ප්‍රේමයේ අභිමන් -21

තුරු හිස් හි පත් අතර කුඩා අවකාශ අතරින් පෙරී ගෙන හිරු කිරණ පහළට කඩා හැළුණේ ය. ඒ රත්තරන් පාට කිරණ කදම්බ පොළොව මත වෘත්තාකාර පැල්ලම් ඇති කොට තිබිණ. තුරු පත් සුළඟ හා නැලැවෙමින් හෙළවෙන විට ඒ ආලෝක පැල්ලම් ද පොළොව මත නැටුවේ ය. අපරාජිතා ගේ ඇස් ඒ ආලෝක ලප මත නතර වී තිබිණ.

“දුව ගැන කළකිරෙන්න එපා”

එහඬින් ඇගේ දැහැන බිඳුණේ බෝම්බයක් පිපිරුවා සරි ව ය. අපරාජිතා ගේ ඇස් පියවිලි පවා සැලී ගියේ ය. සසංක ඇගේ ඇස් මගහැරියේ ය.

“ළමයින්ටත් එයාලගෙම කියල ජීවිතයක් තියනව. මං කියන්න යන්නෙ එයා හරි කියලවත් වැරදියි කියලවත් නෙවෙයි. ඒ කොයි දේත් සාපේක්ෂයි අපරාජිතා”

හදවතේ ගැඹුරෙහි ඉසියුම් සමනල චලනයක් ඇය අත්වින්දා ය. සසංක ඇගේ නමින් ඇමතු ප්‍රථම වතාව ඒ ය. නමුත් ඔහු ඒ නම ඉසිරවූ රිද්මයෙහි, සංසාරයක හුරුපුරුදු කමක් තිබිණි.

“හරි වුණත් වැරදි වුණත් එයාල ඒකෙන් ජීවිතේට අත්දැකීමක් ගන්නව. පාඩමක් ඉගෙන ගන්නව..දැන් ඔයා කියයි ජීවිතේ නාස්ති කරන්ද එක්ස්පීරියන්ස් ගන්නෙ කියල..ඒව ඒ ඒ අයගෙ විදිහ. හරියන්න හරි වරදින්න හරි දෙයක් කරල බලන්න ඕන. ඔයාගෙ මැරේජ් එක හරියන්නෙ නෑ කියල ඔයා තේරුං ගත්තෙ බැන්ද නිසා. සමහර විට ඔයාගෙ දුවට ඔයා නොහිතන විදිහට ඒ ගත්ත තීරණේ හරියන්න පුළුවන්. මොකද එයා එයාගෙ ගෙදරදි ලබපු අත්දැකීම් එක්ක මං ජීවත් වෙන්න ඕන මෙහෙමයි කියල ඇඳ ගත්ත ප්ලෑන් එකක් තියනව. හරියන්න හරි වරදින්න හරි කරල බලන්න ඕන. මං බැන්දෙ නැති නිසා මට ඒ ගැන එක්ස්පීරියන්ස් නෑ”

එහෙම කියමින් ඔහු ලැජ්ජාශීලී සිනහවක් නගා ගත්තේ ය. අපරාජිතා දෙතොල් තද කර ගෙන ඔහු දෙස ම බලා සිටියා ය. විවාහයක අත්දැකීම් නැති වූව ද සසංක ජීවිතයෙන් ලද අත්දැකීම් අතින් පොහොසත් බවක් ඔහු ගේ වාග් විලාශය කියා පෑවේ ය..ඒ දර්ශනය කෙරේ අපරාජිතා යම් කිසි වශී වීමකට ද ලක් වූවා සේ ය.

“අනිත් එක වැඩිහිටියො වුණාට පස්සෙ ළමයි කරන හුඟක් දේවල් දෙමව්පියො දන්නෙ නෑ. දන්නව වුණත් තමන්ගෙ දරුවො ගැන එහෙම හිතන්න කිසි අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට බැරුව ඇති”

එහෙම කියත්දී සසංක තරමක් සංවේදී වූයේ ඔහු ගේ අම්මා සිහි වූ නිසාවෙනි. ඔහු තවමත් අවිවාහක ව සිටිනා එක ගැන හෝ එසේ වී ද ඔහු ස්ත්‍රීන් ඇසුරු කොට පුරුදු එක ගැන හෝ අම්මා සිටියා නම් ඇය කෙසේ එය පිළිගනු ඇත්ද? අපරාජිතා ට ලෙසට ම ඇයට එය විඳ දරා ගත නො හැකි වනු ඇතිවා නොවේ ද?

“ඔයාගෙ දුව ඔයාට ඒක කිව්ව. යුරෝප් රටක නෙවෙයි මේ ලංකාව ඇතුළෙම එහෙම ජීවිත ගෙවන අය ඕන තරං. ඒක අපිට පිළිගන්න අමාරුයි අපේ සමාජ සංස්කෘතික රාමුව නිසා. ඔයා ඒ ගැන සෆර් කළා ඇති කියලයි මට කියන්න ඕන වුණේ”

සසංක සිය මුහුණ වඩාත් පහළට හරවා ගත්තේ ය. සිය සව්මිය මෘදු බැල්මෙන් අපරාජිතා ඔහු දෙස බලා සිටියා ය. සසංක කීවාට වඩා කියන්නට ඕනෑ කළ යමක් විය. නමුත් ඔහු එය සන්නිවේදනය කිරීමේ ලා පසුබෑවේ අපරාජිතා ගේ ස්ත්‍රීත්වයේ මාතෘ ලක්ෂණ ඔහු සසල කරවූ බැවිනි. ඔහු ගේ හිස කේ අතරින් අතැඟිලි යවා ඔහු සනසනා පෙම්වතියක ඈ තුළ සිටියා ය. නමුත් හැමදාමත් ඈ සිටියේ ඇගේ ආත්මය තුළ පමණ ය. අපරාජිතා තුළ ජීවත් වූ සියුමැළි පෙම්වතිය මෝදු කර ගන්නට අරවින්ද ට නො හැකි වූ බව ඇය ඉඳුරා දැන සිටියා ය. අරවින්ද රොෂෙල් ට ලං වීමට පෙර ද තත්වය නොවෙනස් ව තිබිණි. අපරාජිතා තුළ ජීවත් වූ පෙම්වතිය සසලවිය හැකි පිරිමියා ඔහු නොවූවා සේ ම, අරවින්ද කියන පුරුෂයා ප්‍රේමයෙන් නැහැවිය හැකි ස්ත්‍රිය ද තමා නොවන බව ඔවුන් ගේ යුග දිවියේ ඇරඹුමේ දී ම අපරාජිතා වටහා ගත්තා ය. නමුත් අනන්‍යා වෙනුවෙන් ද දෙමාපියන් විසින් කර දුන් විවාහයේ නාමයෙන් ද ඇය ඒ පෙම්වතිය ඈ තුළ ම දරා සිටියා ය. ඈ පිටතට ආවේ ලියූ කවියකදී පමණ ය. කියවූ නවකතාවකදී පමණ ය. සිය රහසිගත පෙම්වතා ඒ හැම නිර්මාණයක ප්‍රධාන භූමිකාව රඟ දක්වනු ඇය ප්‍රේමයෙන් බලා සිටියා ය.

“මං දෙයක් කිව්වොත් ඔයා වැරදියට හිතයිද දන්නෑ”

අපරාජිතා ගේ කල්පනා ලෝකය සසලවා ගෙන සසංක කතා කළේ ය. ඇගේ තෙත පාට ඇස් වල ‘නෑ’ යන පිළිතුර විය.

“ඩිවෝස් වෙනවනං ඒ තීරණේට යන්න තිබුණෙ මීට කලින්. දුව පොඩි කාලෙ”

අපරාජිතා සුසුමක් හෙළුවා ය. ඒ විවාහය තුළ ඇය වෙහෙසට පත් වන්නට වූයේ අරවින්ද හා ඈ අතරේ පරතරය කෙතරම් දැයි අවබෝධ වන්නට ගත්දී ය. නමුත් අනන්‍යා වෙනුවෙන් ඉවසා ගන්නට අම්මා කෙනෙකු වශයෙන් ඈ හැකි තාක් උත්සාහ කළා ය.

“කෙල්ල ටිකක් ලොකු වෙනකල් විතරයි මං මේ කරුමෙ ගෙවන්නෙ”

හැඬූ කඳුළින් දේශිකා සමගින් ඈ කොතෙකුත් පවසා තිබේ. අනන්‍යා ට අරවින්ද ගේ වූ ආදරය කෙතරම් දැයි දැන සිටි නිසාවෙන්, තමන් වෙනුවෙන් තීරණයක් ගන්නට ඈ පසු බෑවා යි කිව හැක.

“එයාගෙ වයසත් එක්ක හිතුවක්කාර වෙන්න තියන චාන්සස් වැඩි නිසයි මං එහෙම කිව්වෙ”

“මං හිතුවෙ ලොකු වෙනකොට එයා අපි අතරෙ තියන නොගැලපීමයි ප්‍රශ්නෙයි තේරුං ගනී කියලයි”

අපරාජිතා දුර්වල ස්වරයකින් කොඳුරා ගත්තා ය. සැබවින් ඈ බලාපොරොත්තු වූ දේ ඒ ය. තාත්තා ව සිය ජීවිතයෙන් දුරස් කළා ය යන චෝදනාව අනන්‍යා වෙතින් දිනෙක ලබන්නට අපරාජිතා බිය වූවා ය. 

“අලුතෙන් ජීවිතේ පටන් ගන්න තියන කාලය..මං කියන්නෙ දෙපැත්තටම…අඩු වෙන එකයි…ඉන්න හිතෙන්නෙ නැති නරා වළක තව තවත් දුක් විඳ විඳ ඉන්න එකයි කියන දෙකම අපරාදෙනෙ”

“මං හිතන්නෙ අරවින්ද එයාගෙ සෙකට්‍රි එක්ක සම්බන්දයක් ඇති කර ගන්න කලිනුයි අපිට අපි රුස්සන්නැතුව ගිහින් තිබුණෙ. අපි දෙන්නම ඔහේ ඉන්න ඇති. මිනිස්සු කියනවනෙ නොගැලපීම් ගලපන්න එකයි කසාදයක් කියන්නෙ කියල..සමහර විට අපි එහෙම ගැලපෙයි කියල හිතං ජීවත් වෙන්න ඇති..යුතුකම් වගකීම් ඉෂ්ට කර ගෙන.. අපි දෙන්න සමාන වුණේ එක දේකදි විතරයි. දුවට ආදරේ කරද්දි.. අපි වෙන් වෙන එක ප්‍රමාද වෙන්න ලොකුම හේතුව වුණේ ඒක”

අපරාජිතා ගෙන් සුසුමක් ගිලිහිණ. බැඳීමක් යනු කුමක් දැයි කිසි දා නිවැරදි ව අර්ථ ගැන්විය නො හැකි යයි ඇය මේ දැනුත් සිතයි. එසේ ම ජීවිතය යනු කුමක් ද කියාත් නිශ්චිත ව වටහා ගත නො හැකි ය. වසර දහ අටක යුග දිවියක් ගෙවී ගියේ ඒ තුළ රැඳී ඉන්නට අනන්‍යා හැර වෙනත් හේතුවක් ඇයට නොතිබියදී ය. පුරුද්දට වාගේ දෛනික කටයුතු වල නිරත වීම හැරෙන්නට ජීවත් වන්නට කිසිදු ධනාත්මක පෙළඹවීමක් ඇය ට ඒ විවාහයෙන් ලැබුණේ නැත. අරවින්දට ඇගෙන් ද එවන් සාධාරණයක් ඉටු වූවා කියා ඇය නො සිතයි. ඔවුන් දෙදෙනා ම කළේ කාගේ ඕනෑකමට වුව ඇති කර ගන්නා ලද බැඳීමක් පවත්වා ගෙන යන එක විතර ය. ඒ තුළ ඇති වූ රණ්ඩු දබර යනු අවසානයේදී ආදරය වැඩි කළ ඒවා නොවේ. කලකිරීම් දැඩි කළ ඒවා ය. උනුන් අතරේ පරතරය තවත් වැඩි කළ ඒවා ය.

පමා වී අවදි වූවාට පස්සේ අරවින්ද කිසියම් විඩාවක් අත්වින්දේ ය. පෙර දා තරමක් වැඩිපුර මත්පැන් බිව් බවක් ඔහු ට සිහි විය. ශේෂ වූ ඇල්කොහොල් වලින් ඉතිරි වූ තෝන්තුවාවට අමතර ව, අනන්‍යා විසින් ඇති කරන ලද සිත් රිදුම් ද හදේ තැන් තැන් වල ඉතිරි ව තිබිණ.

“මොකද්ද අරවින්ද මේකෙ තේරුම…”

රොෂෙල් ඔහු වෙත එළඹියේ ම කේන්තියක හෝ නො රිස්සුමක සුන් බුන් වලින් දමා ගසමිනි. අරවින්ද පිළිතුරක් දෙන්නට ඉක්මන් වූයේ නැත.

“ඔයා දැන් හිතන්න ඕනෙ ඔයාගෙ කලින් පවුල ගැන නෙවෙයි දැන් පවුල ගැන. හැබැයි තාමත් ඔයා හිතෙන් ඉන්නෙ ඒගොල්ලො එක්ක. ඔයාගෙ පරණ කසාදෙ මගෙ ජීවිතේ පටන් ගන්න තැනම කරුමයක් වෙන්න දෙන්න එපා අරවින්ද. එහෙම වුණොත් මටත් සිද්ද වෙයි දමල ගහල යන්න”

“ඉතිං යනවා”

ඒ වචනය ඔහු ගේ මුවින් විසි ව ගියේ කොහෙත් ම අරවින්ද බලාපොරොත්තු වූ හෝ සැලසුම් කළ ආකාරයකට නොවේ. නමුත් රොෂෙල් ඔහු ගේ තත්වය තේරුම් නොගෙන තව තවත් පීඩනය එල්ල කිරීම මත බලාපොරොත්තු නොවූ විදාරණයක් සිදු විය.

උස්සා පොළොවේ ගැසුවා සේ තුෂ්ණිම්භූත ව රොෂෙල් ඔහු දෙස බලා සිටින්නට වූවා ය.

“මොකද්ද කිව්වෙ…මට යන්න කියලද කිව්වෙ…”

අරවින්ද ඉවත බලා ගත්තේ ඔහු ට කිසිදු ප්‍රසන්න හැඟීමක් නො දැනුණ හින්දා ය.

“පොඩ්ඩක් තේරුං ගන්න රොෂෙල්. මගෙ දුවයි අනන්‍යා කියන්නෙ. අපරාජිතාගෙන් ඩිවෝස් වුණාට මට මගෙ දුවත් එක්ක තියන සම්බන්දෙ නැති වෙන්න බෑ. ඒක නැති කරන්නත් ඔයාට බෑ”

“මන්ද දැං සම්බන්දෙ නැති කරන්න හැදුවෙ…මරු සම්බන්ද ඕව. පිටරටකට ගිය ගමං මිනිහෙක් එක්ක ජීවත් වෙන්න ගත්තෙ දෙමව්පියොයි දරුවොයි අතරෙ හොඳ සම්බන්දයක් තිබුණ නිසා කියල පේනව”

“රොෂෙල්…ඔයත් මගෙ ඔළුව කන්න හදන්න එපා. ප්ලීස්…”

අරවින්ද සිය දෙබැම රැලි ගන්වා, දකුණතින් නළල පිරිමැද ගන්නට වූයේ ය. රොෂෙල් යහන මත හිඳ ගත්තා ය.

“අරවින්ද..මාවත් තේරුං ගන්න. මාත් ගෑනියෙක්. මටත් ජීවිතයක් කියනව. අනන්‍යා ලොකු ළමයෙක්. එයා ගැන බලා ගන්න එයාට පුළුවන්. ඒත් දැන් ඔයා වද වෙන්න ඕන  අපි අතරට ඇවිත් ඉන්න අපේ පැටිය ගැන”

රොෂෙල් ගේ අතක් ඇගේ කුස මත නතර වූයේ ය. අරවින්ද ගැස්සී ගිය බවක් පෙනිණ. ඔහු කලබලයෙන් ම රොෂෙල් ට සමීප වූයේ ය.

“දරුවෙක්…”

ඇය හිස සැළුවා ය. අරවින්ද ගේ හිත දිව්වේ ඉන් වසර දහ හතක් එපිට අතීතයට ය. අපරාජිතා ගැබ් ගෙන ඇති බව පවුලේ වෛද්‍යවරයා විසින් සනාථ කරන ලද අවස්ථාවේ ඔහු ගේ හිතේ පිරුණු කුමක් දැයි පැහැදිලි කළ නො හැකි තිගැස්ම මුසු හැඟීම් ගොන්න නොවෙනස් ව මේ මොහොතේ ද ඔහු ට දැනේ. නැවත වතාවක් ඔහු තාත්තෙක් වෙන්නට යයි. තවත් දුවෙක් හෝ පුතෙක් ඔහු ට තාත්තා කියන්නට යයි. අරවින්ද රොෂෙල් ව වැළඳ ගත්තේ ය.

“මාවයි දරුවවයි අසරණ කරන්නෙපා අරවින්ද..දැන් ඔයා අනිත් කොයි දේටත් වඩා අපි ගැනයි හිතන්න ඕන”

අරවින්දට ඒ කතාව ගැන දුරට දිගට සිතන්නට ඕන වුණේ නැත. අනන්‍යා විසින් දරුණු ලෙස ඔහු ට අහිමි කරන ලද පිය උරුමයේ බල මහිමයෙන් අරවින්ද යළිත් සිය හදවත පුරවා ගත්තේ ය.

එදා ඉරිදා නිසාවෙන් සසංක දවස ම හිටියේ ගෙදර ය. මිතුරන් දෙතුන් දෙනෙකු ම පිටත හමුවීම් සඳහා ඇරයුම් කොට සිටිය ද ඔහු ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළේ ය. පෙර දී නිවාඩුවක් ලද සැනෙන් මිතුරන් හා විනෝද වන්නට පෙර මග බලා සිටි ඔහු ට දැන් ඊට වඩා සැනසිල්ලක් ගෙදර රැඳීමෙන් විඳිත හැකි විය.

පිටුපස මිදුලේ බට් කොස් ගසේ වූ ඉදුණු වරකා ගෙඩිය කඩා සසංක එය දෙකට කපනා විට අපරාජිතා මුළුතැන්ගෙයි අප ද්‍රව්‍ය ටික දමන්නට කුණු බාල්දිය වෙත පැමිණියා ය.

“වරකද..”

ඇගේ ඇස් දීප්තිමත් වූයේ ය. වරකා වලට ඇය කෙතරම් රුචි දැයි ඒ ඇස් බැල්මෙන් ම සසංකට අනුමාන කළ හැකි විය.

“කනවද…”

“නැත්තං…වරක තියනව කිව්වනං දේශිත් දුවගෙන එයි”

“ඇයි අසේලය..ඌත් වරකා පෙරේතය”

“එහෙනං මදුළු ගලෝල ෆ්‍රිජ් එකේ දාමුද…”

“ශෝක් එකට අරුං ඇවිත් කයි කොහොල්ලෑ ගාගන්නැතුව”

“කමන්නෑ ඉතිං…ටිකක් කූල් වුණාම හයිය වරකා තවත් රසයි”

සසංක වරකා ගෙඩිය කැබලි කපා වහලු ඉවත් කොට දුන්නේ ය. අපරාජිතා එහි මදුලු ගලවා භාජනයක තබා ශීතකරණයෙහි තැබුවා ය. දේශිකා මෙන් ම අසේල ද පැමිණි පසු ගම්මිරිස් කුඩු පීරියක් ද සමග මිදුලේ සිමෙන්ති බංකුව වට කොට  වරකා සාදයක් දැමිණ.

“පුදුමයි මේ නෝනා අත් වල කොහොල්ලෑ ගාගත්ත”

දේශිකා අපරාජිතා දෙස හොඳින් බලමින් එසේ කීවේ ඇගේ පිළිවෙත් හොඳින් දන්නා නිසා ම ය.

“සසංක කොහොල්ලෑ අයින් කරල දුන්නෙ. ඒක නිසා මේ..ගෑවුන්නෑ. පොල් තෙල් ගෑව පස්සෙ”

“සසංක කුස්සියෙ වැඩත් දන්නව නේ…”

දේශිකා එහෙම පාරක් කපා ගත්තේ හිතා මතා ම ය.

“අපරාදෙ සසංක බැන්දෙ නැත්තෙ. බැන්දනං වයිෆ්ටත් උදව් කරං ඉඳී”

අසේල උස් හඬින් හිනැහුණේ ය. 

“ඇත්තට සසංක කවදාවත් ගෑනු ළමයෙක් බඳින්න හිතිල නැද්ද…”

“මූට බඳිනවනං ලංකාවෙ ඉන්නෙ එක ම එක ගෑනියි. දැං අවුරුදු ගාණක ඉඳල එක දිගට ලව් කරන්නෙ ඒකට විතරයි. හැබැයි ඒත් ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලත් ශුවර් නෑ”

දේශිකා ත් අපරාජිතා ත් උනුන් ගේ මුහුණු දෙස බලා ගත්තේ අසේල කී දේ වටහා ගත නො හැකි ව ය.

“ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලත් ශුවර් නෑ කිව්වෙ…”

“බ්ලොග් රයිටර් කෙනෙක් නිසා. නිර්ණාමික ලියන්නී”

නැවත ද දෙමිතුරියෝ උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ. අපරාජිතා ගේ මුහුණ පිරීතිරී ගොස් තිබුණේ භීතියකිනි. ඇගේ පපුව මැද්දේ පුපුරා ගිය ගිනි කන්දක සුන් බුන් විසිර තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles