සුහදිනි – 21

“මටයි කියල කිසිම පෞද්ගලික ජීවිතයක් නැද්ද?”

අහස් සිටියේ කෝපයෙනි.ඉතා තදබල කෝපයෙනි.සියුම් දෑත් බැඳගෙන කල්පනාවට වැටිණ.විශ්ව විද්‍යාලයේ නැගණියක ගැටළුවකට මැදි වී තියේ.ඇයට අහස් මුණ ගැසුණේ සියුම් හන්දා වීම ම සියුම්ට මෙය දිගුදුර කල්පනා කරන්නට කාරණාවකි.

“උඹට ටිකක් හරි අවුල් ෂේප් කරගන්න කාලේ හම්බ වෙනකොටම ආයේ බාල්දියක් දාගන්නවනෙ බං.”

සියුම් කියන්නේ සිතට ආ මුල්ම හැඟීම ය.එහෙත් අහස් ඉන් වඩාත් කෝපයට පත් විය.

“මම ඒ ළමය එක්ක කතා කරේ හොටෙල් එකකද බං? අඩුම තරමේ කොෆී ෂොප් එකකවත් ගත්තු ෆොටෝ එකක් වුණානං කමක් නෑ.මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ හොස්පිටල් එකක ලොබි එකේ.මොන පිස්සුවක්ද බං මේ? දන්න කියන ළමයෙක් දැකල ඇයි හොස්පිටල් ආවේ කියල ඇහුවම ඒකත් රවුං කර කර උන්ගෙ වෙබ් අස්සෙ දාගන්නව.”

අහස්ගේ කෝපය සාධාරණ බව සියුම් දනියි.ඔහු කොහොමටත් සමීපතමයන්ගේ පමණක් නොව දන්නා හඳුනන අයගේ පවා දුකක් මඟ නොහරින්නෙකි.වහා ඒ කඳුළ බෙදා ගන්නෙකි.

“ඒ ළමය මූණත් නරක් කරගෙන යනව දැකල මම කතා කරේ.කැන්සර් එකක් තියන තාත්තෙක් ගැන කිව්වම කොහොමද බං කතා නොකර හායි බායි විතරක් කියන්නෙ”

අහස් පවසන සියල්ල සර්ව සාධාරණ ය.අසාධාරණ ඔහු ජීවත් වන ලෝකය ය.ජනප්‍රිය පුද්ගලයෙකුට තමන්ගේම කියා පෞද්ගලිකත්වයක් ඇති බව නොදන්නා මාධ්‍යකරුවන් ය.

“මම දැක්ක එකෙක් කමෙන්ට් කරල තිබ්බ කෙල්ලෙක් ඉන්නව කියල අපි ඇහුවද අහල.තව තිබ්බා මට හිටිය ගෑනු ගාණ.අවංකවම ඒ සමහර ගෑනුන්ගෙ නම් මම ඇහුවෙත් අද.”

අසීරු මොහොතක පවා අහස්ට සිනා නැඟේ.මිනිසුන් තමන්ගේ ජීවිතය මොනතරමකට ආක්‍රමණය කර ඇතිදැයි ඔහුට කල්පනා විය.

“පහුගිය කාලේ අපේ කොල්ලො ටිකගෙ පුංචි උන්ව හෙන ජනප්‍රිය වුණානෙ.මං දැක්ක ඒ බබාලා වඩාගෙන ඉන්න අපිට කසාද බඳින්න කියලා කස්ටිය කමෙන්ට් දාලා තිබ්බා.ඒවානම් ඉවසුවෑකි බං.තවම බබාලා හදල නැති හැමෝගෙම වයිෆ්ලටම කියල ඉක්මනින් බබ්බු හදන්න කියල.ෆර්ටිලිටි ඉෂූස් තියන කෙල්ලො කීපදෙනෙකුත් ඉන්නව බං.උන්ට මොනව හිතෙන්න ඇද්ද”

මෙවැනි ආක්‍රමණශීලි හැසිරීම් දරා ගැනීම අපහසු බව සියුම්ට හොඳින් වැටහේ.නමුත් අහස් ජනප්‍රිය වූ දා පටන්ම ඔහුට ඒවාට මුහුණ දෙන්නට සිදු විය.ඒ සෑම මොහොතකම ඔහුගේ ළඟ රැඳෙන්නට සියුම්ට සිදු විය.එහෙත් මේ මොහොතේ ළඟ සිටිය යුතු වන්නේ අහස්ගේ නොවේ.සකීගේ ය.

“සකීව ලොකුවට හොයන්න බෑ නේද ඒ වීඩියෝ වල?”

සියුම් නැවතත් තහවුරු කරගන්නට ඇසී ය.

“නොපෙනෙන එකනම් හොඳයි.එකෙක් කමෙන්ට් කරල තිබ්බා මගේ අසනීපයක් නෙවේ කෙල්ල ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලත්”

අහස් එසේ කියද්දී ඕවා නොකියවා ඉන්නට සියුම් ඔහුට උපදෙස් දුන්නේ ය.නමුත් අහස් පැවසුවේ වෙනත් කතාවකි.

“පහුගිය කාලෙ මගේ අම්මට පවා බැනපු කමෙන්ට්ස් මං කියෙව්ව බං.එහෙව් එකේ මේ මලක් වගේ පොඩි කෙල්ලක් ජෝඩු කරාට මක් වෙනවද?”

මේ මොහොතේ සකීට සිදුව ඇති හානිය නොවන්නට අහස් මේ සම්බන්ධයෙන් සසැලී නැති බවනම් සියුම්ට වැටහේ.සකී සම්බන්ධයෙන් ඔහුගේ කුමක්දෝ හැඟීමක් තිබේ.සාරණ්‍යා සමඟ ප්‍රේමය අහස් හෙළි කළ මුල්ම කාලයේ පවා අහස් වැටෙන්නට යන අමාරුව ගැන සියුම්ට වේදනාවක් දැනිණ.නමුත් සකී ගැන දැනෙන හැඟීම වෙනස් එකකි.අහස් වැනි ජනප්‍රිය කොල්ලෙකු දරා ගන්නට සකීට හැකි වේදැයි යන ගැටළුව සියුම්ට තිබේ.

“මං මුන්ට කෝල් කරල මේ ෆොටෝස් ගලවන්න නැත්නම් නඩු දානව කියලනම් කිව්ව.ඕකුන් ඒකත් ගොසිප් එකක් කරන්න ඉඩ තියනව.”

තමන්ගේ ආදායම ජනප්‍රිය මිනිසුන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය බව සිතන වෙබ් අඩවියකින් ඊට වැඩි යමක් බලාපොරොත්තු නොවිය හැකි බව අහස් දනියි.එනිසාම තර්කය සහ පලි ගැනීම ඵල රහිත දෙයකි.

“නඩු දාන්න බැරි මට ඒත්.උන් පලි ගන්නේ මගෙන්.ඕනනම් සකී ලවා අපිට නඩු දම්මවන්න පුලුවන්.ඒ ළමය අද දවල් වෙනකම්ම කවුරුත් නොදන්න කෙනෙක්.දැන් හොරාට ගත්තු ෆොටෝ එකකින් ඒ ළමයා ජනප්‍රිය වෙනවා.ඒකත් නරක විදියට “

සාරණ්‍යා ගැන ඕපාදූප පැතිර ගිය කාලයේ මෙපමණට කලබල නොවුණේ ඇයිදැයි අසන්නට සිතුණත්  සියුම් එය නාසන්නට ප්‍රවේසම් විය.නොකැමති දේ ගැන සිහි කිරීම ම ඵල රහිත ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles