ප්‍රේමයේ අභිමන් -23

නිර්ණාමික ලියන්නී බ්ලොග් පිටුවට අලුතෙන් එක් ව තිබි කවියේ අකුරු පේළි දිග සසංක ගේ ඇස් කී වරක් ඉහළ පහළ ගියා දැයි නිශ්චිත නැත.

ඔබ ඉන්න ඔතන ඔහොම

වැහි වනාන්තරයක දලුලන ගුප්ත කැලෑ සුවඳත්,

කඳුකර කේතුදර වනයක සන්සුන් දේවදාර පුසුඹත්,

එකවර මහදවත දනවමින

ඔබ ඉන්න ඔතන ඔහොම…

මට ඉන්න දෙන්න මෙහෙම

අසෙණි වැස්සක් වඩා ගත් අළු පාට මේකුළක සීතල

හදවතින් දරා ගෙන අඬන්න ද හිනැහෙන්න ද නො දැන

කන්දක් වගේ ඔහේ බලාගෙන

මට ඉන්න දෙන්න මෙහෙම

මීදුමක් වගේ නො පැහැදිලි සන්තාපයක ද සන්තෝෂයක ද සේයා ඔහු ගේ රුධිර සංසරණය ඔස්සේ සිරුර පුරා දිව ගියේ ය. ක්ෂණික ව යටි පතුල් සීතල වී යනවා ඔහු අත් වින්දේ ය. අකුරු අහුරකට පපුවේ පිහි තුඩු අනින්නට හැකි බව ඒ නිර්ණාමික කවි වල හිමිකාරිය යළි යළිත් ඔහු ට පසක් කොට දෙයි. සසංකට කැලෑ සුවඳ දැනුණේ ය. ඒ අමුතු වචනය ඔහු ගේ මුවට සිනහවක් ගෙන ආවේ ය. දේවදාර සුවඳින් හාත්පස පිරී ගිය සුළඟ කොහි සිට ආවා දැයි හෙතෙම නො දත්තේ ය. වැහි අහසක මන්දාරම් අඳුරෙන් හදවත වැසී යනවාත් ඔහු ට දැනිණ.

මහා දර්ශනයන් ගෙන් හෙබි දැවැන්ත විශ්ව සාහිත්‍ය සේ ම දේශීය නිර්මාපකයන් ගේ නිර්මාණ ද සසංක නිරතුරු පරිශීලනය කරයි. නමුත් නිර්ණාමික ලියන්නී ගේ වචන කිහිපයක් හදවත ඇති කරන්නා වූ හිම කුණාටු, ඔහු විඳින්නේ ඇගේ අකුරු අතරේ දී පමණි. හිත සන්සුන් වන තෙක් පරිගණක තිරයට එබී ගෙන ඔහු යළි යළිත් ඒ වචන දෑසින් ගිල්ලේ ය.

රාත්‍රිය ගෙවී අවසාන වන විට අපරාජිතා භාවනාවක ශාන්තිය ට සමවැද උන්නා ය. ඇය නුගේගොඩ ගොස් අලුත් ටෙරාරියම් දෙක සඳහා ඉඩ කඩ ඇති වීදුරු බඳුන් දෙකක් මිල දී ගත්තා ය. අනන්‍යා ආදරයේ කිරි සුවඳින් හද නහවමින් ‘අම්මි’ කියා කතා කළා ය.

“ඔයා සතුටෙන් ඉන්නව නේද…”

ඇය හුරතල් පොඩි කෙල්ලක සේ විමසුවා ය. අපරාජිතා ගේ මුවග මැවුණේ දියණිය නො දකින මඳහසකි. ඇගේ පපුව යට වූ ගිනි අඟුරු වුව අනන්‍යා දකින්නේ නැත.

“දැන් හැම දේම හරි. ඔයා හරියට දුක් වින්ද කියල මං දන්නව අම්මි. ඒකට දුක් වින්ද කියන වචනෙ හරියන්නෙත් නෑ. ඔළුවට උඩින් වතුර ගිහින් තියෙද්දිත් අම්මි හුස්ම හිර කරගෙන අල්ලගෙන හිටිය…මං වෙනුවෙන්. දැන් හරි. මාව ඔයා වෙරලකට ඇරලුව. අම්මි දැන් ඔයාගෙ සතුට ගැන හිතන්න”

‘මොනාද දරුවො කියවන්නෙ’ කියා අසා ගන්නට අපරාජිතා ට ඕන විය. නමුත් ඇගේ උරස් කුහරයත් උදර කුහරයත් එක ලෙස කැළඹී, වායු හා ශ්ලේෂ්මල ධාතු වලින් හිර වී තිබිණි. ඉතින් වචනයක් කතා කර ගත නො හැකි විය. කතා කරන්නට ගියේ වී නම් එක්කෝ හැඬෙනු ඇත. නැතහොත් වචන උගුරේ ම හිර වී ගනු ඇත.

“මට කියන්න ඕන වුණේ…මං දන්නව ඊයෙ රෑ මං තාත්ති ගැන අර විදිහට වට්සැප් කළාම අම්මිට දුක හිතෙන්නැති. තාත්තිට එහෙම කතා කරන්නෙපා කියල ඔයාගෙන් මෙසේජ් එකක් ආපු නැති එක ගැනත් මං පුදුම වුණා. එයා ඩ්‍රිංක්ස් ගන්න පටන් අරං කියල දැන ගත්තහමත් අම්මි අවුල් යයි. ඒත් මටනං හරි සතුටුයි”

“පු..තා..”

අපරාජිතා අසීරුවෙන් කියා ගත්තා ය. ඇගේ ඇස් කුහර ඇතුළේ කඳුළු ගිනි ගනිමින් තිබිණ. මේ දුක කවුරුන්වත් තේරුම් ගන්නේ නැත. දරුවා වී අනන්‍යා තේරුම් ගන්නේත් නැත. ඒ නිසා සියල්ල හිර කර ගෙන තවත් ටික කාලයක් සිටිය යුතු යයි ඇය සිතා ගත්තා ය.

“බීල නන්නත්තාර වෙන්න ඕන. එතකොට තමයි අර ගෑනිගෙ වෙස් මූණ ගැලවෙන්නෙත්. දැන් අපේ තාත්තිට අම්මි කොහොම ගෑනියෙක්ද කියල දැනෙන්න අරං ඇති. ඒකනෙ බොන්නෙ”

“ඕක නවත්තන්න”

මුළු ආත්මයේ ම වූ ශක්තිය එක්කාසු කොට අපරාජිතා තදින් කීවා ය. අනන්‍යා ගේ දෙතොල් අතරට සිනහවක් ආවේ ය. ඒ සිනහවේ වූයේ ද්වේශයයි. එකී ද්වේශයෙන් ගිනි තබා අරවින්ද ගේ නව පවුල විනාශ කිරීමේ හැකියාවක් අනන්‍යා ට තිබිණ.

“අපිට අයිතියක් නෑ රොෂෙල් ආන්ටිව ක්‍රිටිසයිස් කරන්න”

“ආන්ටි…”

අනන්‍යා ගේ සමච්චල් සිනහ හඬ අපරාජිතා ට පැහැදිලි ව ඇසිණ.

“එයා තාත්තිගෙ ජීවිතේට එන්න කලිනුයි අපි අතරෙ බිඳීම් ඇති වෙලා තිබුණෙ. මං කැමතියි ඔයා මේ ගමේ ගොඩේ නූගත් සම්ප්‍රදායික විදිහට හිතන ගෑනියෙක් වගේ මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ නැත්තං. අනන්‍යා ඕන මනුස්සයෙක්ට අයිතිය තියනව මැරෙනකල් ජීවත් වෙන්න. තාත්තිටත් එහෙමයි. මාව බැඳපු නිසයි ඔයා ඉපදුන නිසයි එයා එයාගෙ ජීවිතේ යන්න පුළුවන් වපසරිය අකුලගන්න ඕන නෑ. ඔයා දැන් වෙස්ටර්න් කන්ට්‍රි එකක ජීවත් වෙන්නෙ. එහෙට ගිය ගමන් ඔයා ඔයාගෙ ජීවිතේ ගැන බරපතල තීරණයක් ගත්තා. අම්ම විදිහට මට කොච්චර දුක වුණත් මං මෙහෙම බලං ඉන්නව. එහෙමයි කියල ඔයා මගෙ දරුවෙක් නෙවෙයි කියල අයින් කරන්නද…බෑ. ඔයාට වැරදුනත් මට බෑ එහෙම අත්අරින්න. තාත්තිටත් ජීවත් වෙන්න අයිතියක් තියනව. එක සැරයක් වැරදුන මිනිහෙක්ව ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕන නෑ කියල මතක තියා ගන්න. වැරදි නිවැරදි කර ගෙන ජීවත් වෙන්න ඉඩක් තියෙන්න ඕන මේ ලෝකෙ. තමන්ට දැනෙන සතුට හොයා ගන්න අයිතියක් තියෙන්න ඕන. මාත් එක්ක සතුටෙන් ඉන්න බැරි නං එයා මුළු ජීවිතේම විඳෝ විඳෝ අපි එක්ක ඉන්න ඕන කියලද ඔයත් හිතන්නෙ…එහෙම නැරෝ මයින්ඩඩ් වෙන්න එපා පුතේ. අපි අනිත් කෙනාගෙ ජීවිතේටයි සතුටටයි ගෞරව කරන්න ඕනෙ. එයාලට ජීවත් වෙන්න අයිතියත් නිදහසත් දෙන්න ඕන. හරියන්න හරි වරදින්න හරි කරල බලන්න ඕනෙ”

අපරාජිතා ගේ හඬ ඒ අන්තිම වචන පේළි ටිකේ දී දුර්වල වී ගෙන ගියේ ය. ඇගේ මනසෙහි සසංක ගේ රුව ඇඳෙමින් මැකෙන්නට විය. අනන්‍යා ට අරවින්ද මේ තරම් ලොකු බලපෑමක් කරාවියි ඇය මීට පෙර සිතා සිටියේ නැත. එහෙම දැන සිටියා නම් කිසි දා ක දික්කසාදය කියනා තැනට නොයා අනන්‍යා වෙනුවෙන් මියෙන තුරු ම දරා ඉන්නට තිබුණේ ද? එසේ විනි නම් ඒ දරා ගැනීම හදවත පුපුරා යාමකින් කෙළවර වන්නට ද තිබිණි. දැන් ඇය සැහැල්ලුවක් අත් විඳින්නී ය. අනන්‍යා ජීවිතය වරදා නොගන්නේ නම් ඒ විවාහයෙන් වෙන් වීම ගැන පසු තැවීමක් අපරාජිතා ට නැත්තේ ය.

“අම්මි දන්නෑ වගේ අලුත්ම නිවුස් එක නේ..”

“මොකද්ද…”

“අරය මට මෙසේජ් කරල තියනව…මං අක්ක කෙනෙක් වෙන්න යනව කියල”

අපරාජිතා මුලුමනින් දෙදරා ගියා ය. තත්පර කිහිපයක් ගත වන තුරු ඇය වටා ලෝකය භ්‍රමණය වෙමින් තිබිණ. තමන් ඉතා කුඩා අංශු වලට බිඳී යමින් පවතින සෙයක් අපරාජිතා ට දැනුණේ ය. ඒ සෑම කුඩා අංශුවක් සතුව ම හදවත් කොටසක් තිබේ. ඒ සෑම අංශුවක් ම ඒ තරමට පණ ගැහෙන්නේ ඒක ය. ඒ සෑම අංශුවකට ම එපමණට රිදෙන්නේ ඒක ය. අරවින්ද ට තවත් ජීවිතයක් ඇත කියා සිතුවාට ඔහු ගේ ලෝකයේ අනන්‍යා ට තිබි ඉඩ විස්ථාපනය වී යතැයි ඇය සිතුවේ නැත. සිය ජීවිතයේ හැමදාමත් ප්‍රායෝගික නොවන ස්වභාවයක් තිබිණැයි මේ මොහොත අපරාජිතා ට ප්‍රත්‍යක්ෂ කොට සිටී. ඇය ජීවත් වුණේ ම සිහිනයක ය. ඇස් වහගෙන සේ ම ඇස් ඇරගෙන ද සිහිනයක ය. 

“මට කාගෙවත් අක්ක වෙන්න ඕන නෑ. අයි හේට් දෙම්”

“අනන්‍යා”

බුද්ධ මාතාවක ගේ කරුණා පෙරදැරි හඬකින් අපරාජිතා දියණිය ඇමතුවා ය. රා බී මත් ව උන් නාලාගිරි ඇතුන් සේ, ඒ මවුවත් හඬට අනන්‍යා මෙල්ල වූවා ය. ඇය ට ඉකි ගැසී හැඬුණේ එවිට ය.

“අනේ මට හරි දුකයි අම්මි. මට තාත්ති නැති වුණා”

විනාඩි කිහිපයක් ගත වන තෙක් අනන්‍යා ඉකි බින්දා ය. අප්‍රමාණ සන්තාපයක් හද දරාගෙන වුව අපරාජිතා දියණිය සිතින් තුරුලු කර ගෙන සිටියා ය. ඉකිළුම සන්සුන් වී ගෙන යත්දී අපරාජිතා යළි මෘදු ලෙස සිය හඬ අවදි කළා ය.

“පුතේ”

සිත කෙතරම් ඉසිර විසිර ඇත්ද යන්න ඒ බිඳුණ ස්වරය ඇය ට මතක් කොට සිටියේ ය.

“ඔයාට පස්සෙත් අපිට තව දරුවො ඉපදුණානං…අපි ඔයාට තියන ආදරේ අඩු වෙනවද…එහෙනං ඔයාට අම්මි හරි තාත්ති හරි නැති වෙනවද…නෑ නේද…ඒ වගේමයි…තාත්ති තව දරුවන්ට තාත්ත කෙනෙක් වුණාට…ඔයා එයාගෙ ලොකු දුව. තාත්ති තව දරුවො කී දෙනෙක්ට තාත්ත වුනත්…ඔයාගෙත් තාත්ත එයා. ඒව ජීවිතේ නියත පුතේ. ආදරේ කියන දේ කොටස් වලට බෙදල දෙන්න බෑ. ඉඩකඩං දේපල එහෙම පුළුවන්. ඒත් ආදරේ දෙන්න වෙන්නෙ සම්පූර්ණයෙන්ම…කොටස් වලට බෙදන්නෙ නැතුව…හැම දරුවෙක්ටම මුලු ආදරේම….අම්මලගෙ තාත්තලගෙ ආදරේ එහෙමයි”

“මට කාත් එක්කවත් මොනාත් බෙදා ගන්න ඕන නෑ”

අනන්‍යා මුරණ්ඩු වූවා ය. තනි දරුවෙකු වශයෙන් අසීමිත ආදරයක් ලබමින් වැඩුණු දරුවෙකු තරමක් ආත්මාර්ථකාමී වීම ස්වභාවික බව අපරාජිතා දනී. නමුත් ඇය අනන්‍යා හැදුවේ හැකි තාක් සිය සිතිවිලි ඇය වෙතට සම්ප්‍රේෂණය කරමිනි. අපරාජිතා ගේ මුවින් සුසුමක් ගිලිහිණි.

“මේ ටික දවසට ඔයා කොහොමද ඔය තරං දරුනු විදිහට හිතන්න ගත්තෙ පුතේ…”

ඒ සංවාදයෙන් පසු අපරාජිතා ට සැනසිල්ලක් වූයේ නැති තරම ය. අනන්‍යා මේ විදහට මුරණ්ඩු වෙන එක ඇගේ සිත නො සන්සුන් කොට තිබේ. අනන්‍යා ට වන්නේ ද පියා ගේ ගති ලක්ෂණ ය. ඔවුන් ඉවසන්නට දන්නේ නැත.

සැන්දෑ අහසේ කොක් රෑනක් වී හැඩයට ගමන් කරමින් සිටියහ. ගිරා රංචු නැවත සිය වාසස්ථාන කරා ගියේ කංකරච්චලයක් ඇති කරමිනි. මන්දාරම් ගතියක් ඇති ව තිබි අහසේ වැහි ලිහිනින් කිහිප දෙනෙකු කරනම් ගසමින් සිටියහ. වැහි ලිහිනි පියාසරයන් දෙස බලා සිටීම ට අපරාජිතා බෙහෙවින් ආශා කළ ද මේ වෙලාවේ හිතේ වූයේ අවුල් ස්වභාවයකි. ඒ නිසා ඈ ඔහේ අවකාශයෙහි නෙතු රඳවා ගෙන සිටියා විතර ය. ඇස් මානයෙහි ම බත් කූරන් රංචුවක් පියාසර කරන්නට වූහ. රෝලර් දොර විවර වී දම් පාට වොක්ස්වැගන් මූණ ඇතුළට ආවේ ය. අපරාජිතා එදෙස බලා ගත්තා ය. රියෙන් බට සසංක ඇදෙස බලා යළි රියට එබී කුමක්දෝ ගත්තේ ය. ගෙතුළට නොයා ඔහු කෙලින් ම ආවේ පිය ගැට පෙළ නැග අපරාජිතා වෙතට ය.

තවමත් බත් කූරන් රෑන හෙලිකොප්ටර සේ පියා සලමින් සිටිති. එදෙස නෙතු රඳවා ගෙන ම සසංක අත වූ දුඹුරු කඩදාසි බෑගය අපරාජිතා වෙත පෑවේ ය. ඇය ප්‍රශ්න නො කර ම එය අතින් ගෙන බෑගයේ විවරයෙන් එබී බැලුවා ය. කර වූ පරිප්පු වඩේ හා බදින ලද වියළි මිරිස් කරල් කිහිපයක් එහි විය. අපරාජිතා ඇඟිලි දෙකකින් මිරිස් කරලක් ගත්තා ය. ඇය එහි තුඩේ සිට හෙමිහිට සපන්නට පටන් ගත්තා ය. බත්කූරු සංදර්ශනය දිගට ම පැවැත්වීගෙන යයි.  අපරාජිතා ගේ දිවට දැවිල්ල දැනෙන්නට විය. විෂෙන් විෂ නැසිය යුතු යයි කතාවක් ඈ අසා තිබේ. හිතේ දැවිල්ල මිරිස් වල දැවිල්ලෙන් සමනය කළ හැකි වන්නේ ද? ඇය දෙවන මිරිස් කරල ද ගෙන සපන්නට වූවා ය. දැන් ඇස් වලින් කඳුළු ගිලිහී, රක්ත වර්ණයට හැරුණ කොපුල් තල දිග ගලා යයි. තවත් ඉවසා ගෙන සිටිත නො හැකි තැන සසංක ඈ අත වූ මිරිස් කරල උදුරා පහළට විසි කොට දැම්මේ ය. ඊට අමතර ව මොනවා කියන්න ද මොනවා කරන්න ද කියා නො දැන හෙතෙම බැල්කනියේ නො සන්සුන් ලෙස ඒ මේ අත සක්මන් කරන්නට පටන් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles