තවමත් අපරාජිතා ගේ සවන් තුළ අසේල ගේ සිනහ හඬ රැව් දේ.
“මචාං..දොඩවන්නැතුව හිටපාං”
සසංක ගේ ලැජ්ජාබරිත ඒ වදන් පෙළ ද ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ වූ නො සතුට ද අමතක කළ නො හැකි ලෙස අපරාජිතා ගේ සිතේ සනිටුහන් ව තියේ. ඒ බෝම්බය ට හසු ව සුනු විසුනු වූ හදෙහි සුන් බුන් ඇය තවමත් එක්කාසු කරමින් සිටින්නී ය.
“හරිනෙ..”
දේශිකා ගේ සරදම් ස්වරය ද ඒ සියල්ල අතරින් ඇය ට සිහි වේ. ඒ වෙලාවේ ඇය ඒ නිර්ණාමික ලියන්නිය අපරාජිතා කියා නො කියා සිටීම ගැන මේ දැනුත් අපරාජිතා ගේ හදවත තුළ වන්නේ සැනසිල්ලකි.
“මං කිව්වහමනෙ මට බැන්නෙ”
අපරාජිතා ගේ මුව මඳහසකි. එවන් සිනහවක්, ඈ වෙනුවෙන් ඇගේ මුව මත සිනහවක් ඉපදුණු දවසක් ඇගේ මතක ඉතිහාසයෙහි නොවේ. නිර්ණාමික ලියන්නී නමැති ඇගේ බ්ලොග් පිටුව හා සම්බන්ධ වූ විශාල පිරිසක් නැත්තේ ය. ඇය එය උවමනාවෙන් නඩත්තු කරන්නට ගොස් ද නැත. අහම්බෙන් කවියක් කුරුටු ගෑවුණ වෙලාවක එහි අමුණා තැබුවා ය. හිත තුළ කැකෑරෙන යම් සිතිවිල්ලක් අකුරු වලට පෙරලා මොහොතකට නිදහස ලැබුවා ය. ඒ සියල්ල සිය ආත්මයේ රිදුම් හා බිඳුම් ය. වේදනා කැබලි ය. ඉතිහාස ප්‍රාර්ථනා වල මතක සුන් බුන් ය. වර්තමාන කඳුළු වල පැල්ලම් ය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියක් ඇය ට කිසි දා උවමනා නොවිණ. එවන් ආත්ම ප්‍රකාශනයක් වෙනුවෙන් ඈ කිසි දාක සිය නම යොදා නො ගත්තේ ඒක ය.
අරවින්ද කියවන්නේ සති අන්ත ජාතික පුවත් පත් විතර ය. ඒවායේ මූණ ඔබා ගෙන ඔහු වරුවක් ම ගත කළ ද කියවන්නේ කවර විශේෂාංග ද කියා අපරාජිතා දැන නො සිටියා ය. අපරාජිතා ලියන යමක් ගැන කිසි දා ඔහු විමසුවේ නැත. ඒවා රස විඳිනා ඕන කමක් වූයේ ද නැත. ඇය ට ඒවා ඔහු ලවා රස විඳවීමේ උවමනාවක් තිබුණේත් නැත. ඇය ලීවේ අරවින්ද වෙනුවෙන් නොව ඇය වෙනුවෙනි. ඒ හින්දා ඔහු කියවූවා හෝ නැත කියා අය ට විශේෂයක් වූයේ ද නැත. “බොළඳ වැඩ” යන්න පමණක් ඇය කරන ඕනෑ ම දෙයක් වෙනුවෙන් අරවින්ද ගේ පොදු අදහස විය.
අරවින්ද හා විවාහ වීමට පෙර ද ඇගේ සිත් හි පෙම්වතෙකු සිටියේ ය. ඔහුට නිශ්චිත රූපයක් තිබුණේ නැත. වරින් වර ඔහු රූපාන්තරණය වූයේ ය. බලනා සිනමා පටයක හෝ ප්‍රේමය අලලා නිමැවුණ විදෙස් ටෙලි නාට්‍ය මාලාවක හෝ නවකතාවක හෝ සිත් ගත් පෙම්වතෙකු ට ඇය සිය පෙම්වතා ගේ ආත්මය ආදේශ කළා ය. ඒ නිර්මාණය තුළ දී පෙම්වන්තී ඇය වූවා ය. ඊට අමතර ව ඒ පෙම්වතා හිතේ හැටියට සැරුවේ ඇගේ පිටපතක් මත ය. නැත්නම් කවියක් හෝ කෙනෙකුට විකාරයක් සේ දැනිය හැකි අකුරු ගොමුවක් තුළ ය. කිසි දා ක ඒ පෙම්වතා අරවින්ද හා සමපාත වූයේ නැත.
විවාහයේ මුල් යුගයේ දී අරවින්ද සිය හද තුළ ජීවත් වන පෙම්වතා ලෙස දකින්නට අපරාජිතා හැකි තාක් උත්සාහ කළා ය. නමුත් ඇතැම් විට අරවින්ද රළු ඔලාරික මිනිසෙකු වූයේ ය. නැත්නම් අපරාජිතා ට බොළඳ විහිළුවක් සේ දැනුණ දියාරු චරිතයක් විය. වසර කිහිපයක වෙහෙසකර උත්සාහයෙන් පසු සිය ආත්මීය පෙම්වතා අරවින්ද තුළින් දැකීම ඇය අත්හැර දැමුවා ය.
“සසා මං උඹට එක දෙයක් කියන්නං”
අසේල ගේ ඒ ප්‍රකාශය සිහි වෙත්දී අපරාජිතා ගේ මඳහස පුළුල් සිනහවක් ව පිපේ.
“මේක මං නෙවේ කියන්නෙ ගෑනියෙක්මයි. මට නම මතක නෑ. හැබැයි ඒ ගෑනි ලියපු කවියක සිංහල පරිවර්තනයක් මං කොතනක හරි තිබිල කියෙව්ව. ඒකෙ තියෙන්නෙ පොත් කියවන..ලියන ගෑනු එක්ක ප්‍රේමයෙන් බැඳෙන්න එපා කියල. විශේෂයෙන් ම කවි එක්ක ඉන්න ගෑනුන්ට පාඩුවෙ ඉන්න දෙන්නලු. මොකද උන් තමයිලු භයානකම..”
ඩොමිනිකානු කිවිඳක හා ලේඛිකාවක වන මාර්තා රිවේරා ගැරිඩෝ ගේ ඩෝන්ට් ෆෝල් ඉන් ලව් විත් වුමන් හූ රීඩ්ස් ඇන්ඩ් රයිට්ස් නමැති එම කවිය අපරාජිතා විසින් කියවනු ලැබ තිබිණ.
Don’t fall in love with a woman who reads, a woman who feels too much, a woman who writes…
Don’t fall in love with an educated, magical, delusional, crazy woman. Don’t fall in love with a woman who thinks, who knows what she knows and also knows how to fly; a woman sure of herself.
Don’t fall in love with a woman who laughs or cries making love, knows how to turn her spirit into flesh; let alone one that loves poetry (these are the most dangerous), or spends half an hour contemplating a painting and isn’t able to live without music.
Don’t fall in love with a woman who is interested in politics and is rebellious and feel a huge horror from injustice. One who does not like to watch television at all. Or a woman who is beautiful no matter the features of her face or her body.
Don’t fall in love with a woman who is intense, entertaining, lucid and irreverent. Don’t wish to fall in love with a woman like that. Because when you fall in love with a woman like that, whether she stays with you or not, whether she loves you or not, from a woman like that, you never come back!
වරක් ඈ එහි මුල් කොටස සිය හද බසින් පරිවර්තනය කොට නිර්ණාමික ලියන්නී පිටුවෙහි ඇමිණුවා ය. එහි තිබී එය කියවූවා ඒ වෙලාවේ සසංක ට සිහි වී ද හෙතෙම ඒ බවක් නො කියා සිටියේ ය.
නිතර පොත පත කියවන, ලියන හෝ ගැඹුරු හැඟීම් ඇති ගැහැනිය සමග ප්‍රේමයෙන් නො බැඳෙන්න.
දැන උගත්, ඉන්ද්‍රජාලික, මායාකාරී, උමතු ගැහැනිය සමග ප්‍රේමයෙන් නො බැඳෙන්න.
ගැඹුරට හිතන, දන්නා බව මැනවින් දත්, පියාසලනයුරු දන්නා සේ ම තමන් ගැන දැඩි ව විශ්වාස කරන ගැහැනිය සමග ප්‍රේමයෙන් නො බැඳෙන්න.
නුරාවේ වෙලෙත්දී සිනහ වෙන හෝ හඬන, සිය ආත්මය සිරුර තුළ සතපවන්නට දන්නා ගැහැනිය සමග ප්‍රේමයෙන් නො බැඳෙන්න.
වෙසෙසින් ම කවියට පෙම් බඳිනා ඇය ට පාඩුවේ ඉන්නට දෙන්න.(බෙහෙවින් භයානක ඔවුන් වන බැවින්)
අපරාජිතා මේ මොහොතේත් ඒ කවි පද සිතින් මෙනෙහි කළා ය. අරවින්ද ඈ ගැන කියන්නට නිතර පුරුදු ව උන් ‘පිස්සු නැත්තං ශෝක්’ යන කියමන මේ මොහොතේ ඇගේ මතකය මතින් එසැවී දැවැන්ත සෙවනැල්ලක් සේ අවඥා ස්වරූපයකින් නැගී සිටියේ ය. ජීවිතයේ ප්‍රථම වතාවට අරවින්ද නම් වන සිය හිටපු සැමියා ගැන අනුකම්පා හැඟීමක් ඈ වෙලා ගත්තේ ය. ඔහු පව් කියා ඇය ට සිතිණ. කිසි දාක සිය ආත්මය දකින්නට ඔහු ට හැකි වූයේ නැත. ඔහු කුරු කුහුඹු මිනිසෙකු සේ ඇයට නිතර දැනුණා වූ හැඟීමට හේතුව කවියට පෙම් බඳිනා ගැහැනියක ලෙස ඇගේ ආත්මය ස්පර්ශ කරන්නට ඔහු ට වූ නො හැකියාව ද? එකවෙහි අවසානයෙහි කියවෙනා පරිදි, අරවින්දට තවමත් ඇගෙන් මිදිය නො හැකි ව ඇති හේතුව ද එයම ද? අපරාජිතා සුසුමකින් නිවුණා ය.
සසංක කියන්නේ ඇගේ ආත්මය දුටු මිනිසෙකු සේ මේ මොහොතේ අපරාජිතා ට දැනේ. හැඟේ. ඔහු පෙමින් බැඳී සිටින්නේ නිර්ණාමික ලියන්නී සමග යයි අසේල කීවේ ය. තමන් කෙරේ විරුද්ධ ලිංගිකයෙකු ගේ ආකර්ෂණය පිළිබඳව ලොව ඕනෑ ම ස්ත්‍රියක තුළ වන්නේ කැමැත්තකි. අපරාජිතා ට කියා එහි වෙනසක් නැත්තේ ය. නමුත් විවිධ අවස්ථා වල කුණු මාළු කැබැල්ලක් සේ අරවින්ද විසින් පිළිකුල් කරනා ලද සිය ආත්මය තවත් පිරිමියෙකු ගේ ප්‍රේමයට ලක් ව ඇති බව දැනීම, මුලින් කී පොදු කැමැත්ත දැවැන්ත ප්‍රහර්ෂයක් බවට උත්කර්ෂයට නංවයි.
සඳුදා උදේ ම සසංක කළේ විවිධ ආයතන හා සම්බන්ධ සිය ගනුදෙනු කරුවන් ට අපරාජිතා ගේ ටෙරාරියම් එකෙහි ඡායාරූප යොමු කොට, ඇනවුම් වේ නම් ලබා දෙන ලෙස දැනුම් දීම ය. එදා දවස තුළ ඔහු සාර්ථක ප්‍රතිඵල දෙකක් ලැබුවේ ය.
“ඔයාගෙ ටෙරාරියම් එකේ ෆොටෝස් දැකල මගෙ ක්ලයන්ට්ස්ල දෙන්නෙක්ම ටෙරාරියම් ඕඩර්ස් දුන්නා. වැඩ පටන් ගන්න”
කියා ඔහු අපරාජිතා ට පණිවිඩයක් තැබුවේ ය. ඒ වෙලාවේ ඇය ගුවන් විදුලි නාට්‍යයේ හඬ ගැන්වීම් වල නිරත ව සිටියා ය.
අරවින්ද ඔහු ට අවශ්‍ය වූ ජීවිතය කරා පිය මැන ගියේ ය. දෛවයේ කුමන තීරණයක් මත හෝ අනන්‍යා ද සිය මාර්ගය තෝරා ගත්තා ය. එහි අවසානය කෙසේ විසඳේවිද කියා පූර්ව නිගමනයකට එළඹිය නො හැකි ය. ඇතැම් විට ඇය සිය දිවියේ බලාපොරොත්තු වූ සැනසීම උදා කර ගනු ඇත. ඒ නැත ද අපේක්ෂා භංගත්වය ට පැමිණ හඬා ගෙන ගෙදර ආව ද දෑතින් ඈ වැළඳ පෙර සේ ම තුරුලු කර ගන්නට තරම් අපරාජිතා ගේ හදවත මාතෘත්වයේ ස්නේහ දියෙන් තෙතබරිත ය. කාගේවත් ජීවිතයක් තීරණය කරනා සාධකය වීමට කිසිවෙකුට නො හැකි බව ඇය අවබෝධ කොට ගනිමින් සිටියා ය. අවසානයක් වන තුරු නතර වී සිටිය නො හැකි ය. ජීවිතය පවත්නා තෙක් සැනසීමෙන් ඒ ගමන යා යුතු ය. එහෙයින් ඕ මේ සැනසිලිදායක මාර්ගය තෝරා ගත්තා ය.
“මං ඒක කරන්නං”
ඇය සසංක ට ප්‍රතිචාර දැක්වූවා ය. ඔහු ගේ මුහුණට ස්ත්‍රීන් වසඟ කරනා සිනහව නැගුණේ ය.
අරවින්ද හිටියේ ඔහුව ම නිරවුල් කර ගත නො හැකිව ය. ඉස්සර අනන්‍යා කුඩා දැරියක සන්දියේ ගෙදර නිදන කාමරයේ වූ ළදරු සුවඳින් ඔහු ගේ හදවත පිරී තියේ. දරුවන් කියන්නේ එසුවඳ ට ය. අනන්‍යා නිසාවෙන් ඔහු අත් වින්දා වූ සියල්ල දැන් මතක මාත්‍රයක් ව මුවග සිනහවක් උපදවා ලයි. රෝෂෙල් සිතන්නේ පීතෘ පදවිය ලබන්නට යාමේ සතුට ඒ මඳහසට හේතුව බවයි. අරවින්ද ඇගේ සිතිවිලි වෙනස් කරන්නට නො ගියේ ය. ගැහැනියක ගේ කරච්චලය නැතිව පාඩුවේ සිටීම ම දැවැන්ත සැනසිල්ලක් බව දැන් ඔහු දනී. කල්පනා කරන්නේ අනන්‍යා ගැන බව දැන ගත හොත් රොෂෙල් ගේ කරච්චලය යළි ඇරඹෙනු ඇත.
මුල් යුගයේ දබර වූවාට පසුව අපරාජිතා නම් නිහඬ ගැහැනියක වූවා ය. ඇය කතා කළේ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරක් ලෙස පමණකි. නැතහොත් අනන්‍යා ගැන කාරණයකදී එකඟතාවයකට එන්නට ය. අනන්‍යා ගැන තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ වගකීම ඔහු අපරාජිතා ට ම පවරා සිටියේ ඇය තරම් අනන්‍යා ගේ යහපත ගැන ඔහු ට සිතිය නොහැකි බව දන්නා නිසා ය. තමන්ට අවැසි දේ කළ ද අපරාජිතා ඒ ගැන අරවින්ද දැනුවත් කිරීමට පුරුදු ව සිටියා ය. කොහොමටත් ඇය සිතනා ගැහැනියක මිස දොඩවන ගැහැනියක නොවන බව ඔහු වඩා හොඳින් අවබෝධ කොට ගත්තේ රොෂෙල් හා විවාහ වීමෙන් පසු ය. විවාහයට පෙර රොෂෙල් ඇගේ සැබෑ ස්වරූපය මුළුමනින් පෙනෙන්නට නො හැරියා ය.
අනන්‍යා ගේ පෙකණිවැල කොටස හැලී ගිය පසු රෝස පාට ක්ලිප් එකත් සමග ම අපරාජිතා එය අල්මාරි ලාච්චුවේ සුරක්ෂිත ව තබා ගත්තා ය. රන් භාණ්ඩ මංජුසාවක ඇගේ මුලින් කැපූ කෙහෙ රොද ද මුලින් ම හැළුණ දත ද කාලයක් යන තුරු ම තිබූ බව ඔහු ට මතක ය. ඒවා දැන් කොහේදැයි හදිසියේ ඔහු ට සිහි විය. එක්කෝ වෛද්‍ය පාරේ ගෙදර අල්මාරියේ තව ම තිබෙනු ඇත. නැතහොත් අපරාජිතා ගෙන යන්නට ඇත. වචන වලට නැගිය නො හැකි ශෝකයක් අරවින්ද ගේ පිරිමි පපුව අස්සේ වේ. එක තැනක දී ජීවිතය අත් හැරී ගිය බව ඔහු ට දැනුණේ හෝ නැත.
අලුත් බිළිඳා ගැන ආරංචිය කිසි සේත් අරවින්ද තුළ අනන්‍යා ගැන තිබූ බරැති හැඟීම තුනී කරන්නට හේතු වූයේ නැත. ඒ ආරංචිය ලද පසුවද ඔහු ගෙදර ආවේ බීමත් ව ය. රොෂෙල් අසහනයට පත් වූවා ය. ඇගේ ආධිපත්‍යය යටතේ වීද අනන්‍යා ගේ සිනහ මුහුණ අරවින්ද ගේ මතක අස්සෙන් එබිකම් කරනා ලදී. බීමතේ ම ඔහු අනන්‍යා ට කතා කළ ද ඇය නො රිස්සුමට පත් ව ඇමතුම බිඳ දැමුවා ය.
“මොන වදයක්ද අරය බීගෙන මට කෝල් කරනව”
යනුවෙන් ඇය අම්මා ට කෙටි පණිවිඩයක් තැබුවා ය. අපරාජිතා ඒ වෙත්දී ත් සිටියේ සුසුමකින් පිරී ගොසිනි. නිර්ණාමික ලියන්නී බ්ලොග් පිටුවෙහි කාලෙකට පස්සේ ඇය කවියක් ඇමිණුවා ය.
ඔබ ඉන්න ඔතන ඔහොම
වැහි වනාන්තරයක දලුලන ගුප්ත කැලෑ සුවඳත්,
කඳුකර කේතුදර වනයක සන්සුන් දේවදාර පුසුඹත්,
එකවර මහදවත දනවමින
ඔබ ඉන්න ඔතන ඔහොම…
මට ඉන්න දෙන්න මෙහෙම
අසෙණි වැස්සක් වඩා ගත් අළු පාට මේකුළක සීතල
හදවතින් දරා ගෙන අඬන්න ද හිනැහෙන්න ද නො දැන
මට ඉන්න දෙන්න මෙහෙම.