උත්සව කාලේ වියදම් කරන්නේ පරිස්සමින්

සිංහල අලුත් අවුරුදු අත ළඟටම ඇවිත්.. ඔෆිස් එකෙන් බෝනස් ලැබෙන කාලේ.. ඒ වගේම දකින දකින දේ ගන්න හිතෙන කාලේ..

ඉතින් මේ වියදම් හොඳටම සැර දවස්වල වියදම් අවම කරගන්න හැටි ගැන ඔබට කියන්න අපි හිතුවා. ස්මාට් විදියට වියහියදම් බැලන්ස් කරගන්න ඔබ අපොහොසත් වුණොත් අවුරුදු ඉවර වෙන්නේ ඔබවත් ඉවර කරගෙනමයි.

අවුරුද්ද හෙට කියලා ෂොපින් කරන්න එපා..අප්‍රේල් දහවෙනිදායින් පස්සේ සමහර විට රෙදි මිල ඉහළ යන්න පුලුවන්. ඒ නිසා මාර්තු අන්තිම සතියෙවත් ගිහින් නිස්කලංකව ඔබට අවශ්‍ය ඇඳුම් පැලඳුම් තෝරා ගන්න. ඒ වගේම දකින දකින ඇඳුම්, තිරරෙදි ආදිය මිලදී ගන්නට පෙර ඒවා ඇත්තටම ඔබට අවශ්‍යද කියලා හොඳින් සිතා බලන්නත් අමතක කරන්න එපා. .

ඒ වගේම අවුරුදු දවස්වලට උයන පිහින බඩු ගන්නත් අවුරුදු හෙටයි වෙනතුරු ඉන්න එපා. නරක් වුණු අල, ළූණු වලින් බේරෙන්න වගේම ටිකක් අඩු මිලට මේ දේවල් ගන්නත් අවුරුදු වලට දවස් කිහිපයක් තියා ඔබ වෙළඳසැලට යා යුතුයි. ඒ වගේම උයන්න පිහින්න බඩුමුට්ටු වෙනදාට වඩා උවමනා වෙන නිසා සුපර්මාර්කට් නොගිහින් ආර්ථික මධ්‍යස්ථානයකට හෝ තොග කඩයකට යන්න.

අවුරුදු ෂොපින් වගේම බඩුමුට්ටු ගන්න එහෙට මෙහෙට යනවිටත් ඔබේ දරුවන්ව ගෙදර තියලා යන්න. පුංචි අය දකින දකින දේ ඉල්ලන නිසා ඔබේ වියදම් අධික වෙන්න එයත් හේතුවක් වේවි.

අනිත් කාරණය ගිණිකෙලි උපකරණ. සුළු මොහොතක සතුට වෙනුවෙන් දහස් ගණන් මුදල් පුළුස්සා දමන්න එපා.
ශබ්ද දූෂණය සිදුවීම, සතුන් බියට පත්වීම වැනි කරදර ඇති ගිණිකෙළි වලින් වැළකෙන්න පුලුවන් නම් එය ඉතා වටිනා දෙයක්. ඕනෑම නම් නැකැත් වෙලාවට පත්තු කරන්න රතිඤ්ඤා පෙට්ටියක් දෙකක් ගන්න. අහස් කූරු, බමර චක්‍ර, නිලාකූරු හැම දේම ගත්තම පිච්චිලා යන්නේ ඔබේම මුදල්.

ඒ වගේම තමයි ඔබ කැවිලි හදන්නේ නැත්නම් කැවිලි වර්ග හත අටක් සුපර්මාර්කට් එකෙන් මිලට ගන්නත් එපා. නෑගම් එන අයගෙන් කැවිලි වර්ග ලැබෙන නිසා ඔබට කැවිලි අඩුපාඩුවක් දැනෙන එකක් නෑ. ඔබට හැකි ලෙස කැවිලි වර්ග දෙක තුනක් සාදන්න උත්සාහ කරන්න.

මේ අවුරුදු කාලයේ සිහි තබා ගත යුතු වැදගත්ම කාරණය, බොහෝ ආයතන වලින් ඔබට අප්‍රේල් මාසයේ වැටුප අවුරුදු නිවාඩු ලබා දෙන දිනයේ ලබා දෙනවා.ඉවක් බවක් නැතිව එය වියදම් කරන්න එපා.ඔබට මැයි වැටුප ලැබෙන තුරු ණය වෙන්නට සිදු වේවි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles