමට ඇතුළු ව සැරිසැරුවේ ය. එහි වූයේ විවිධ අවස්ථා වල ඇය දේශිකා හා අනන්‍යා සමග ගත් ඡායාරූප ය. ඉඳහිටක කියවූ පොතක් නිසා හිතේ ශේෂ වූ හැඟීමක් ඉතා කෙටි සටහනක් බවට පත් කොට තිබිණි. අනන්‍යා යනු ඇගේ දියණිය බව ද දියණිය ඇගේ සමස්ථ ලෝකය බව ද ඔහු ට සිතා ගත හැකි වූව ද තවමත් ඔහු අනන්‍යා ව මෙහි දී සජීවී ව දුටුවේ නැත. 

“කෝපි දාල කිරි එකක් බොමු”

කෝපි සුවඳත් එක්ක අපරාජිතා සඳැල්ලට ආවා ය. ඒ ප්‍රථම කිරි කෝපි උගුරේ ඔහු ට දැනුණේ දිව්‍යමය රසයකි. 

වැසි සුවඳ වඩා ගත් සුළං රොදක් සඳැල්ලට කඩා වැදුණේ ය. ඊළඟ සුළං කෝඩය ආවේ හිරිකඩ අහුරක් තල්ලු කර ගෙන ය. ඒ හිරිකඩ අහුර සඳැල්ලේ හලා දමා සුළඟ හිතුවක්කාර ගමනක් ගියේ ය. තෙත සුළඟෙන් බේරෙනු වස් සසංක පස්සට පැන්නේ ය. අපරාජිතා ඒ සුළඟට මූණ අල්ලා සුවඳත් සිසිලත් ඉව කළා ය. ඇගේ ගැහැනුකම් සසංක ගේ පිරිමි හද සසල කරන්නට සමත් වී ද ඔහු නිස්කාංසුවේ කිරි කෝපි එක තොල ගෑවේ ය.

“තෙමුණොත් එහෙම මට කියන්නකො. තෑන්ක්ස් රස කොෆී එකට”

අපරාජිතා අතට හිස් මග් එක පත් කරත්දී සසංක ගේ බැල්ම තරුණිය ගේ ඇස් කවුළු වලින් රිංගා මඳ දුරක් ගොස් නැවත ආවේ ය. ඇගේ දෙතොල් අතරේ ලා සිනහ රේඛාව දිගට ම පැවතිණ. ඔහු නික්ම ගිය පසු ද වැහි සුවඳ හා මුහුව ඔහු ගේ පිරිමි සුවඳ සඳැල්ලේ කරක් ගසනා බවක් අපරාජිතා ට දැනුණේ ය. නමුත් ඇය ඒ සුවඳට සිය සිතිවිලි අතරේ ලොකු ඉඩක් දීම හිතා මතා ම වළකාලූවා ය.

සසංක වඩාත් කුතුහලාත්මක වූයේ ය. ඔහු නැවත ද අපූ රත්මල්ගොඩ ගේ ෆේස් බුක් ගිනුම අස්සට රිංගා ගත්ත ද අඩ හෝරාවකට ආසන්න රස්තියාදුවකින් කිසිදු වෙනත් ඉඟියක් සොයා ගන්නට අපොහොසත් වූයේ ය.

එදා වැහි මන්දාරමේ නාට්‍ය තිර පිටපතක් ලියූ අපරාජිතා ළඟ පාත මල් පෝච්චි අලෙවි කරනා තැනකට ගොස් විවිධ හැඩැති බඳුන් කිහිපයක් ගෙනැවිත් දියතින් ගෙනා මල් පැළ බඳුන් ගත කළා ය. ඒවායින් සඳැල්ලත් පිය ගැට පෙළත් අලංකාර කළා ය. ඉන් පසු අනන්‍යා සමග හෝරාවක් පමණ කියවමින් ද තාත්තා ගේ හිත නො රිදවිය යුතු බවට අවවාද කරමින් ද සිටියා ය. අම්මා ට කියන්නට යමක්, රහසක් සේ ඇගෙන් සඟවා ගෙන සිටින යමක් ජීවිතයේ ප්‍රථම වතාවට අනන්‍යා ළඟ තිබිණි. නමුත් එය පැවසිය යුතු වෙලාව මෙය නොවේයි ඕ සිතුවා ය. 

වැස්සේ ඉඳිආප්ප කන්නට දේශිකා ට සිතුණේ ය. ඇය ඉඳිආප්ප පිටි ද ගෙන උඩහමුල්ලේ අපරාජිතා ගේ නවාතැනට ආවේ ඇය හදනා ඉඳිආප්ප වල රස කවදාවත් අමතක නොවන නිසා ය. සැරට මිරිස් දමා පිසිනා චිකන් කරිය ද අල කිරි හොද්ද හා පොල් මැල්ලුම ද ඇය ඉඳි ආප්ප වෙනුවෙන් අනිවාර්යෙන් පිසිනා ව්‍යාංජන ය. මේ වැහි සීතලේ ඉඳි ආප්ප තිස් ගණනකට වග කියන්නට එතකොට දේශිකා ට පුළුවන.

“පිස්සුද….කොහෙද ඉඳිආප්ප වංගෙඩියක් තියෙන්නෙ..එතකොට තට්ටු…ස්ටීමර් එකක්… වෛද්‍ය රෝඩ් එකේදි කරපු ඒව මෙහෙදි කරන්න බෑ. ඕන්නං කඩෙං ගෙනත් දෙන්නං”

අපරාජිතා ගත් කටට ම කීවා ය. 

“එතකොට මේ පිටි ටික විසි කරන්නද කියන්නෙ..”

“වෙන මොනා කරන්නද…”

“මං කියන්නද…අපි සසංකගෙන් ඉල්ලමු. එහෙ ඇති ශුවර් එකට. අම්මගෙ බඩු”

“පිස්සුද…ලැජ්ජ නැද්ද…”

“තමුසෙ ඉන්නවකො. මන්නෙ ඉල්ලන්නෙ. නේබර්ස්ල ඉන්නෙ ඕවට තමයි”

අපරාජිතා ගේ විරෝධය නොතකා දේශිකා පිය ගැට පෙළ බැස ගෙන ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles