අප චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නරඹද්දී තත්පරයක් හෝ ඇස ඉවතට නොගන්නා සිදුවීම් සහිත කොටස් පැමිණෙන්නේ කතාව අවසන් වෙමින් පැවතෙද්දී.
“මෙගා නාට්‍යයක් වගේ කතාවක්.”
මගේ කතාව කියවන ඔබ සමහර දෙනෙක් එසේ පැවසූ අන්දම මට මතකයි.සමහර මෙගා නාට්‍යය මේ ලෝකයේ සිදුවන ඒවා දැයි ප්‍රශ්න කළ මුත් මගේ කතාව කියවද්දී ජීවිතයට බොහෝ දෑ සිදුවිය හැකි බව ඔබටත් සිතෙනවා ඇති.
මේ කතාව එක්තරා විශේෂ සන්ධිස්ථානයකට පැමිණෙමින් තිබෙන කාලයක්.ඒ නිසා කිසිම කොටසක් මග හැර ගන්නට එපා.මා ඔබට කියන මගේ ජීවිතේ හැම අකුරකම ඔබේ ජීවිතය තරයේ අල්ලා ගන්නට දේ ඇති බව මට විශ්වාසයි
හිස් කඩදාසි හයක් මට අත්සන් කර ලබා දෙන විට “මෙයත් දිල්හානි වගේ මාව රවටයිද දන්නෙ නෑ” කියලා සුධාරක කිසිවිටෙක සිතුවේ නැහැ .
නඔහු මා ගැන දැන සිටියේ තමාට මේ ලෝකේ විශ්වාස කළ හැකි පිළිසරණ පැතිය හැකි එකම පුද්ගලයා ලෙස පමණයි.ඒ වන විට මා සමග ආදරයෙන් සෙනෙහසින් බැඳී සතුටින් හිටියාට සුධාරක ගතකලේ ලෙහෙසි ජීවිතයක් නොවෙයි.දිල්හානි ඔහුට විරුද්ධව දමා තිබූ බොරු නඩු බොරු පැමිණිලි,දස අතට යවා තිබූ පෙත්සම් සහ නිර්නාමික දුරකථන ඇමතුම් මේ සියල්ලම ඔහුට මානසිකව තදින් බලපෑවා. නිර්දෝෂී මිනිසෙකුව සිට අනුන්ගේ පවට කර ගැසීම යනු ලෙහෙසි පහසු දරාගැනීමක් නොවෙයි.නමුත් ඔහු ඒවා දරාගනිමින් සිටියා.
රණවිරුවෙකු ඕනෑම දුකක් වේදනාවක් දැරිය හැකි ලෙස පදම් වී හැදුණත් මේ දරුණු සටන් ගෙනියන්නේ ත්‍රස්තයන් සමග නොවෙයි, මේ සටන් කරන්නට සිදුවී ඇත්තේ තමන්ගේම මිනිසුන් සමඟයි. එය රණවිරුවෙකුට තබා හිතක් පපුවක් ඇති කිසිදු මිනිසෙකුට කළ නොහැක්කක්. සැමියාගෙන් වසන්වී ගුප්ත ලෙස ජීවත්වෙමින් බිරිඳක් නොකළ යුතු දෑ කරමින් සිටි දිල්හානි ඒ සියල්ල අතට හසුවූ පසු තමාගේ ගැලවීමට යොදාගත් පලිහ සුධාරකව අඩපණ කළා
ඒ තම ලෙයින් උපන් දරුවන්.ඔව්! දිල්හානි අදටත් මේ මොහොත වන විටත් තම දරුවන් තිදෙනාට මුවා වී පෙර පරිදිම ජීවත් වෙනවා.එය වෙනම කතාවක්.නමුත් ඇය එසේ කරද්දී සුධාරක වෙනුවෙන් මට කළ හැකි වුණේ ඔහු වෙත දමා ගසන සෑම දෙයකටම පලිහක් වී ඉදිරියෙන් සිටගෙන ඔහු ආරක්ෂා කිරීමයි.
මා එය ඉතා හොඳින් කළා.සුධාරක ගිලන් වනතුරුම එය මනාව කරන්නට මට හැකි වුණා. විවාහ සහතිකයක් ජීවිතයත් මරණයත් අතරට එනතුරු මා ශක්තිමත් පලිහක් වී ඔහු ආරක්ෂා කළා.
ඔහුගේ සියලු දේ සොයා බලා කරනු ලැබූවේ මා විසින්.ඔහු රාජකාරි සඳහා කාර්යබහුල වන නිසාත් ඉල්ලන විට ලබා දීමේ අපහසුව නිසාත් ඔහු වෙනුවෙන් කළ යුතු දෑ මම සොයා බලා කළ නිසාත් දිල්හානි විසින් දමා තිබූ බොරු නඩුවලට නඩු වාර්තා ගැනීම වැනි කටයුතුවලදී ඉදිරිපත් කරන්නට සිදුවෙන ලිපි හා වෙනත් දෑ සඳහා ඔහු මට තම අත්සන යොදා හිස් කඩදාසි හයක් ලබාදුන්නා.
“අනේ මැණිකේ ඔය ඉල්ලන ඉල්ලන පාරට ඕවා අත්සන් කරකර ඉන්න මට වෙලාවක් නෑ.ඔන්න ඔය කොළ ටිකක් දෙන්න අත්සන් කරල දෙන්න.ඊට පස්සෙ ඔයා කැමති දෙයක් ලියාගෙන කැමති දෙයක් කරගන්න”
අනේ!! මිනිසෙකුගේ විශ්වාසයට අපමණ ගරු කළ මා ඒ සියලු කඩදාසි එසේ අවශ්‍යතාවයන් අනුව කළ යුතු දෑ කරන්නට පාවිච්චි කළා.කපටි සිතක් ජීවිතයේ කිසිදා පහළ නොවූ මට මේ කොළ එකක් හෝ සඟවා ගන්නට චේතනාවක් පහළ වූයේ නෑ.
එසේ වූවා නම් දිල්හානි සුධාරක කෙරෙහි මට අයිතියක් නැතැයි කියමින් ඔහු හමුදා රෝහලට ගෙනාවාට පසු ඔහුව නිසි ප්‍රතිකාර පවා නොකෙරෙන තැනට කටයුතු කරද්දී ඔහුගේ අයිතිය යම්තාක් දුරට හෝ ලබාගන්න අවශ්‍ය ලෙස ලිපියක් හෝ සකසාගන්නට තිබුණා.ඒ මා කපටි නොවීම ගැන මට දුක සිතුණු ජීවිතයේ පළමු වතාවයි.
එහෙත් ඔලුවේ පණ තියෙනතුරු සටනක් නොදී කිසිවක් අත්නොහරින අනුරාධා බාධක එන්න එන්නට තවත් ශක්තිමත් වෙමින් කාලයත් ධනයත් ශ්‍රමයත් සියල්ල කැපකරමින් ජීවිතයක් යදිමින් හුන් තම සංසාර ගමන් සගයා වෙනුවෙන් දිගටම සටන් කළා.
මේ වනවිට සුධාරකව බලන්නට යන්නට හැකි වුණේ සුධාරකගේ පවුලේ අයගේ අනුමැතිය ලැබුණු අයට පමණයි. ඒ කිසිවෙක් සුධාරකට සමීප බවක් නොතිබූ අය වීම කණගාටුවට කරුණක් වුණා . සුධාරක සිහියෙන් සිටිනවිට ඔහු කිසිදු අයුරකින් සබඳකම් නොපැවැත්වූ සහ ඔහු ප්‍රතික්ෂේප කල අයවලුන් ඒ අතර සිටියා.ඔහු ගේ ලොකු ගෞරවයක් දිනා නොගත් තමන්ගේම පවුලේ අයත් සිටියා.මෙයට අමතරව ඔහුට ආදරය කළ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් කෙසේ හෝ ලද අවසරයෙන් ඔහු බලන්නට ගියා.ඒ සියලු දෙනා මට ඇමතුම් පිට ඇමතුම් දෙමින් ඇසූවේ එක දෙයයි.
“අනේ මැඩම්. සර්ව බලන්න එතනට යන්න ඕන අපි නෙවෙයි. මැඩම් තමයි මේ වෙලාවේ සර් ළඟ ඉන්න ඕන.සර්ට සිහිය ගන්න පුලුවන් මැඩම් ආවොත් විතරයි.සර් අපිව අඳුනගන්නවා.අනේ මේ මොන අපරාධයක් ද අපේ සර්ට වෙන්නේ”
ඒත් සුධාරකට ආදරය කළ මිනිසුන් ළඟ ඔහුගේ අයිතියක් තිබුණේ නැහැ. එය තිබූ අයට ඔහුගේ ජීවිතයේ වටිනාකමක් තිබුණේ නැහැ.
මෙසේ මාසයක් පමණ ගෙවෙන විට අපූරු ව්‍යාපාරයක් මුහුණු පොතේ දියත් වෙමින් තිබුණා.ඒ ගැන අපි හෙට කතා කරමු